"සිඟිති ලොවේ හුරතල් හඳයා
සිහින ලොවේ සිට ආ හඳයා
ළපටි සිතුම් හඳුනන හඳයා
අදත් හෙටත් හිනැහෙයි හඳයා"
ලාංකේය සිනමා වංශකථාව තුල, එදත් අදත් ,හොඳම ළමා චිත්‍රපටය ලෙස සළකනු ලබන්නේ ටයිටස් තොටවත්ත විසින් අධ්‍යක්ෂණය කළ "හඳයා" චිත්‍රපටයයි. ළමා චිත්‍රපටයක් ලෙස හැඳින්වූවද එහී තේමා පාඨය වූයේ වයස 08ත් 80 ත් අතර පොඩි හිටි, වැඩි හිටි සැමට ඔබින චිත්‍රපටයක් ලෙසටය. එහෙයින් හඳයා යනු හුදෙක් ළමා චිත්‍රපටයක්ම නොව.
ලෝක සිනමාව තුළ , හුරතල් සතුන්ගේ වීර වික්‍රමයන් ඇතුළු බොහෝ ළමා චිත්‍රපට හැම දශකයකම තිර ගත කර තිබුණි. 'ෆා ෆ්‍රොම් හෝම්", "බෙන්ජි", " ද ස්ටෝරි ඔෆ් ලැසී" වැනි චිත්‍රපට ඉන් සමහරකි. ඒවා බොහෝ විට හුරතල් බල්ලන් සම්න්ධ කථාන්තරයන්ය. "හාති මෙරේ සාති" නම් හින්දි චිත්‍රපටයට එකතු වූයේ අලි හුරතලුන්ය. ටයිටස් තොටවත්ත තම තිරනාටකය ලීවේ 'පෝනියෙකු' මුල් කර ගෙනය.
"හඳයා" නම් පෝනියා අයිති වී සිටියේ මාර්ෂල් නැමැත්තෙකුටය. මාර්ෂල්ගේ මේ පෝනියාව බලා ගත්තේ ඇට්ටර කොල්ලෙක්ය. මාර්ෂල් ඒ වෙනුවට ඒ කොල්ලාට පඩි ගෙවයි. එහෙත් ඌ "හඳයා"ට නිතරම අඩම්තේට්ටම් කරයි. මෙය මාෂල්ගේ කඩේට " සේල්ස් රෙප්' වැඩේ කරන සේන දකියි. මේ ඇට්ටර කොළුවා තවත් පෝරිසාද කොළුවෙකු වූ "සූප්පූවා" ගේ සඟයෙකි. දිනක් සේන, මේ ඇට්ටරයා "හඳයා"ට කෝටුවකින් තලනු දැක, අහිංසක සත්තුන්ට වද හිංසා නොකරන ලෙස කියා, ඒ බැව් මාෂල්ටද කීය. මේ හෙයින් මාෂල් එම ඇට්ටරයාව එළවා දමා හඳයාව බලාගැන්මේ රස්සාවත් සේනටම පැවරීය. තමාගේ රැකියාවට ආංචි ඇද්ද සේන සමඟ ඇට්ටර කොළුවා වෛර බැඳ ගත්තේ එතැන් සිටය. ඔහු කවදා හෝ සේනගෙන් පළිගන්නා බව දිව්රා කීය.
ටයිටස් තොටවත්ත තම කථාශාරයේ මුල සිටම ළමුන් අතර පැටලීම ඇති කළේ ඒ ළෙසය. විරසකය තුළින් "ත්‍රිල්" එක ඇති කර ගත හැකි බව ටයිටස් කොහොමත් දැන සිටියේය.
