ලංකාවේ සිනමාව සමරන හැම වසරකම කතාවෙන මාතෘකා තිබ්බත් ඒවා ක්‍රියාත්මක නොවන යථාර්ථය දෙස බොහෝ දෙනා සැලකිල්ලක් දක්වන්නේ නැත. සිනමාව සැමරුම් උත්සව වන්නට වන්නට මිනිසුන්ට සිනමාව සමග පැවතුනු ජීවමාන සම්බන්ධය හොඳටම හීනවී තිබේ.
කර්මාන්තයක් විධිහට සිනමාවේ ප්‍රධාන අංශ තුන වන නිෂ්පානය, බෙදාහැරීම හා ප්‍රදර්ශනය යන අංශ තුනම බරපතල අර්බුදයකට ගොස් හමාර ය. අර්බුදය කුමක්දැයි සූත්රගත කිරීම පවා අසීරු තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනාගේ සරලමතික යෝජනාව රජය මීට මැදිහත් වියයුතු බවයි. නමුත් යතාර්ථය කෙවැනිද? සිනමාව තියා අත්‍යාවශ්‍ය සේවා හෝ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට 2017 ලංකාව පත්ව ඇත. අත්‍යාවශ්‍ය සේවා පවා පෞද්ගලීකරණය හැර රනිල්ගේ රජයද දන්නා දෙයක් නැත. රාජපක්ෂ චීනයට රටම විකිණීමට ආරම්භ කළ ව්‍යාපෘති යහපාලනය එලෙසම කරගෙන යයි. නුදුරේදීම සුභසාධන ආකෘතිය යටතේ තිබූ සිනමාවේ ඉතිරි වූ පරිපාලනයද රාජ්‍ය වගකීමෙන් මිදෙනු ඇත. සිනමාව පූර්ණ ලෙස පෞද්ගලීකරණය වනු ඇත. වෛද්‍ය විද්‍යාල සිට සයල්ල පෞද්ගලීකරණය විරුද්ධ නොවන ජනතාවක් ඊට විරුද්ධ වේද? අප ජනතාව ගැන මුග්ධ සිහින තබාගත යුතු නැත. ජනතාව යනු පරිභෝගිකයන් පිරිසක් මිස ඉන් මෙපිට කිසිදු අර්ථයක් ඇති පිරිසක් නොවේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස්
සිනමාව ද සංකේතීයව පොදු පෙරමුණු ආණ්ඩුවේ අම්බලවානර් වාර්තාවෙන් පූර්ණ ලෙස බෙදාහැරීම දක්වා පෞද්ගලීකරණය කළේය. චිත්‍රපට සංස්ථාව යනු එතැන් පටන් පඹයෙකි. එය විශ්‍රාම ශාලාවක් වැන්නකි. උදාහරණයකට සංස්ථාවට බෙදාහැරීමේ මණ්ඩලයක් තිබූණ ද ලංකාවේම ශාලා 185 පමණ ප්‍රමාණයෙන් එකදු සිනමා ශාලාවක් හෝ හිමි නැත. අද වන විට සිනමාව යනු කලු ආර්ථික මාෆියාවක් මෙන්ම ජාතිවාදයේ සිට සියලු අගතිගාමී, කාලකන්නි දෘෂ්ටිවාද නිමවන කර්මාතයක් බවට පත්වී හමාර ය. එහි ඉතිහාසය 70 වසරකි. 'දේශීය සිනමාව' යන යෙදුම වෙනුවට 'සිංහල සිනමාව' ලෙස වරනගන තරමට එය ජාතිවාදී ය. ලංකාවේ මෙම 70 වසරට දමිල චිත්‍රපට 36 ආසන්න ප්‍රමාණයක් තිරගත වී ඇතත් සංස්ථාවෙන් පලකරන නාමාවලියේ පවා කිසිදු දෙමල චිත්‍රපටියක නම් නැත. ඇතොත් ඒ 'පොන්මනි' හා 'ඉනි අවන්' පමණකි. ඊනියා විකල්ප කියාගන්නා ඕ.සී.අයි.සී නාමාවලියේ පවා ඒ වරද නිවැරදි කර නැත. එක අතකින් කළු ආර්ථිකයකුත්, අනෙක් පසින් ආගම් - ජාතිවාදයකුත් 2017 වනවිට අපිට උරුම කර ඇත.
