බොබ් මාලේ ක්‍රි.ව. 1945 පෙබරවාරි 6 වැනි දින දහඅට හැවිරිදි පියකුට දාව ජැමෙයිකාවේදී උපත ලැබුවේය. මාලේට වයස අවුරුදු දහයේදී ඔහුගේ පියා මිය ගියේය.
ඔහුගේ පියාගේ මරණින් පසුව ඔහුගේ මව සිය දරුවන් රැගෙන මුඩුක්කු හා පැල්පත් වලින් පිරි ට්‍රෙන්ච් ටවුන් (Trench Town) හි පදිංචියට ගිය හෙයින් එහිදි දිළිඳුකම සියැසින් පමණක් නොව තම පවුල තුළද දිළිඳුකම අත්දකිමින් ජීවත් වීමට මාලේට සිදු විය. ළමා වියේ පටන්ම පාපන්දු ක්‍රිඩාවට මෙන්ම සංගීතයට ආශාවක් දැක්වූ මාලේ ගීත ගායනය සහ ගිටාර් වාදනය දිනෙන්-දින ප්‍රගුණ කරගනු ලැබුවේය. කතෝලික පල්ලියේ කන්තාරු කණ්ඩායමට බැඳුණු මාලේ එමඟින් සංගීත ජීවිතය ආරම්භ කළ අතර ක්‍රි.ව. 1962 දි ‘ජජ් නොට්’ (Judge Not) නමින් ඔහුගේ පළමු වන ගීත ඇල්බමය නිකුත් කළ අතර ඊට සංගීත ලෝලින්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු හෙයින් සංගීත ක්ෂේත්රය තුළින් දියුණු වීමට මාලේ උත්සුක වූයේය. ඊට වසරකට පසුව මාලේ ඔහුගේ ළමා වියේ මිතුරන් සමඟ එකතු වී සංගීත කණ්ඩායමක් ‘ඉවෙඉලින් වෙඉලර්ස්’ (Wailing Wailers) නමින් ආරම්භ කොට එහි පළමුවන ගීත ඇල්බමය ‘සිමර් ඩවුන්’ (Simmer Down) නමින් 1964 දි නිකුත් කළේය. කතෝලික බැතිමතකුව සිටි මාලේ ක්‍රි.ව. 1966 දී ‘රස්තාෆාරි’ (Rastafari) ආගමික කල්ලියට බැඳී එම ආගමික ව්‍යාපාරට අයත් ආගමික න්‍යාය, සිරිත්-විරිත් හා සංස්කෘතිය වැළඳගෙන එහි තිබූ රෙගේ (Regeae) සංගීත ශෛලියට දැඩි ලෙස ආශක්ත වූයේය. මාලේ එම සංගීත ශෛලියට අනුව සිය සංගීත කණ්ඩායම ගොඩ නැගීමටත් ඔහුගේ සංගීත ජීවිතේ ප්‍රාසාංගික කලාවටද රෙගේ කලාවටද රෙගේ සංගීත ශෛලිය බහුලව යොදා ගැනීමටත් කටයුතු කළේය. මෙම නව කණ්ඩායම් සංගීත ආර ලොව පුරා වෙසෙන යොවුන් සංගීත ලෝලීන් උන්මාදයෙන් මෙන් වැළඳ ගනු ඇතැයි සිතු මාලේ රෙගේ සංගීතය ලොව පුරා ප්‍රචලිත කිරීමට උත්සුක වූ අතර එය ඔහුගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් විය.
අප්‍රිකානු ජන සංගීතය ලෝකයට ගෙන යාමට මාලේ කටයුතු කරනු ලැබුවද ඒ තුළින් ලොව පුරා වෙසෙන අප්‍රිකානු ජනතාව ඒකරාශි කර ගනිමින් අප්‍රිකානු ජනතා හඬට ලොව තුළ අනන්‍යතාවක් ගොඩනගා ගැනීමටද මාලේ අමතක නොකළේය. එය හුදු වර්ගවාදි අරගලයක් වුවද තම වර්ගයා වෙනුවෙන් දේශපාලනික ව්‍යාපාරයක් ගෙන යාමටද මාලේ රෙගේ සංගීතය යොදා ගනු ලැබුවේය. මාලේගේ ගීත බටහිර දේශපාලන චින්තනය හෙළා දකින අයුරු දුටු දේශපාලන අධිකාරිය විසින් මාලේ සිරගත කිරීමටද කටයුතු කළ අවස්ථා තිබිණ.
