ආදරය, ප්‍රේමය, සෙනෙහස කවරාකාරයකින් හැඳින්වුවත් ලොව සිනමාපට වැඩිපුරම නිර්මාණය වී තිබෙන්නේ මේ විෂය වස්තු බීජය කරගෙනය.
ආදරය තේමා කර ගනිමින් කොලිවුඩයේ නිර්මාණය වූ අලුත් ම සිනමා සිත්තම ප්යාර් ප්‍රේමා කාදල් (ආදරය - ආදරය - ආදරය) ය. නමෙන් අරුත් ගැන්වෙන අයුරින් ම සිනමා සිත්තම කෙතරම් ප්‍රබල ද කිවහොත් එය තිරගත වූයේ ප්‍රතිභාපූර්ණ රංගවේදී කමල් හසන්ගේ විශ්වරූපම් II සමඟිනි. එමෙන් ම එය දැනට තිරගත වන සියලු දකුණු ඉන්දීය සිනමාපට අතරින් දෙවැනි වී ඇත්තේ ද විශ්වරූපම් II ට පමණි.
සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඒ ශ්‍රේණියේ තරු යුවළක නොවෙයි. හරීෂ් කල්‍යාණ්, රෙයිසා විල්සන් නළු නිළි යුවළ තවමත් අතේ ඇඟිලි ගණනටවත් සිනමාපටවලට රංගනයෙන් දායකවී නැත.
හරීෂ් රඟන්නේ අහිංසක, මධ්‍යම පාන්තික තරුණයකුගේ චරිතයයි. සින්ධුජා (රෙයිසා) නවීන තාලයේ තරුණියකි. රෙයිසා රඟන සින්ධුජාගේ චරිතයට තවත් නිළියන් තිස් දෙනෙක් ද සම්මුඛ පරීක්ෂණයට ලක්කර තිබේ. සිනමා පටයේ රඟන්නට පෙර කමල් හසන් විසින් මෙහෙයවූ ස්ටාර් විජේ නාළිකාවේ ‘බිග්බොස්’ රියැලිටි වැඩසටහනට පෙනී සිටීමෙන් පසුව මේ තරු යුවළ ජනප්‍රිය වී ඇත.
‘ප්යාර් ප්‍රේමා කාදල්’ විසි එක්වැනි සියවසේ ප්‍රේමවන්තයන්, සාම්ප්‍රදායික මාපියන් පිළිබඳ සිනමා කථිකාවතකි. අහිංසක විනෝදකාමී ශ්‍රී කුමාර්, නිවෙස අසල කාර්යාලයේ සේවය කරන සින්ධුජා නම් නවීන තාලයේ ස්වාධීන සුරූපිනියට පෙම් බඳියි. සමාජ ශාලාවලට යන කෙළිලොල් සින්ධුජා තමන්ගේ ම කර ගැනීමට ශ්රීට වැඩි කාලයක් ගත නොවෙයි. එහෙත් තමන් ශ්‍රී සතු වූවා කියා සින්ධුජා ඔහුගේ විවාහ යෝජනාව පිළිගන්නේ නැත.
තමන් ඉදිරියට ද මිතුරියක ලෙස ඇසුරු කරන ලෙස ඇය පවසන්නීය. කුඩා කාලයේදීම මව අහිමි වූ පියා සමඟ ජීවත්වන සින්ධුජාගේ එකම සිහිනය ලොස් ඇන්ජලීස් නුවර ආපනශාලාවක හිමිකාරියක වීමයි. විවාහය නිසා තම සිහිනය බොඳ කර ගැනීමට ඇය අකැමැතිය. සාදයකදී, ශ්‍රී සින්ධුගේ චරිතය ප්‍රසිද්ධියේ ඝාතනය කරන්නේය. ඉන්පසු සින්ධුජා දුරස්වන අතර ශ්‍රී ගේ ඉල්ලීමට දෙදෙනාගේ සාම දූතයා බවට පත්වන්නේ ඔහුගේ මිතුරකු වූ තංගරාජ් ය. ශ්‍රී, සින්ධුජාගේ පියාගේ නැටුම් පන්තියට සම්බන්ධ වෙයි.
දෙදෙනාගේ ආදරය අලුත් වෙයි. ශ්‍රී මාපියන්ට හොර රහසේ නීතියෙන් නොබැඳි සින්ධුජා සමඟ එක වහලක් යටට වෙයි. එසේ කරන්නේ සාම්ප්‍රදායික මාපියන් ඊට කොහෙත්ම එකඟ නොවන නිසාය. මව රෝගී වීම නිසා ශ්රීට ඉක්මනින් විවාහවීමට අවශ්‍ය වුවද සින්ධුජා එකඟ නොවන්නීය. මේ නිසා මාපියන්ගේ මනාපය අනුව ගැළපෙන තරුණියක හා විවාහ වීමට ශ්‍රී තීරණය කරන්නේය.
එහෙත් සින්ධුජා ගේ ආදර චාරිකාව එසේ අවසන් කිරීමට දෛවය ඉඩ ලබාදේවිද? විවාහ වී අතෘප්තිමත් විවාහ දිවියක් ගත කිරීම, අවිවාහකව සතුටින් එක් වහලක් යටට වීම මේ කරුණු දෙක ජීවිතවලට බලපාන්නේ කෙසේද? ප්යාර් ප්‍රේමා කාදල් සිනමා සිත්තම මේ සියල්ලටම පිළිතුරු සපයයි. ආනන්ද බාබු, රාජා රාණි, රාම්දෝස්, දීප්ස් සෙසු චරිත රඟති.
සිනමාපටයේ අධ්‍යක්ෂණය වාගේ ම තිර රචනයත් එලාන්ගෙනි. සිනමාපටයේ අවසන් ගීත දෙක රූගත කර ඇත්තේ අසර් බර්ජානයේය. අසර්බර්ජානයේ රූගත කළ පළමු දමිළ සිනමා පටය මෙයයි. සිනමා පටයේ ට්‍රේලරය මිලියන 16 කට වඩා වැඩි පිරිසක් නරඹා ඇත.
මේ සිනමා ආදරයට කෙතරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවාද කිවහොත් නිෂ්පාදක තනු නිර්මාපක යුවාන් ශංකර් රාජා අධ්යක්ෂ එලාන්ට සුපිරි කාරයක් තිළිණ කර තිබේ. ප්යාර් ප්‍රේමා කාදල් සිනමා ගීත රසිකයන්ගේ ද ඉල්ලුමක් වී ඇත. යුවාන් ශංකර් රාජා දකුණු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වූ ඉලෙයරාජාගේ බාලම පුතණුවන්ය.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