සෑම විනෝද ගමනක් ම ප්රීතිජනක වුව ද අවිනාශ් (දල් කුවර් සල්මාන්), ශෞකන් (ඉර්ෆාන් ඛාන්) සහ ටාන්යා (මිථිලා පල්කර්) එක්ව යන විනෝද ගමනින් තරම් සිනාවෙන් හදවත සැහැල්ලුකර ගැනීමට නම් ඒ කිසිදු විනෝද ගමනකින් ඉඩ නොලැබෙනු ඇත.
2018 අගෝස්තු 3 වැනිදා සිට බොලිවුඩයේ අතිසාර්ථක ලෙස තිරගත වන කර්වාන් රසිකයන්ට ලබා දෙන්නේ නවතම හාස්‍යජනක අත්දැකීමකි. දකුණු ඉන්දීය (මලයාලම්) තරුවක් වූ තිස් දෙහැවිරිදි දල්කුවර් සල්මාන්ගේ මංගල බොලිවුඩ් සම්ප්‍රාප්තිය මෙයයි.
කේරළ සම්මාන උලෙළෙහි හොඳම නළුවා ලෙස ද සම්මාන දිනා ‘කර්වාන්’ ට එක්වන ඔහු මෙහි රඟන්නේ අකැමැති රැකියාවක් කරන තරුණයකුගේ චරිතයයි. පියා (ආකාෂ් කුරානා) මෙන් ඡායාරූප ශිල්පියකු වීමට පෙරුම් පිරුව ද ඔහු සේවය කරන්නේ බැංගලෝරයේ තොරතුරු තාක්ෂණ ආයතනයකය.
අවිනාශ්ගේ ඉරණම වෙනස් වෙන්නේ වන්දනා ගමනක් යමින් සිටි පියාගේ හදිසි වියෝවීම නිසයි. මෙහිදී ඔහු පියාගේ සිරුර ගැනීමට තම හොඳම මිතුරා සෞකත්ගෙන් උපකාර පතයි. එහෙත් ඒ වනවිටත් තම පියාගේ සිරුරත් ටන්යා (මිථිලා පල්කර්) ගේ මිත්තණියගේ සිරුරත් මාරු වී විශාල අකරතැබ්බයකට මුහුණ දී අවසන් ය. මේ සිදුවීම නිසා තිදෙනා මිතුරු වන අතර බැංගලෝර් සිට කොචි දක්වා යන ගමනේදී ඔවුනගේ ඉරණම නොසිතූ විරූ ලෙස වෙනස් වෙයි.
කර්වාන් තිරගත වූයේ ෆැනී ඛාන්, මුල්ක් සිනමාපට සමඟ සමගාමීවම ය. එහෙත් සිනමා පට තුනෙන් වඩාත් ජනප්‍රිය හා වැඩිම ආදායමක් ලද සිනමාපටය වී ඇත්තේ කර්වාන්ය. මෙය අකාර්ශ් කුරානාගේ ප්‍රථම අධ්‍යක්ෂණයයි.
බොලිවුඩයේ සිටින දක්ෂ චරිතාංග නළුවකු වන ඉර්ෆාන් ඛාන් පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීමට පෙර අවසන් වරට රැඟුවේ මේ සිනමා පටයේ ය. රෝගී වී ප්‍රතිකාර ලබන ඉර්ෆාන් වෙනුවෙන් ලන්ඩනයේ විශේෂ දර්ශනයක් ඔහුට හොර රහසේ පැවැත්වූ අතර ඊට ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සිනමා කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනකු ද සහභාගි විය. සිනමා පටය නරඹා ඉර්ෆාන් ඉතා සතුටු වූ බව දෙබස් රචක හුසේන් ද ලාල් පැවසීය. යූ ටියුබ් හරහා තාරකාවක වූ විසිපස් හැවිරිදි මිථිලා පල්කර් රඟන දෙවැනි හින්දි සිනමා පටය මෙයයි. එමෙන් ම ඇය බොලිවුඩයේ ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ ප්‍රථම වරටය. ක්‍රිති ඛර්බණ්ඩා මෙහි අවිනාශ්ගේ පෙම්වතියට රඟන්නී ය.
‘වල්මත්වූ ආත්ම තුනක්, මළ සිරුරු දෙකක් යාවජීව චාරිකාවක්’ සමඟ දල්කර් සල්මාන් බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වී ඇති නමුදු ඔහු මලයාලම් සිනමාව බොලිවුඩය නිසා අත් හරින්නේ නැත. මෙය ආකාර්ෂ් කුරානාගේ මංගල අධ්‍යක්ෂණයයි. ඔහු මින් පෙර ජනප්‍රිය වී සිටියේ ක්‍රිෂ් (2006), ක්‍රිෂ් 3 (2013), කයිට්ස් (2010) වැනි සිනමා පටවල තිර රචකයකු ලෙසිනි.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