ක්‍රි.ව. 1966 පෙබරවාරි 10 වැනිදා යුග දිවියට පා තැබූ මාලේ මත්ද්‍රව්‍ය වලට මෙන්ම ස්ත්‍රී සේවනයට ද ලොල් නූවකු බවට පත් වූයේ ය. මත්ද්‍රව්‍ය මාලේට අසාමාන්‍ය ශක්තියක් ගෙන දෙන බව ඔහු විශ්වාස කළේය.
ශබ්දාගාරවල පටිගත කරන ලද ගීත ඇල්බමයන් 13ක් හා සජීවි ලෙස නිර්මාණය කරන ලද ගීත ඇල්බමයන් 2ක් සංගීත ලෝකය වෙත මුදා හැරීමට සමත් වූ මාලේ ක්‍රි.ව. 1977 වසරේදි සමේ පිළිකා රෝගයකින් පීඩා වින්දේය. ඔහුගේ පා ඇගිලි වලින් පටන් ගන්නා ලද එම පිළිකාව ඔහුගේ මොලය කරා ව්‍යාප්ත වීමත් සමඟ හා ඔහු පාපන්දු ක්‍රිඩාවේ නිරතවී සිටියදී ඇද වැටීමත් සමඟ මරණය තමන් වැළඳගෙන ඇතැයි මාලේට දැනිණ. ඔහු ක්‍රි.ව. 1981 මැයි 11 වැනි දින මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව ඔහුගේ පාපන්දු සපත්තුවට පිළිකා කාරක ඇණයක් සවි කිරීම තුළින් අධිරාජ්‍ය විරෝධි අප්‍රිකානුවා මරා දැමීමට ඇමරිකානු රහස් ඔත්තු සේවය කටයුතු කළ බවට එම සේවාවේ ප්‍රධානියකු මිය යාමට මොහොතකට පෙර අනාවරණය කරන ලද ප්‍රවෘත්තියක් 2018 වසරේදි මාධ්‍ය තුළ පළ වූ අතර එය අසත්‍යයක් බව ඇමරිකාව විසින් ප්‍රකාශ කරන ලදී.
කෙසේ වුවද මාලේ රෙගේ සංගීතයේ යෝධයා බවට ලොව පුරා සංගීත ලෝලීන්ගේ හදවත තුළ ජීවත් වූ අතර ඔහුගේ මරණයට පෙර 1980 වසරේදි ජැමෙයිකාවේදි පැට්රික් බැරත් (Patrick Barat) විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනය පහත දැක්වේ.
ඔබ ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙන බව දැනුනේ කවදාද?
සැම විටම මම ජැමෙයිකාවේ ජනප්‍රියයි. ඉන් අදහස් කරන්නේ මට හොඳ යාලුවෝ පස් දෙනකු ඉන්නවා නම් මාව ජනප්‍රියයි කියන හැඟීම ඇති කරගන්න එය හොඳටෝම ඇති.
ඔබ සෑම විටම ආරක්ෂිත තත්ත්වයකද ඉන්නේ?
ඔව්. මට කිසිවකුට රිදවන්න අවශ්‍ය නෑ වගේම කිසිවකු මා රිදවනවාටත් කැමති නැහැ.මම ගරුසරු නැති මූණක් තියන කෙනෙක්. සමහරක් වේලාවට මම විහිළුවක් කරන්න ගියහම මිනිස්සු මගෙන් අපූරු ප්‍රශ්න අහනවා. මේ සෑම දෙයක්ම විහිළුවක් නොවේ. ජීවිතය තුළ දුක් විඳීම හා පීඩාවට පත් වීම නිරතුරුව සිදුවන දෙයක් බවට පත්ව තිබෙනවා.