සේන ට බාල මල්ලිලා දෙදෙනෙක් සිටි අතර, තව කුඩා නංගියෙක්ද විය. මව මිය ගොස් ඇති අතර, පියා නොම්මර එකේ බේබද්දෙක් විය. ටයිටස්ට අවශ්‍ය වී තිබුනේ මේ කුඩා ළමුන් හතර දෙනා දෙමාපියන්ගේ හව් හරණයක් නොමැතිව ජීවත් වන ආකාරය පෙන්වන්නට විය හැක. පෙරේරා නොහොත් සේනගේ පියාගේ ඇදුම් පැළදුම් එම මුඩුක්කුවට නොගැලපෙන ඒවා වුවත්, ටයි කෝට් සහ තොප්පි ,තුලින් පෙරේරා වැදගත් රැකියාවක් කළ පුද්ගලයෙක් ලෙසත්, බිරිඳ මිය ගිය පසු, බීමට ඇබ්බැහී වී, මුලු ජීවිතයම අරක්කු යැයි සිතා සිටින පුද්ගලයෙක් ලෙස හුවා දැක්වීමට ටයිටස් උත්සහා ගතී. චුට්ටෙගේ පාසැලට බීගෙන පැමිණ, චුට්ටේව දැඩි අපහසුතාවයකට පත් කෙරූ පෙරේරා, චුට්ටේගේ පාසැල් මිතුරන් අතරේද විහිළු කරුවෙකු විය. ඒ සිදුවීමෙන් පසු චුට්ටෙ ගේ පාසැල් ගමන නැවතුනු අතර, ඥාතීන් විසින් පෙරේරාට දොස් කීවේ තම දරුවන්ගේ අනාගතය විනාශ නොකර, ගෙදරින් යන එක වඩා හොඳ බවය. තමා අතින් සිදුවූ වරද අවබෝධ වුණු පෙරේරා නිවසින් පිටව ගියේය. සේන, චුට්ටේ, උක්කුං, හා ඔවුනගේ කුඩා සොහොයුරිය, ජීවිතයට මුහුණ දෙන්නට පටන් ගති. ඔවුනට රැකවරණයට මාර්ෂල් මාමා සිටියේය.
අහඹුවකින් සේනට හමුවුනු ටොම් නැමැති කුඩා සුදු ජාතික යහළුවා, සේනට 'හඳයා' රැඟෙන ඔවුනගේ බංගලාවට පැමිණෙන්නට කීවේ ටොම්ට පෝනියා පිටේ යාමටය. ඒ හේතුවෙන් ටොම් සහ සේන ගජමිතුරන් වූ සේම, ටොම් ගේ පියා වු සුදුජාතිකයා සේනට ආදරයෙන් සැළකුවා පමණක් නොව, හැම දිනම තම පුතාව පෝනියා පිටේ රැගෙන යන නිසා ලොකු මුදල් නෝට්ටුවක් සේනට දුනී.
චුට්ටෙද සපත්තු මදින රැකියාවක් කළ අතර, උක්කුං සුවිප් ටිකට් විකුණන්නට විය. පියා ඔවුන් හැර ගියා කියා ඔවුනට ආර්ථීක අතින් අහේනියක් වූයේ නැත. පියා වුවද, නිවසින් ගියාට, ඔහු වත්ත තුලම එක එක්කෙනාගෙන් අරක්කු බොමින් තැන් තැන් වල කරක් ගසමින් සිටියේය.
සුප්පුවා ට වෙනමම කණ්ඩායමක් සිටි අතර , ඔවුන් කළේ නසරානී වැඩය. සේනටද කණ්ඩායමක් සිටියහ. සේනගේ සහෝදරයන් වූ චුට්ටේ, හා උක්කුංට අමතරව, සුදු මහතාගේ පුත් ටොම්, සහ තවත් කීප දෙනෙක් ඒ කණ්ඩායමට අයත් විය. සූප්පුවාගේ කණ්ඩායම චුට්ටේව පැහැරගෙන බෝට්ටු තොටුපොලක බැඳ දමා බෝලයාව ආරක්ෂකයෙකු ලෙස තැබීය. එහෙත් සේනගේ කණ්ඩායම පැමිණ සූප්පුවාගේ කණ්ඩායම හා සටන් කළෝය. ඔවුන් සටන් වැදුනේ හරියට ජෝර්ජ් සී ස්කොට් රඟපෑ 'ප්ලැටූන්' චිත්‍රපටයේ වගේය. ඔවුන් සූප්පුවාව ගඟට දමා යුද්ධය ජය ගෙන චුට්ටෙව බේරා ගති.
එහෙත් සූප්පුවා වැඩේ අතහැරියේ නැත. ඔහු සේනගේ කණ්ඩායමට චැලෙන්ජ් එකක් කරේ නැවතත් සටනට එන ලෙසය.
