මධු මාධව අරවින්ද කියන්නේ මේ රටේ බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වූ චරිතයක්.
මුලින්ම ගායකයකු ලෙස කා අතරත් ජනප්‍රිය වූ මධු ජනප්‍රිය රංගන ශිල්පී නිල්මිණි තෙන්නකෝන් විවාහ කර ගැනීමත් සමග කා අතරත් උණුසුම් පුවත් මවන චරිතයක් බවට පත්වුණා. අද වන විට මධු - නිල්මිණි කැදැල්ල බිඳ වැටී අවසන් බවත්, මධුගේ ජීවිතයට ළං වූ තවත් කිහිප දෙනෙකු අද ඔහු ළඟ නැති බවත් කවුරුත් දන්නා රහසක්.
දේශපාලනඥයකු ලෙසත් මේ වන විට විවිධ භූමිකා නිරූපණය කරන මධු පසුගිය දවසක සිය ජීවිත කතාවද ඇතුළත්ව මම ඇත්තක් නමින් පොතක් ලියා පළ කළා.
මේ පොත හරහා මධුම හෙළි කරන ආකාරයට ඔහු දැන් යළිත් පෙම්වතෙක්. මේ පෙම් කතාව ගැන තවත් දවසක ඔබට හෙළි කරන පොරොන්දුව ඇතිව අපි අද මධු මාධව රචිත මම ඇත්තක් කෘතියෙන් උපුටා ගත් කොටසක් ඔබ වෙත ගෙන එනවා. තමන් මියගිය පසු තමන්ගේ අවමඟුල සිදුවිය යුතු ආකාරය ගැනයි මධු මාධව මේ විදියට එහි සටහනක් තබා ඇත්තේ.
මගේ අවසානයවත් මට වුවමනා ලෙස සිදුවේවා
මියයන බව දැනගෙන ජීවත් වූ මිනිසෙකුගේ අවසන් කැමති පත්‍රය
ජීවිතය තණ අග පිනි වැන්නේ? ආවොත් යා යුතු වේ, එය මෙය කියවන ඔබටද මටද උරුමය. ඔබේ අම්මා, තාත්තා සමහර විට දැනටමත් යන්නම ගිහින්ද? නැතිනම් එය දිනෙක අත් විඳින්නට බියෙන් ඒ ගැන සිතන්නටවත් අකමැති කෙනෙක්ද ඔබ? ආච්චි, සීයා, අම්මා, තාත්තා, පමණක් නොව ඔබේ දරු පැටියා ද දිනක මිය යනු ඇත. ඔබ ඒ ගැන තුන් හිතකින්වත් හිතන්නට අකමැති බව මා දන්නා මුත් ඔබද මිය යන බව කී විට ඔබට ඔව්. ඉතිං යැයි කියා සිතෙන්නටද හැකිය. නමුත් ඔබ එයට ලෑස්ති විය යුතු නැත.
විනෝද ගමනක්, වන්දනා ගමනක් යන්න ඔබ ලෑස්ති වුණා මෙන්ම මමද දිනක යන්නට ලෑස්ති වුණෙමි. ඒ මට ඕනෙ විදිහට. එයට ගෞරව හෝ අගෞරව ඔබ නොකරනු ඇත.
මේ අවසන් ගමනවත් මට ඕන විදියට යන්න මා විසින් නීතිඥයකු ඉදිරියේ ගිවිසගත් නීතිමය අයිතියේ සංක්ෂිප්ත සංකල්පයයි.
මා 1973 මාර්තු මාසයේ 06 වෙනිදා උදේ හෝ සවස උපන්නෙක්මි. (ලග්නයක් නැති බැවින් ඒ උදේද හවසද මට ඇත්තෙන්ම අම්මා තාත්තාගෙන් හරියට අසන්න බැරි විය).
එතෙක් මා ජීවත් වූවොත් සහ ඔබ ජීවත් වූවොත්, එය නැවුම් මදක් වේදනාකාරී. නමුත් ගෞරවණීය සමුගැනීමක් වෙයි. ඔබට කිසිදා අමතක නොවන, එදින වනවිට, මගේ අයිතියට මා විසින් ගයා හෝ මිලදී ගෙන හෝ මා විසින් නිර්මාණය කළ ගීත, මට අයිති යැයි සැලකෙන සියලු ගීත, ඒ මොහොතේ ගී ගයනට හැකි, මුදල් නැති, හැකියාව ඇති, අවස්ථාව නැති, කටහඬක් ඇති, ගයන්නට ඉඩ ලැබුන්නැති, තරුණ කලාකරුවෙකුට මම පවරා දෙමි. සින්නක්කරව පවරා දෙමි. මගේ මාධ්‍ය මිතුරන් මට, උදව් කරන්න. අපි පුංචි වැඩසටහනක් කරලා එහෙම කෙනෙක් තෝරමු. තෝරලා ඒ දිනන කලාකරුවාට ඒ ඔක්කොම ගීත ටික නීතියෙන්ම බාර දෙමු.
නැත්නම් ඒ කාලෙට තියෙන වැඩසටහනකට ජයග්‍රහකයා හෝ පරාජිතයා වෙනුවෙන් අපි ඒ ගීත ටික දෙමු. එහි මහා අගයක් නැති වුණත් ඒ මා සතු ගීත දෑවැද්දයි. එය එසේ සිදුවේවි.
මා මියගිය දිනක සිදුවිය යුතු දේවල් සමහරක් මෙහි ලියමි.