හැට ගණන් වල ආරම්භයේ සිදු කරන ලද ඔබගේ පළමුවන ඇමරිකානු සංචාරය රස්තා (Rasta) මඟට සම්බන්ධ වීමට ඔබව මෙහෙය වූ බව සත්‍යයක්ද?
මම ඇමරිකාවට ගියා. මේ ගොඩනැගිලි ඉදිරියේදි රස්ක්ලාත් (Rasclaat) කියා මටම මා කියා ගත්තා. ඔවුන් මට ඡායාරූප පෙන්වමින් ‘දෙවියන් වහන්සේ සුදු’යි කියා මට කියා සිටියා. ‘මොන තරම් අප්‍රසන්න තැනක්ද? මට මෙහි වෙන්න පුළුවන් එකම දේ මම වහලෙක් වේවි !’ කියා මම මටම කියා ගත්තා. ඒ පුද්ගලයෝ මුදල් කෙරෙහි විශ්වාස කරනවා. ඔවුන්ගේ ඩොලර්වල ‘ඉන් ගෝඞ් වී ට්‍රස්ට්’ (In God We Trust) කියා ලියා තිබෙනවා. මේ සුදු දෙවියන් වහන්සේ සහ කළු ජේසුතුමා අතර වෙනස මට තෝරා ගැනීමට සිද්ධ වුණා.
බැබිලෝනියාවේ ඔබ ප්‍රතික්ෂේප කළේ කුමක්ද?
තාක්ෂණයේ වුවත්, සෑම දෙයකම හොඳ සහ නරක තිබෙනවා. සුදු මිනිස්සු බලයේ සිටින විට කළු මිනිසා ඔහුගේ සහෝදරයකු බවට පිළිගැනීමට ඔවුන් සූදානම් නැහැ. මිනිස්සු සියලු දෙනා සමඟ සහජීවනයෙන් යුතුව එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුයි. සියලුම සුදු නායකයෝ සිදු කළේ මැෂින් තුවක්කු සහ බෝම්බ සෑදීමයි. ඒ නිසා අප විසින් ඔවුන් නුසුදුසු නායකයෝ ලෙස පිළිගත යුතුයි. එසේත් නොමැතිනම් ඔවුන් විසින් නිවැරදි මඟ ප්‍රතික්ෂේප කර තිබෙන නිසා වඩාත් නිවැරදිවම කියනවා නම් ඔවුන් ඔවුන් විසින්ම නුසුදුස්සන් බවට පත් කර ගත යුතුයි. ඔවුන් තවමත් සිතන්නේ ජීවත්ව සිටින අය ඔවුන් විසින් මැරිය යුතු බවයි. සුදු මිනිස්සු ලෝකය පාලනය කිරීමට අසමත් වෙලා තිබෙනවා. දැන් කළු මිනිස්සුන්ගේ කාලය ඇවිල්ලා.
මානවයා පාලනය කිරීමට සුදු මිනිසුන් අසමත් වූවා යැයි කියන්නේ කවර පදනමක් මතද?
සමෙහි වර්ණය ගැන ගැටලුවක් නැහැ. ප්රශ්නය වන්නේ සුදු මිනිස්සු විසින් ඔවුන්ට ඉහළ තත්ත්වයක් හිමි වන වැඩ පිළිවෙළක් සකස් කර තිබීමයි. ආයතන පාලනය කරන්නේ සුදු ජාතිකයන් විසින්. ඕනෑම ජන සමාජයක් තුළ මිනිසුන් දුක් විදීම, මරණාසන්නව සිටිනු දැකිය හැකි වගේම අනෙකුත් අය ඒවා තුළින් වැඩි වාසි ලබා ගන්නවා. ඒකට කියන්නේ ‘ක්‍රමය’ කියලා.
පැරණි රොඬේෂියාව වන සිම්බාබ්බේ මෙන් දකුණු අප්‍රිකාව නිදහස් රාජ්‍යක් වූයේ කෙසේද?