ටයිටස් තොටවත්ත මේ ළමා ලෝකය, ළමා ඇසින්ම බලා, ළමයින්ගේ හුරතල් සිතුම් පැතුම් තුළට රිංගා, ඔවුනගේ දඟකාර කම් තුලින් හරිම විශ්මිත ළමා ලෝකයක් මැව්වේය. එය 'ඩිස්නිලන්තයට'ත් වඩා විශ්ම ජනකය. ඩිස්නිලන්තයේ තිබූනේ තාක්ෂණයත්, නිර්මාණත්වයත්ය. එහෙත් ටයිටස් ළමුන්ගේ හුරතල් දඟකාර යථර්ථය සජීවීවම ගෙන හැර පෑය.
සූප්පුවාගේ චැලේන්ජ් එක සේන ඇතුළු කණ්ඩායම බාර ගත්තද, එම සටනේ නිර්මාතෘවරයා වූයේ ටොම්ය. 'ටින් ටින් 'කථා මාලාවේ එන සටන් , මෙන්ම ටොම් විසින් නරඹා ඇති රාජකීය සටන් චිත්‍රපටවල තිබූ සටන් අනූරූපය අනුව සටන් කළ යුතුයැයි තීරණය කළේ ටොම්ය.
හරියට "බෙන්හර්", "ක්ලියෝපැට්රා" "ජූලියස් සීසර්" වැනි දැවැන්ත චිත්‍රපටවල තිබූ සටන් , සුප්පූවාගේ කණ්ඩායමත්, සේනගේ කණ්ඩායමත් අතර සිදුවිය යුතු යැයි ටොම් කීය. ඒවා නම් මාරයිය. සීරියස් නමුත් හරි හුරතල්ය. සීරියස් හුරතල්ය.
යුද්දයට අශ්වයෝ නොසිටියාට, පෝනියෝ සිටියහ. දිග කඩු, හෙල්ල නොතිබුනාට ගෙදරින් කොසු, ඉදල් ගෙන ආහ. රජවරුන් දෙදෙනාගේ යකඩ හිස් වැසුම් නොතිබුනාට බාල්දි හිල් කර ගෙන හදා ගත් හිස් වැසුම් තිබුණි. යුද්ධය පටන් ගන්නට පෙර, ටොම් තම ට්‍රම්පට් එක වැනි නලාව පිඹ ආරම්භය සනිටහන් කළේය.
යුද්ධය දරුණු විය. හිට්ලර්ගේ යුද්ධයත් මේ තරම් දරුණු වූයේ නැත. සේන, හා සූප්පුවා තම පෝනියන්ගේ පිටවල නැගී බාල්දී හිස්වැසුම් දමා දිගු කොසු මිට සහිත හෙල්ලයන් අතින් ගෙන මූණට මූණ සටන් කළේ හරියට "ග්ලැඩියේටර්" චිත්‍රපටයේ රසල් ක්‍රෝ හා ජෝකින් පීනික්ස් සටන් කෙරුවා ලෙසටය. එම සටනින්ද සුප්පුවා හා ඔහුගේ කණ්ඩායම පරදවා සේන , උක්කුවා, චුට්ටෙ ඇතුළු කණ්ඩායම දින්නේය.
'කව්රුද කව්රුද දැං ලොක්කෝ
අපිමයි අපිමයි දැං ලොක්කෝ
හූ හූ හූ හූ ඔක්කොම අපි ලොක්කෝ'
වාර්ෂීකව මහා පෝනී රේස් තරඟයක් තිබෙන බව ප්‍රචාරනය ඇරඹුනේ මේ අතරෙදීය. මාර්ෂල් මාමාට හඳයා සමඟ සේනව මේ තරඟයට ඉදිරිපත් කරන්නට ඕනෑ විය. ඔහු එයට සේනගෙ නම දමා අයැදුම් පතක්ද භාර දුනී.
වත්තේ හොර අරක්කු විකුණන්නේ සර්පින්ගේ කඩේය. සර්පින්ටත් තම පෝනියාව තරඟයට ඉදිරිපත් කිරීමට උවමනා විය. ඔහු එයට තරඟ කිරීමට සූප්පුවාව යොදවන්නට තීරණය කළේය. එහෙත් "හඳයා" ඉදිරිපත් වූව හොත් තමාගේ පෝනියාව පරදින බව සර්පින් දැනගති. එහෙයින් තරඟයට ප්‍රථම "හඳයාව" නැති කිරීමේ මගක් ගැන සර්පින් කල්පනා කරන්නට විය.