සිනමාව තවදුරටත් ලාභ ලබන මාධ්‍යයක් ලෙස ලංකාවේ නොපවතී. උදාහරණයකට රජකතා රැල්ලේ චිත්‍රපට දෙකක් හැර ඉතිරි සියල්ල පාහේ වැය වූ පිරිවැය හෝ නැවත ලබාගෙන නැත. රාජපක්ෂ රජය මගින් ලබා දුන් බදු සහනය ලබා ගැනීමට එක වෙළඳුන් පිරිසක් සිනමාවට ආයෝජනය කරන අතර ඔවුන්ට චිත්‍රපටියක් ලාභ වුණත්, පාඩු වුණත් එය අදාළ නැත. අනෙක් පසින් මුදල් විශුද්ධිකරණ කළු ආර්ථිකයක සමපෙක්ෂිත ප්‍රාග්ධනයත් සිනමාවට යෙදවේ. ඔවුනටද චිත්‍රපටි ලාභ ලැබුවත්, පාඩු වුණත් අදාළ නැත. කෙනෙක් තීක්ෂණව සිතිය යුත්තේ මෙතරම් පාඩු ලබද්දීත් සිනමාවට ආයෝජන පැමිණෙන්නේ කෙසේද යන්න ය. එපමණක්ද නොව, රජ කතාවකට වැය වන මිලියන 100ක පමණ ප්‍රාග්ධනයක් නැවත උපයන්නේ නැතිවිට පද්ධතියක් පවතින්නේ කෙසේද යන්න ය. සූත්‍රය ඇත්තේ වෙනත් තැනක බව එවිට ටිකිරි මොළවලට වටහී යා යුතු ය. සෙසු කලාත්මක නිෂ්පාදනද බොහොමයක් පාඩු ලබන අතර ඇතැම් ඒවා සෘජු විදේශ ආයෝජන ය. ඒ අර්ථයෙන් සිනමාව පූර්ණ ලෙස ලාංකික වෙළඳපොළට විවෘත වී ඇති අතර එයට නිෂ්පාදන නියාමනයක් රජයෙන් ඉල්ලීම විහිළුවකි. මසකට මිලියන තුනක පමණ අය වැය පරතරයක පවතින සංස්ථාවට රනිල්ගේ යෝජනාව වනු ඇත්තේ කෙසේ හෝ එය පියවන ලෙස මිස ලංකාවේ මුග්ධ කලාකරුවන් යයි කියාගන්න පිරිස සිතනා ආකාරයේ 'කලාත්මක ආත්ම ප්‍රකාශන' ලෙස නොවේ. එය ඉටුකිරීමට සංස්ථාව 'සුහද කොකා'ගේ සිට 'සරිගම' පමණක් නොව, රාජිනි කාන්ත්ගේ 'කබාලි' දක්වා ඕනෑම නිෂ්පාදනයක් හිරිකිතයකින් තොරව පෝලිම් පනිමින්, පනතේ සඳහන් පිටපත් සංඛ්‍යා උල්ලංගනය කරමින් කළුකඩ මුදලාලි භූමිකාව රඟපානු ඇත. ඒ සංස්ථාවෙන් සම්භාව්‍ය සිනමාව රැකගන්නට රැකවරණ ඉල්ලීම හිනා නොයන විහිළුවකි.
අනෙක් පසින් තාක්ෂණය උදෙසා (ඩී.සී.පී./ඩිජිටල් ප්රක්ෂේපන) මිලියන දහයක පමණ මුදලක් වැයකරන අගනගර මූලික ප්‍රමිතිගත සිනමා ශාලා පූර්ණ ලෙස දේශීය සිනමා කෘති ප්‍රදර්ශනය අතහැර දමමින් සිටී. ඒවා බොලිවූඩ් හා හොලිවූඩ් සිනමාවෙන් ලාභ රේට්ටු වෙන් කරගැනීමට හුරු වී ඇත. ඔවුන් සිංහල චිත්‍රපටියක් පෙන්වූවද පෙන්වන්නේ අනුකම්පාවට හෝ හිතමිත්‍ර කමකට ය. දේශීය චිත්‍රපටි සඳහා තිර කාලය සකන විට එය සමස්ත රටේ තිර කාලයෙන් 40% වත් නැත. එම පෙන්වන චිත්රපටිද 10.30 එකක්ද, 1.30 තව එකක්ද ආදී ලෙස හිතු මතේ දුවන තීන්දු බවට පත්ව තිබේ. සංස්ථාවට හෝ නිෂ්පාදකවරුන්ට ඒ උදෙසා කළ හැකි කිසිවක් ඉතිරි වී නැත. පරිවාරෙයේ රටක ඌන-වර්ධිත කර්මාන්තය යනු මෙයයි.