අපි බලාපොරොත්තු වෙනවා සුදු මිනිස්සු නැගිට කළු මිනිස්සු වෙනුවෙන් අරගල කරාවි කියා. ඉන් පසුව වර්ග වාදය විසඳීමට වෙනත් යුද්ධයක් අවශ්‍ය වන්නෙ නැහැ. කළු මිනිසුන් තෘප්තිමත් කිරීම සඳහා සුදු මිනිසුන්ට කළ හැකි දෙය වන්නේ කළු මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමයි. එමගින් මිහිමත යුක්තිය, ප්‍රේමය සහ සාමය උදා කර ගත හැකියි.
වාර්ගික සීමා බාධක මර්දනය කළ යුත්තේ කෙසේද?
සියළු දෙනා සමඟ සමගියෙන් එකට ජීවත් වීමට මිනිසුන් ඉගෙන ගත යුතුයි. මෙය ළඟා කර ගැනීමට නම්, කාලයෙන් කාලයට සෑම කෙනකුම චාරිකාවේ යෙදිය යුතුයි.
ඉස්ලාම් දහම පිළිබඳ ඔබ පරීක්ෂා කර බලා තිබෙනවාද?
මුස්ලිම්වරු හොඳයි කියලයි මම දන්නේ. ඊට වැඩිය යමක් මට ඔබට කිව නොහැකියි.
ආසියාතිකයන් ගැන ඔබ සිතන්නේ කෙසේද?
සුදු මිනිසා ලෝකය පාලනය කිරීම කළමනාකරණය කිරීමට නොදැන සිටියා. වගේ ඔවුන්ට එය කිරීමට සිදු වේවි. දෙවියන් වහන්සේ චීන ජාතිකයකු බවට බයිබලය අනාවරණය කර තිබුණේ නම්, චීන ජාතිකයන් අද ජීවත් වන්නේ ඉතියෝපියාවේ. රජුන්ගේ රජු ලෙස හෝ දෙවියන්වහන්සේගේ දෙවියෝ ලෙස ඔහුට ඔටුණු පළඳවා තිබෙන්නට පුළුවනි.
ඇතැම් අවස්ථා වලදී ඔබ අවසාන විනිශ්චය ගැන කතා කරනවා. ඔබගේ අදහසට අනුව එය සිදුවන්නේ කවදාද?
අවසාන විනිශ්චය සෑම දවසකම සිදු වෙනවා.
ක්ෂණිකව සිදු වන්නේ කුමක්ද?
ක්ෂණිකව සිදු වන බෝම්බ පිපිරීම. අවසානය සඳහා මිනිසුන්ට තිබෙන එකම මාර්ගය වන්නේ තමන්ව විනාශ කර ගැනීම සඳහා කිසිවක් නොකර සිටීමයි. ඔබ අවි සමඟ ජීවත් වුවහොත්, ඔබ මැරෙන්නේ අවියකින්මයි.
එතකොට ඔබ අරගල කරන්නේ කුමකටද?
මට අරගල කිරීමට වේලාවක් නැහැ. මම අරගල කරනවා නම් මම දෙවියන් වහන්සේට විනිශ්චය භාර දිය යුතුයි. ගංගාවක තිබෙන ගල් නිසා කිසි දිනක වතුර ගලා යාම වැළකෙන්නේ නැහැ.
මිහිතලයේ තිබෙන ඔබ වඩාත් කැමතිම ස්ථානය කුමක්ද?
මම ඉපදුන ගම වන සෙන්ට් ඈන් (Saint Ann). යුරෝපය තුළ ශීත ඍතුව ඉතා සීතලයි. ග්‍රීෂ්ම ඍතුව උෂ්ණාධිකයි. වසන්ත ඍතුව ඉතා කෙටි කාලීනයි. සරත් ඍතුවද ඉතා කෙටි කාලීනයි. මනුෂ්‍යයකුට ජීවත් විය හැක්කේ අප්‍රිකාවේ වගේ දේශගුණයක් තිබෙන තැනක පමණයි.
(බොබ් පාපන්දු අංගනයට ගොස් සංගීතය ගැන කතා කිරීමට පටන් ගත්තා.)