නිවසින් එළියට විසිවුණු පෙරේරා බොහෝ අවස්ථා වල ටැග් ගැහෙන්නේ සර්පින්ගේ කඩයේය. සර්පින් පෙරේරාට බොන්න අරන් දී කීවේ පෙරේරාව නිවසින් පැන්නුවේ ළමයිට "හඳයා"ව බලා ගැන්මට උවමනා නිසා කියාය.එම අදහස පෙරේරාගේ සිතේ පැල පදියම් කළේය. පෙරේරා සර්පින්ගේ ගැටයට අහුවිය. ඔහු සේන හා අනෙක් සහෝදරයන් නැති වෙලාවක බලෙන්ම නිවසට ගොස් හඳයාට ගිනි පෙල්ලකින් තඩි බෑවේය. එවලේ නිවසේ සිටියේ සේනගේ කුඩා සොහොයුරිය පමණි. ඇය තාත්තා බීගෙන විත් හඳයාට ගිනිපෙල්ලෙන් තලන විට බියට පත් වී ඇඳ යට හැංගුනාය. හඳයා කෙසේ හෝ කඹය කඩා ගෙන පැන ගියද, උගේ ඇඟ තැනින් තැන පිච්චී තිබුණි. තාත්තා නිවසින් ගිය පසු කුඩා නංගී හඬාගෙන සේනලව සොයා ගොස් විස්තරය කීය. ඔවුන් වහා 'හඳයාව' සොයා ගියහ. පිළුසුම් සහිතව ඔවුන්ට හඳයාව හමුවුනද ඌ අසනීප වී සිටියේය.
ටොම්ගේ මාර්ගයෙන් හඳයාව සත්ව දොස්තර කෙනෙක් ලඟට ගෙන ගියද, එහිදී හඳයාට නේවාසිකව ප්‍රතිකාර ගන්නට සිඳුවිය. දොස්තර හඳයාට බෙහෙත් කර ඌව බලාගන්නට පැවරුවේ දොස්තරගේ ආවතේව වැඩ කරන වොට්සන් නම්වූ කොටෙකුටය. වොට්සන් සර්පින්ගේ යහළුවෙකි. සර්පින් වොට්සන්ට අරක්කු බෝතලයක් දී, පෝනී රේස් තරඟය නිම වෙන තෙක් සත්ව රෝහළෙන් "හඳයා" ව පිටමන් නොකරන ලෙස කීය. දොස්තරද නිවාඩු දමා ගොස් ඇති හෙයින් සත්ව රෝහළ තිබුනේ වොට්සන්ගේ බාරයේය. සේනල මොන තරම් උප්පරවැට්ටි දැම්මත් හඳයාව රෝහළෙන් එළියට ගෙන යාමට වොට්සන් කෙළෙසකවත් ඉඩ දුන්නේ නැත. මේ හෙයින් තමන්ට පෝනී රේස් තරඟයට තරඟ කරන්නට නොලැබෙන බව සේනට සක්සුදක් සේ ප්රත්යක්ෂ විය. ඔහු ඒ අදහස අත් හැර දැමීය.
ටයිටස් තොටවත්ත, සේනගේ , උක්කුවාගේ, චුට්ටෙගෙ ,මාර්ෂල් මාමාගේ පමණක් නොව එම තරඟය නරඹන්නට පැමිණී පෝනී රේස් ලෝලයන් හා චිත්‍රපටය නැරඹීමට පැමිණී ප්‍රේක්ෂකයන්ගේද මානසිකත්වය ලෙල්ලටම බැස්සුවේය.
සර්පින්ට දැං ජයග්‍රහණය අත උඩය. තරඟයේ ජයග්රහණයේදී ලැබෙන ත්‍යාග මුදල වූ රුපියල් පන්සීය (ඒ කාලේ හැටියට විශාල මුදලකි.)ලැබෙනුයේ තමනටය. ඒ සර්පින් හිතු හැටිය.
