“දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලෙ - ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලෙ” කීමට අද කාලයේ දූ දරුවන්ගේ සිත් නිදහස් නැත.
දරුවන්ගේ නිවාඩු කාලයත් ගෙවී යන්නේ අකුරු ඉලක්කම් සමඟිනි. හොලිවුඩයෙන් මාර්ක් ෆෝස්ටර් විසින් ඊවන් මැක්ග්රෙගර්, හෙලේ ඇට්වෙල්, ජිම් කමිංස්, බ්රැඩ් ගැරට් ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියත් සමඟ අක්කර සියයේ වනාන්තරයේ විනී ද, පූ ඇතුළු මිතුරු කණ්ඩායම ‘ක්රිස්ටෝපර් රොබින්’ සිනමා පටයෙන් ගෙන එන්නේ දරුවන් එසේ පොතපතට පමණක් කොටු කරන මාපියන්ට පාඩමකි.
මිනිත්තු 104 ක කාලයකදී ළමයින් පමණක් නොව වැඩිහිටියන් ද අගෝස්තු 3 වැනිදා සිට ලොව පුරා තිරගත වන මේ සිනමා පටය මඟින් අහිමිවූ ළමා ලොවට රැගෙන යයි. සිනමා පටය අවසන් වන්නේ ළමා වියේදී මොනතරම් වැදගත් දේ අහිමිවී ඇත්දැයි පසක් කරමිනි.
ක්රිස්ටෝපර් රොබින් ගේ ළමා විය ගත වුණේ අක්කර සීයේ වනාන්තරයේ ලොම් මිතුරන් වූ විනී - ද පූ, කොටියා, ඌරා, ඉයොරේ, කන්ගා, රූ, බකමූණා ඇතුළු සෙල්ලම් බඩු සමඟය. ක්රිස්ටෝපර්
සත්ත්ව මිතුරන්ගෙන් සමුගන්නේ සියක් වසක් ගත වූව ද උන් අමතක නොවන බව පවසමිනි. වසර ගණනාවකට පසු ඔහු ළමා වියෙන් වැඩිහිටි වියට පියමං කරයි. පියකරු දියණියකගේ පියකු වන අතර රැකියාවත් සමඟ කාර්ය බහුල වන තවත් එක් වැඩිහිටියකු බවට පත් වෙයි.
ක්රිස්ටෝපර්ට ළමා වියේ මිතුරන් වූ විනී ද පූ ඇතුළු කණ්ඩායම අහම්බෙන් සුවිසල් ලන්ඩන් නගරයේදී මුණ ගැසෙන අතර මේ මුණ ගැසීමෙන් යළි ජීවිතයේ සැබෑ සතුට විඳින්නට හැකිවෙයි. සිනමා පටයේ සංගීතය ජෙෆ් සහේලි සහ ජෝන් බ්රයන් ගෙනි. ‘විනී ද පූ’ ජනප්රිය තේමා ගීතය ද සිනමා ගීතාවලියට ඇතුළත් ය. මේ ප්රහසනාත්මක, මායාකාර වෘත්තාන්ත සිනමා පටය, ‘ක්රිස්ටෝපර් රොබින්’ නිවාඩු කාලය ගත කරන දූ දරුවන්ට රසාලිප්ත අත්දැකීමක් වනු ඇත.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