ලංකාවේ සිනමාවට දැන් වසර හැත්තෑවකටත් වැඩිය. ඒත් ශානරීය විවිධත්වය අතින් සිටින්නේ පහලතම අඩියකය.
රෝඩ් මූවීස් මෙහි නැත. හොරර් චිත්‍රපටි නැත. සස්පෙන්ස් හෝ ත්‍රිලර් වැනි ප්‍රවර්ග නැත. සයි ෆයි මූවීස් නැත. සටන් ක්‍රියාදාම සිනමාවක් නැත. ගුප්ත සිනමාවක් නැත. මනෝ ලිංගික චිත්‍රපටි නැත. ගොන් ජෝක් මිස හොද ප්‍රහසන සිනමා ධාරාවක් නැත. දේශපාලන ප්‍රහසන ලෙස සැලකිය හැකි සිනමා ප්රවනතාවයක් නැත. චරිතාපදාන සිනමාවක් නැත.
ළමයින්ව අන්දන චිත්‍රපටි මිස හොද ළමා සිනමාවක් නැත. විශිෂ්ඨ වාර්තා චිත්‍රපටියක් නිර්මාණය වීම ඉතා දුලභය,සමාජ දේශපාලන ඉතිහාසය ස්පර්ශ කෙරෙන සිනමා ධාරාවක් නැත. රොමාන්තික සිනමාවක් නැත. නිලංකාර සිනමාවක් නැත. අවශ්‍ය නම් මෙම ලිස්ට් එක තවත් දිගු කළ හැකිය.
මෙම "නැති කම" වෙත ඇමරි-යුරෝ ලිබරල් ධනවාදී සිවිල් සමාජය විසින් හෙලන "දැක්ම" මූලික කරගත් චිත්‍රපටි කිහිපයක් නම් ඊනියා කලාත්මක ලේබලයකින් නිර්මාණය විය. මෙම චිත්‍රපටි වල පොදු රෙසිපියක්ද හදුනා ගැනීම අපහසු නැත.
තනි ගහයි, තනි ගෙයයි, කක්කුස්සියයි, වැලි පොළොවයි, රෙද්ද උස්සන කාෂ්ඨක ගැහැණුයි, බීඩි උරන වියපත් නිකමුන් හා හොටු පෙරා අඩන දරුවන් වැනි අච්චු කිහිපයක් මීට ප්‍රමානවත් වී තිබෙයි. (භූපති නලීන්ගේ වචනයෙන් කිවහොත් "සම්භාව්‍ය වට්ටෝරු සිනමාව"). එක් පසෙක යුධ වින්දන සිනමාව පිනුම් ගසන විට අනෙක් පස "මෙම පශ්චාත් යුධ මරිසි සිනමාව"ට ඉඩක් විවර විය. එම වලිප්පුව දිරිමත් කෙරෙන සිනමා ආයතන, සම්මාන උත්සව ලංකාවේද තැන තැන ඇටවීමට පිඹුරු පත් සැකසිණි.
NGO ලිබරල් සිවිල් සමාජයේ ආයෝජනයන් කතිකාවක් ලෙස සියුම්ව ගොඩ නැගෙමින් තිබිණි. ඊට යටින් ලංකාවේ ජාතික සිනමාවේ සංස්ථාපිතයන් අතාර්කික වූ අතර සිනමා නිෂ්පාදනය හා බෙදාහැරීම ව්‍යාපාරික ජාවාරම්කරුවන් දෙතුන් දෙනෙකුගේ ඒකාධිකාරයට නතු විය. ඇමරි - යුරෝ විදේශීය අනෙකාට ලංකාවෙන් අවශ්‍ය මෙම "හිගන සිනමාව"ලංකාවේ "මොත්තෙ පැටව්" කිහිප දෙනෙකුට ජිම්කානාවක් විය.
දුර බැහැර සිට ජොකා පිටින් කොළඹ ආපු මේ 'මොත්තෙ පැටව්' මෙම "ගෝලීය - ලංකා හවුල් ජාවාරම්" වලින් ක්ෂණික ධනපතියන් බවට රූපාන්තරණය විය. (සියලු කුප්‍රකට තොරතුරු අප සතුය). ඒ අතර අර පෙර කී සිනමා ශානරීය විවිධත්වය කෙරෙහි අනුරාගික වූ සිනමා ප්රයත්න කිහිපයක්ද අනාගත සේයාවක් ලෙස නිවි නිවී පත්තු වූ බවක්ද මෑත දක්නට ලැබිණි. එහෙත් එම සිනමාවට සංකල්පීයව පෝෂණය වීමට හා සිය පොදු ජන ප්‍රේක්ෂක පැවැත්ම උරගා බැලීමට අවස්ථාවක් තවම උදා වී නැත.
දේශපාලනය හා නව සිනමාව අතර නව කලාත්මක දේශපාලන කතිකාවක් නිර්මාණය වීමට අවැසි අවකාශය ඊනියා "සිනමාකාර ජාවාරම්කරුවන්" කිහිප දෙනෙකු විසින් අහුරා තිබෙයි. පුළුල් අරුතෙන් එය දෘෂ්ටිමය බල ව්‍යාපෘතියකි. අසීරු වුවද මෙයට නිර්දය ලෙස අභියෝග කළ යුතුය.
විදර්ශන කන්නංගර