මොන දේ ෂුවර් වුනත් පෙරේරාවත් රේස් තරඟය නිම වෙන තෙක් වසන් කර තැබුවා නම් හොඳ යැයි කියා සර්පින්ට සිතුණි. ඔහු ඔහුගේ ගෝලයාවූ තඩිපියාට කීවේ රේස් තරඟය ඉවර වන තෙක් පෙරේරාව බැඳ තබන ලෙසය. තඩිපියාද පෙරේරාව කඩේ පිටු පස නිවස තුල බැඳ තැබුවේය. ඒ රේස් තරඟය දිනයේමය. කෙසේ හෝ සේන,චුට්ටේ හා උක්කුංට තම පියාව බැඳ සිටි තැන අහුවිය. ඔවුන් වහා තම පියාව බේරා ගතී. පෙරේරාට තම දරුවන් ගැන අනුකම්පා සිතුණි. තමන් ගත කරන කාලකන්නි ජීවිතයේ යථාර්තය වැටහිණි. දරුවන්ද තම තාත්තාට ගෙදර එන්නට අඩ ගැසූහ. එළෙසම රේස් තරඟයට තමනට සහභාගි වීමට නොලැබෙන හේතුවද කීය. පෙරේරා දරුවන්ට වහා රේස් පිටියට යන්නට කියා තමා කෙසේ හෝ හඳයාව රේස් පිටියට රැඟෙන එන බව කීවේය.
ටයිටස් තොටවත්ත හරි අපූරුවට කුඩා දරුවන් හා වැඩි හිටියන් අතර ඇතිවන සෙනහස් සබඳතාවය තිව්ර කර පෙන්වූයේ එළෙසය. දරුවන්ගෙන් නොගිලිහී ගිය වැඩිහිටි සෙනෙහස මාර්ෂල් මාමා හරහාත්, දරුවන්ගෙන් ගිලිහි ගිය වැඩිහිටි සෙනෙහස නැවතත් ලැබීම, පෙරේරාගෙනුත් සංවේදීව පෙන්වීය.
චිත්‍රපටය තුළ තවත් අතුරු චරිත කීපයක් තිබුණි.සුසී, සුසීගේ සැමියා, බෝලයා, තඩිපියා, එවන් චරිතයන්ය. ඒවාද චිත්‍රපටයේ අදාල තැන් වලදී විටින් විට මතුවිය.
වොට්සන්ට අරක්කු බෝතලයකුත් රැඟෙන පෙරේරා ගියේ , ඌව රවට්ටා ගෙන එසේත් නොමැති නම් තර්ජනය කර හෝ පෝනියාව රැඟෙන ඒමටය.
රේස් පිටියේ තරඟ පටන් ගෙනය. සේනලා තරඟ කරන්නේ මහා තරඟයටය. දැන් එයද පටන් ගන්නට යයි. සියල්ල පෙල ගැසීත් අවසන්ය. හඳයාත් නැත, හඳයා රැගෙන එන්නට ගිය පෙරේරාත් නැත.
'තාත්තා ඔය කොහෙ හරි බීලා වැටාලා නිදිය ගෙන ඇති' සේන දැඩි කණසල්ලෙන් කීය. සූප්පුවා තරඟ බිමෙය. සර්පීන් හා තඩි පියා උද්දාමයෙන් උඩ පනියි.
මහා තරඟය පටන් ගතී. සියල්ලෝගේම බලාපොරොත්තු සුන්කරමින් හඳයා හා සේන නැතිව රේස් එක පටන් ගතී. පළවන රවුම යන විටම කව්රුත් නොසිතූ ලෙස පෙරේරා හඳයා පිට උඩ නැඟී තරඟ බිමට පැමිණ හඳයාව සේනට භාර කළේය. සේන වහා හඳයාගේ පිට උඩට නැඟ තරඟයට අවතීර්ණ විය.
බටහිර චිත්‍රපටයක දෙන ත්‍රාසය, කුතුහලය, වේගවත් බව ටයිටස් තොටවත්ත විසින් හඳයා තුළින් ලබා දුන්නේ මෙලෙසය. විශේෂයෙන් මේ අවසාන දර්ශනය නම් සුපිරිම, සුපිරිය. තරඟයට බොහෝ අය සහභාගී වූවද, තරඟය නියම අන්දමට තිබුනේ නම් සේන හා සූප්පුවා අතරය. සූප්පුවාගේ සහයට, සර්පින් තඩි පියා ඇතුළු සුප්පුවාගේ ගැන්සිය සිටි අතර, සේනගේ සහයට පෙරේරා, මාෂල්, චුට්ටෙ, උක්කුං, ටොම් ,සුසී ඇතුළු පිරිස සිටියහ. තියුණු තරඟයකට පසු සේන සූප්පුවාව පරදවා ජයග්‍රාහණය කළේය. 'හඳයා' දින්නේය.
