සතුට උතුරා යන සොඳුරු සිනාවකින් සිත සැහැල්ලු කර ගෙන සිනමාහලෙන් පිටව යාම ප්රේක්ෂකයන් වැඩි දෙනකුගේ ප්රාර්ථනයයි.
ඒ පැතුම සැබෑ කරමින් ‘තමිල් පඩම් 2’ චිත්රපටය 2018 වසරේ ජූලි මාසයේදී තිරගත කෙරිණි. ‘තමිල් පඩම් 2’ අරුත දෙමළ සිනමාපටය 2 යන්නයි. මෙය 2010 තිරගතවූ තමිල් පඩම් සිනමා පටයේ දෙවැන්නයි.
සී.එස්. අමුධන්ගේ කුලුඳුල් අධ්යක්ෂණය වූ තමිල් පඩම් පළමු වැන්නෙහි ශිවා, සහ දිශා පාණ්ඩේ රැඟූ අතර එය ආදායම් වාර්තා පිහිටුවීම අතින් අති සාර්ථක විය.
මිත්තණිය යටතේ හැදුණු වැඩුණු ශිවා සිහින මවන්නේ සමාජයේ කැපී පෙනෙන වැදගතකු වීමටයි. යොවුන් වියට පියමං කළ පසු ඔහු ප්රියා (දිශා පාණ්ඩේට) හා සෙනෙහසින් බැඳෙයි. දිශා නගරයේ ධනපතියකුගේ දියණියකි.
ඔහු දියණිය විවාහ කර දෙන්නේ ධනවතකුට බවට සපථ කරන අතර ශිවා ධනවතකු වීමේ ඉලක්කය සපුරා ගනී. විවාහයට ද මනාපය ලබාදේ.
මිත්තණිය සමඟ හැදෙන වැඩෙන ශිවා තම මාපියන් කවුරුන්දැයි සොයා චිනෙමාපට්ට ග්රාමයට යයි. ඒ වන විට නගරයේ අපරාධ වැඩිවීමට පටන් ගෙන ඇති අතර ‘ඩී’ නම් අපරාධ රජු ඊට වගකිව යුතු බව දැන ගනී. අයුක්තියට එරෙහිව සටන් වදින ශිවා ‘ඩී’ සමඟ කරන අරගලයේදී තම මාපියන්ගේ වගතුග ද හදිසියේ ම දැන ගනී. අපරාධ රජු ‘ඩී’ කවුරුදැයි යන්න ප්රේක්ෂකයන්ට සොයා ගැනීම අසීරු වන අතර එය දැන ගත් පසු සියල්ලන් ම තුෂ්ණිම්භූත වෙයි. ඇතැම් විචාරකයන් පැවසුවේ ත්රාසය කුතුහලය පිරි මේ සිනමා පටයේ සිනහවක් මුව රඳවන මොහොතක් ඇත්දැයි සිතා බලන ලෙසය.
තමිල් පඩම් පළමුවැන්න අවසන් වන්නේ ප්රාදේශීය පොලිස්පතිවරයකු බවට පත්වන ශිවා පෙම්වතිය ප්රියා හා නෑ හිත මිතුරන් සමඟ එක්වීමෙනි.
දෙවැන්නේදී ඔහු පොලීසිය හැරපියා ගොස් චිනෙමාපට්ටි උපන් ගමේ නව දිවියක් ඇරැඹුවත් යළි පොලිස් කොමිෂන්වරයාගෙන් පොලීසියට බැඳෙන ලෙසට ආරාධනා ලැබේ. එහෙත් ඔහු එය ප්රතික්ෂේප කරයි. ‘පී’ නම් අපරාධ රජු සමාජයට හිසරදයක් වන්නේ මේ අතරේදීය.
ඔහු ශිවාගේ බිරිය ද බෝම්බ ප්රහාරයකින් මරා දමයි. ශිවාට පොලිසියට බැඳෙන ලෙස කෙරෙන ඉල්ලීම් වැඩිවෙන අතර යළි සේවයට යන ඔහු අපරාධ රජු මැඬලීමට ගන්නා තැත ප්රේක්ෂකයන්ට නැරඹීමට ලැබෙන්නේ විටෙක සිනාවද තවත් වරක ලොමු ඩැහැ ගැන්වෙන භීතිය ද මුසු කරමිනි.
මිර්චි ශිවා ලෙස ද ප්රකට ශිවා සිනමා පට දෙකේ ම ශිවා ලෙස රඟන අතර සිනමා පටයේ මෙන් ම ඔහුගේ සැබෑ ජීවිතයේ ද බිරියගේ නම ප්රියා ය. දිශා පාණ්ඩ් නම් තාරකාව වඩාත් ජනප්රිය වූයේ තමිල් පඩම් සිනමාපටයෙනි.
ප්රවීණ නිළි කලෙයිරාණි, ඊශ්වර මෙනන්, සතිෂ් (අපරාධ රජු පී ලෙස), ජාතික සම්මානලාභී සාන්තන භාරත, මනෝබාලා, දක්ෂ අධ්යක්ෂවරයකු හා නළුවකු වන ආර්. සුන්දරරාජන්, නිසාල්ගල් රවි ඇතුළු දක්ෂ ජනප්රිය තරු රැසක් මෙහි රඟති.
සී.එස්. අමුධන් තමිල් පඩම් පළමු වැන්නේ මෙන් ම දෙවැන්නෙහි ද අධ්යක්ෂවරයාය. එන්. කන්නන් තනු නිර්මාණකරුවකු ලෙස දොරට වැඩියේ ද 2010 තමිල් පඩම් පළමුවැන්නෙනි. දෙවැන්නට ගීත නවයක් ඇතුළත් වන අතර එහිද සංගීත නිර්මාණය ඔහුගෙනි. සිනමා පටයේ ට්රේලර, පෝස්ටර මෙන් ම ගීත ද එය තිරගත වීමට පෙරදී ම ජනප්රිය විය.
මේ සිනමාපට මාලාව ජනප්රිය ප්රවාහයෙන් මිදුණු වෙනස් මඟක් ගත් සිනමා නිර්මාණ බව බොහෝ දෙනාගේ අදහසයි. ආදර අන්දරයක වුවත් කාන්තාවකට ගෞරවයක් ලබා දිය යුතුයි යන පණිවුඩය මෙමඟින් ගෙනඑයි.
මෙහි බලු පැටවුන් පසුපස දුවන, වැස්සේ තෙමෙමින් අයිස්ක්රීම් කන උමතු කතා නායිකාවක නැත. කතා නායකයා ද කතා නායකයා ද දේවත්වයෙන් පිදුම් ලබන චරිතයක් නොවේ. තමිල් පඩම් පළමු වැන්නේ මෙන් ම දෙවැන්නේ ද ජනප්රිය සිනමා පටවල දර්ශන ද ඇතුළත් ය.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