'පත්තිනි' - දිව්‍ය ලෝක සිනමාව
පනත් සංශෝධනයට හැමදාමත් මූට්ටු වුණ සිනමාකරුවන්ගේ සිට බොහෝ දෙනාව නැටවීම ආණ්ඩුවලට සරල කටයුත්තක් වන්නේ එකක් ඔවුන්ට කර්මාන්තය ගැන මෙලෝ අවබෝධයක් නැතිකම නිසා ය. අනෙක කල්ලිවාදය හෝ තක්කඩි ආත්මාර්ථකාමය නිසා ය. මෙතෙක් ඉදිරිපත් වූ ජෝතිසේන (1961) වාර්තාවේ සිට සේනක බණ්ඩාරනායක (1997) වාර්තාව දක්වා පිරික්සන්නෙකුට ඒවා ක්‍රියාත්මක වූ දිග පළල බලාගත හැක. අවශ්‍ය අයෙක් මෙහි යටි බඩ හැදෑරීමට සුනිල් මිහිඳුකුල ලියූ 'දේශීය සිනමාවේ අර්බුදය ' කෘතිය කියවන්නැයි මම යෝජනා කරමි. දැනගන්නට ලැබෙන තොරතුරු මත මේ වනවිටද පනත සංශෝධනයට කෙටුම්පත් නිමවෙමින් තිබේ. ඊට රනිල් වික්‍රමසිංහගේ පාසල් මිතුරු සිලෝන් තියටර්ස් සමාගමේ අධ්යක්ෂ ඉමිතියාස් කාදර් සුපුරුදු ලෙස ප්‍රදර්ශකයන්ට වාසිදායී, කර්මාන්තය අර්බුදයෙනුත් අර්බුදයට යවන තීන්දු සම්මත කිරීමට පිඹුරුපත් සපයමින් සිටී. රනිල්ට වඩා වටින්නේ ප්‍රසන්න විතානගේවද - කාදර්ව ද යන්න ඉගැන්වීම සඳහා පන්ති දැමීමට මෙය වෙලාව නොවේ.
සිනමා ශාලාවල ප්රමිතීන් සළකන විටද තත්ත්වය අමුතුවෙන් කිව යුතු නැත. එක අතකින් රථ ගාලේ සිට ආපන ශාලාව දක්වා දෙගුණ වූ කළුකඩ මිලකට සේවා සපයා කියන්නේ පාරිභෝගිකයාට චිත්‍රපටි බලන්න නොඑන ලෙසට ය. එය පාරිභෝගිකයා දිරිමත් කිරීමක් නොව, සීමා විරහිතව සූරාකෑමකි. පවුලක් සිනමාවකට යනවා යනු මධ්‍යම පාන්තිකයන්ට පවා දෙවරක් සිතිය යුතු කාරණයක් වී ඇත. ධනේශ්වරය මිනිසුන්ගේ විනෝද මාධ්‍යයන්ගේ සිට අතාවශ්‍ය සේවා දක්වා ගෙලවටක් හිර කර තිබුණ ද ඊනියා බුද්ධිමතුන්ගේ සිට කලාකරුවන් දක්වා පිරිස් තවදුරටත් ධනේශ්වර රාජ්‍ය මත විශ්වාසය තබා තිබේ. ආණ්ඩු මාරු වනවිට නැවත ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින්නේ ඒ අනුව ය. ඒ අතරවාරයේ සියලු දෙනා එකිනෙකාගේ බෙලි කාගෙන හෝ ගොඩ යන මාෆියා සිනමාව ප්‍රගුණ කරමින් සිටිති. කට්ටියක් එය ජාත්‍යන්තරව කරමින් සිටින අතර සෙසු අය සුනිල් ටී මහතා හෝ නුදුරු අනාගතයේ මහාරාජා හෝ රෙනෝ සිල්වාගේ කර මතින් යාමට දත කණු ඇත.
ඔබ සිනමා සම්මාන උළෙල හෝ සැමරුම් උත්සව විශ්වාස කරන්නෙක් නම් ඔබට මෙම කෙටි සටහන අපුලක් දනවනු ඇත. " ඔය කියන තරම් යකා කළු නැත"යි ඔබ කියනු ඇත. ඔබ වැන්නන් මතක් කරගත යුතු වන්නේ අවම වශයෙන් ලෙස්ටර් හැමදාමත් ඉල්ලන සිනමා සංරක්ෂණාගාරයවත් දිනාගැනීමට අප අසමත්ව ඇති බව ය. සිනමාව යූ ටියුබ් හරහා රැකෙනු ඇති බවට තව කට්ටියක් හිත හදාගනු ඇත.
සිනමාව ප්‍රමාණයෙනුත් චින්තනයෙනුත් සටන්කාමීත්වයෙනුත් හැකිලෙමින් පවතී. ඒ හැකිලීමට වයස දැන් වසර 70 කි!☐
බූපති නලීන් වික්‍රමගේ