ටයිටස් තොටවත්ත ළමුන් අතරේ වෛරය පැමිණවූයේ නැත. සටනේ පැරදුනු සුප්පුවාද පසුව සේනගේ ජයග්‍රහණය කළ කණ්ඩායම හා එකතු වී සේනගේ ජයග්‍රහණය සැමරීය.
හෙන්රි ජයසේන බේබදු පියා වු පෙරේරා ලෙස ප්‍රබල රංගනයක නිරත විය. එලෙසම මාර්ෂල් මාමා වුයේ තවත් දක්ෂ රංගන ශිල්පියෙකු වූ ජේ.එච්. ජයවර්ධනය. පර්ල් වාසුදේව සුසි වූ අතර, ගැමුණු විජේසූරිය ඇයගේ සැමියා විය. රංජිත් යායින්න සර්පීන්ය. පැන්ටලියන් ඩී සොයිසා තඩි පියාය. ටොම් ගේ සුදු ජාතික පියා වූයේ ජීන් පීරේය. කොට වොට්සන් ලෙස ගාමිණී වික්‍රමනායක නම් ශිල්පියෙක් රඟපෑහ. අයිවන් පණ්ඩිතරත්න, ජයලත් මනෝරත්න, සෙසු චරිත රඟපෑ අතර, ප්‍රවීන ගීත රචක, නිවේදක කරුණාරත්න අබේසේකර පෝනි තරඟය මෙහෙයවන කථිකයා ලෙස චරිතයකට පණ පෙවිය.
"හඳයා" චිත්‍රපටයේ ප්‍රධාන චරිත වූයේ ළමයින්ය. සේන මෙහී මුඛ්‍ය චරිතයයි. ප්‍රදීප් රොෂාන් ප්‍රනාන්දු එම චරිතය රඟපෑ අතර කසුන් මදුරසිංහ චුට්ටේ විය. දර්ශන පනංගල උක්කුංය. සූප්පුවා ලෙස කිත්සිරි මෙවන් ජයසේන රඟපෑ අතර, ඒනියන් බුර්ජෝ ටොම් විය. බෝලයා ලෙස රඟපෑවේ ප්‍රවීන නළුවෙකුවූ ටෝනි රණසිංහගේ පුත්‍රයෙකුවූ මුදිත රණසිංහය. සේනගේ කුඩා නංගී වූයේ ඉඳුනිල් ගල්පීල්ලය.
කැමරාව මෙහෙයවූයේ ඇන්ඩෘ ජයමාන්නය. සංගීතය සෝමපාල රත්නායක ගෙනි. ගී රචනා අරිසෙන් අහුබුදු හා සුනිල් ආරියරත්නගෙනි.
1979 වසරේ හොඳම චිත්‍රපටය,(ටයිටස් තොටවත්ත) හොඳම අධ්‍යක්ෂණය (ටයිටස් තොටවත්ත), හොඳම තිර රචනය(ටයිටස් තොටවත්ත), හොඳම සංස්කරණය (ටයිටස් තොටවත්ත), හොඳම කැමරාකරණය (ඇන්ඩෘ ජයමාන්න), හොඳම ගීත රචනය (අරිසෙන් අහුබුදු), හොඳම සහාය නළුවා (හෙන්රි ජයසේන) 'සරසවිය' සම්මාන ලැබූවේ "හඳයා" චිත්‍රපටයටය. එමෙන්ම 1980 ඉතාලියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙ හොඳම ළමා චිත්‍රපටය වූයේද 'හඳයා'ය. ඕසීඅයිසී හොඳම නිර්මාණශීලී අධ්‍යක්ෂනය ලැබුනේද 'හඳයා'ටය.
ටයිටස් තොටවත්තගේ නිශ්පාදනයක් ලෙස ආ 'හඳයා' තිරගත වූයේ 1979 නොවැම්බර් 16 වන දාය.
'පුංචි වුනත් හරිම සැරයි
ගම්මිරිස් ඇටේ
හූස් හූස් ගෑවා නේද
ගම්මිරිස් ඇටේ'
-ශෝන් මැක්ස්මස් දිසානායක-
සරසවිය