මම සංගීත වාදනයට කැමතියි. ඒත් වේදිකාවක් සුවදායක තැනක් ලෙස මට හැඟෙන්නේ නැහැ. මම සංදර්ශනයක්, යාළුවන්ගේ හමුවක් බවට පරිවර්තනය කර ගැනීමට කැමතියි. සිංදු කීපයක් ගායනා කිරීමට හේතුව වන්නේ මිනිසුන් සමඟ මට කතා කරන්න පුළුවන් නිසා. හැම කෙනෙක්ම උණුසුම් නොමැතිව කතා කරමින් සිටීම ඉතා හොඳ තත්ත්වයක්.
සංගීතය කියන්නේ රෙගේ විතරක්ද?
මම ස්ටීව් වොන්ඩර් (Stevie Wender) ට කැමතියි වගේම ගරු කරනවා. කැලිප්සෝ කියන්නේ මම හැමදාමත් කැමති පළමුවන සංගීතයයි. ඒත් ඒක වාදනය කරන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ.
මනුෂ්‍යයකු විසින් වාදනය කරද්දි සංගීතයක් මුළුමනින්ම අංග සම්පූර්ණ වෙන්නේ කොහොමද?
සංගීතය ස්වර්ගයේ දොරවල් විවෘත කරනවා. එය බොහෝ මිනිසුන්ට තේරුම් ගන්නට බැරි වෙනත් මානයක් වෙතට යොමු වෙනවා.
ගංජා ගැන කුමක්ද කියන්න පුළුවන්? ඒවා වැදගත්ද?
ගංජා ඔබේ කුසලතා වර්ධනය කරනවා. විද්‍යාඥයෝ පවා එම දුම්බීම කළ යුතුයි. එය භාවිතාවකට ඉතාමත් හොඳයි. ලෝකයේ ඕනෑම තැනක එය පාවිච්චි කිරීමට අවසර ලබා දිය යුතුයි.
(ටික වේලාවකට පසුව ශබ්දාගාරය තුළදී සම්මුඛ සාකච්ඡාව යළිත් පටන් ගත්තා.)
මේ දැන් වෙනත් යමක් ගැන සිතා ගන්න බැහැ. සමහරු කියනවා රෙගේ ඉක්මනින් වියැකිලා යයි කියලා. ඒත් මේ සංගීතය රස්තා (Rasta) සංගීතයයි. ඒ නිසා ඒක අවසන් වෙන්නේ නැහැ. ඩිස්කෝ සංගීතය මතු වුණහම මිනිසුන්ට රෙගේ (Reggae) ත්රුණේ නැහැ. රෙගේ සාර්ථක වුණාම මිනිස්සු රෙගේ වලට ආපසු යොමු වුණා. ඒක තමයි සංගීතයේ මුල් තිබෙන තැන.
ඒත් ඔබ අහන්නේ?
අහන්න, ප්‍රවේශමෙන් අහන්න (ඔහු ඉතාමත් ප්‍රවේශමෙන් ඇහුම්කන් දෙයි, මමත් එසේම කළා.) ඔබට ඒක ඇහුණාද? දැන්, රාත්‍රිය උදාවෙලා, ක්‍රිකට්, ගෙම්බෝ, ස්වාභාවික ශබ්දවලට මම ඇහුම්කන් දෙනවා. ඒක තමයි සැබෑ සංගීතය. ඔබ පටිගත කිරීමේ යන්ත්‍රයක් සමග ඈත ප්‍රදේශයකට ගියහොත්, කඳුවල තිබෙන සංගීතය ඔබ සොයා ගනීවි. එය වාණිජ සංගීතයත් අතර වෙනසක් තිබෙනවා. ඔබ පටිගත කළහොත් එය වාණිජමය දෙයක්. ඒක ව්‍යාපාරයක්. සංගීතය කියන්නේ මිහිතලයේ සජ්ඣායනයක්. ඔබ ඊට සවන් දුන්නොත් ස්වභාව ධර්මය යනු සංගීතයයි. ඒ වගේම සංගීතය තුළ වෙනස්කම් දැකිය හැකියි, එය මිනිසුන්ට රිද්මයේ ශක්තිය ගෙන දෙනවා.