මම ජීවිතයට දැඩිව ආදරය කරමි. ඒ නිසාම යන්නට නියමිත ගමන සූදානම් කොට තැබිමට මල් ශාලාවකට ගියෙමි.
මල් ශාලාවේ හිමිකරු මා ඉදිරියේ ඇත.
තියෙන ලාභම පොලිෂ් නොකරපු රට අඹ ලෑලි පෙට්ටිය කීයද මුදලාලි ඔහු වැඩි ආයාසයකින් තොරව මල් ශාලාවේ පසුපසට ඇදෙන දොරටුව දෙස බලයි. එවැනි පෙට්ටි එළියෙන් තියන් නැත. රට අඹ ලෑලි පෙට්ටිවල යන්නේ මෝචරියේ අයිතිකාරයන් නැති මිනීවලටනේ මහත්තයෝ මුදාලාලි පිටි පස දොර දෙස බලාගෙන කියයි.
කොහෙ ඉස්පිරිතාලෙටද යවන්න ඕනේ.
ඔහු මා දෙස බලාගෙනම ඕඩරය ගන්නා පොත පෙරළයි. රුපියල් 7500 අන්තිම.
කාටද මහත්තයෝ පෙට්ටියඔහු මගේ නම සඳහන් කරමින් ඕඩරය ලියන පොතේ මගෙන් විමසයි.
පෙට්ටිය මට මම කීවෙමි.
පැලඳ සිටි කණ්ණාඩිය ගලවා පෑන බිම තැබූ ඔහු මගේ දෙස බලා සිටියි. එතැනින් පසු ඔහු පෙට්ටියේ වගකීම භාරගත්තේ, විටින් විට මගේ දෙස තියුණු ලෙස බලමිනි.
ජීවත් වෙමින් මැරුන මිනිහෙක් නොව මැරෙන බව දැන ජීවත් වුණ මිනිහෙක් ලෙස මුදලාලිගෙත් මගෙත් සංවාදය නිම වුණි.
මෙම පරිච්ජේදය ගොඩාක් දිගු කර වෙලාව නාස්ති නොකර අනිවාර්යයෙන් සිදුවිය යුතු ආකාරයන් කෙටියෙන් සඳහන් කරමි.
ඉතින් වේදනාවෙන් ලියන්නත් බෑ. ඔබත් සතුටින් කියවන්න මම මියගිය දිනක ඒ දිනය කවදා වුණත් මගේ දේහය මුළුමනින්ම අවසන් බැලීමට තබන 48 වෙනි පැයෙන් පසු එන අඟහරුවාදා දිනක හෝ සිකුරාදා දිනයක පුළුස්සා දමන මෙන් ඉල්ලමි.
එය පොලිෂ් නොකළ රට අඹ ලෑලි පෙට්ටියක් විය යුතුය
ඇත් දළ තැබිම නොකළ යුතුයි
උඩු වියනක් තැබුවාට කම් නැත
මට ලස්සනට අන්දන්න.
මම දෑත බැඳගෙන සිටිය නොයුතු වේ. අත් දෙක එක්කල ආචාර කරන මෙන් අවසානයේ මා බලන්නට එන අය මා දැක යුතු වේ.
කිසිම ගුණ කථනයක් නොපවත්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මියගිය පසු කිසිම ආගමික කටයුත්තක් සිදු නොවිය යුතුය.
ස්වාමීන් වහන්සේලාට වෙනම ගෞරවණීය අසුන් තබා තිබිය යුතු මුත්, ආගමික කටයුතු මතක වස්ත්‍ර පූජා, පැන් වැඩීම් නොකළ යුතුය.
කිසියම් කෙනෙකු විසින් ගෙන එන ස්තූති කථාව සහිත සී.ඩී. තැටිය පියන් වැසීමට පෙර වාදනය කළ යුතුයි. ඔබ වෙනුවෙන් මා පවත්නා අවසන් කතාව එදා ඔබ අසනු ඇත. එය මා පටිගත කොට අවසානය.
රාත්‍රී 12. සිට උදෑසන 8.00 දක්වා පෙට්ටිය වසා තබන්නට ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මොනම හේතුවකටවත් රෑ 12.00 සිට 8.00 නිවසේ තැන්පත් කළහොත් කිසිවෙකුට මගේ දේහය නොපෙන්විය යුතුයි.
කාඩ් ගසන්නන්, කැරම් ගසන්නන්, බූරු ගසන්නන්, හෝ අඩි පුඩි ගසන්නන්ද අවමඟුල පවතින භූමිය තුළ නොසිටිය යුතුයි.
ඕනෑම මොහොතක (රාත්‍රි 12.00 සිට 8.00 දක්වා හැර) මාගේ දුව ස්වේතා මන්දාකිණි සිරිවර්ධනට කැමති තරමක් නිදහසේ එම භූමියේ සිටින්නට අවස්ථාව දිය යුතුය
මියගිය අයෙකු ඔහුට අවසන් ගෞරව දක්වන්න පැමිණෙන අයට කථා කරා නම් ඒ මමය. එම කථාව ඉතා රහසිගතව පටිගත විය. (වුවමනා නම් ඔබටද එම අදහස කොපි කළ හැක. ඔබේ අවසාන කථාව ඔබම පවත්වන්නේ ද මම නොදනිමි. මම එය පවත්වා අවසානය.) මේ මිනිය තැන්පත් වූ තැන සිදුවිය යුතු නීතිමය අවසරය සහිත සිද්ධීන් පෙළේ අතළොස්සකි.
lakbima