(පුහුණුවීම් මධ්‍යයේ ටික වේලාවකට පසුව)
බලන්න, සමහරක් වේලාවට මම තනියම ගිටාරය වාදනය කරනවා. සිංදුවක් ඇවිත් එය රෙගේ බවට පත්වෙනවා. සමහරක් වෙලාවට, සංගීතයත්, ගී පදත් එකට එනවා. ඒත්, තනු ලිවීමේදී ඔබ අතිවිශාල සමාධියකට පත්විය යුතුයි.
දේශපාලනය ගැන කොහොමද?
මම දකුණු පැත්තේවත් වම් පැත්තේවත් නැහැ. මම කෙළින්ම ඉදිරියට යනවා. කිසිවකුවත් කෙළින්ම ඉදිරියට යාමක් ගැන හිතන්නේ නැහැ. ඔබට තේරුණාද? ඒක තමයි ඇත්ත. ඔවුන් ජේසුස් වහන්සේව කුරුස පත් කළ හැටි මතකද? එක්කෙනෙක් දකුණු පැත්තෙත්, තවත් කෙනෙක් වම් පැත්තෙත් හිටියා. ඔවුන් දෙදෙනාම සොරු. දෘෂ්ටිවාද සම්බන්ධයෙන්ද එසේමයි.
ඔබේ සංගීතය දේශපාලනය නොවන්නේ නම් කුමක්ද?
මිනිස්සු කියනවා එසේ සංගීතය දේශපාලනිකයි කියලා. ඒත් මට නිවැරදි දේ කුමක්ද කියලා මම ඇත්ත කියනවා. දේශපාලනඥයෝ ජනතාවට කැමති නැහැ. ඔවුන් කැමති වෙන්නේ ඔවුන්ට ඡන්දය දාන අයටයි, ඔවුන් හෙළා දකින්නේ ඔවුන්ට එරෙහිව ඡන්දය දාන අයයි. දේශපාලනය කියන්නේ පිස්සු කෙළීමක්. දේශපාලනඥයෝ හිතනවා ජේසුස් වහන්සේ උකුත් වුණා කියලා. මොකද? ඔවුන් ඔවුන් තුළම මැරිලා ඉවරයි. ජේසුස් වහන්සේට උකුත්විමට බැහැ, ඒ නිසා තමයි අපි ජීවතුන් අතර ඉන්නේ.
මරණය ගැන කුමක් සිතන්නේද?
අපිට මරණය සමග ගනුදෙනුවක් නැහැ. රස්තාවල සමස්ත තේරුම ජීවිතයයි. ජාහ් (Jah) ගේ තිළිණය නම් ජීවිතයයි. පාපයේ මාවත මරණයයි. මිනිසා පව් කරන්නේ නැතිනම්, හොඳයි. මිනිසුන්ට ප්රාතිහාර්යයක් සිදුවී ඔවුන් තවමත් ජීවත් වන බව අපි දන්නවා. අපූර්ව මාවත් ගැනත් අපි දන්නවා. අපට උපදෙස් ලබාගෙන රැකවල් දේවදූතයෙක්ද ඉන්නවා. ඔබ නරක දෙයක් කළහොත්, එතකොට මෙම ස්ප්රිතුව දියවෙලා ගොස් ඔබ මරණයට පත්වේවි. මිනිසුන් මරණයට වැදගත්කමක් ලබා දිය යුතුයි. මොකද, ඔවුන් දෙවියන් වහන්සේව තේරුම් ගත්තේ නැහැ. ඔවුන් රස්තාෆාරි කියන්නේ දෙවියන් වහන්සේ කියා දකින්නේ නැහැ. ඔවුන් මේ මිහිතලයේ සිදුවන වෙනස්කම් කිසිවක් ගැන දන්නේ නැහැ. එහි අවසානයක් නැහැ. එහි අවසානයක්ද තිබිය නොහැකියි.
ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු
රාවය