ලාංකේය සිනමාවට නිසි පදනම දැමූ ‘රේඛාව’ට පසුගියදා හැට වසරක් සපිරුණේය. ඒ නිමිත්තෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය උත්සවයට රේඛාව නිර්මාතෘ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද සහභාගී කරවාගෙන තිබුණි.
ලාංකේය සිනමාව නිසි මඟට යොමු කළ ඒ පුරෝගාමී මිනිසා එදා බැරි බැරි ගානේ රීගල් සිනමා ශාලාවට ගොඩ වෙද්දී ඔහු 97 වන වියත් ඉක්මවා සිටියේය. ‘රේඛාව’ සමරන සෑම අවස්ථාවකදීත් එහි පුරෝගාමියා, ලෙස්ටර්ගේ උපන්දිනය සමරන සෑම වසරකදීත් බලයට පත්ව සිටි ජනාධිපතිවරු අගමැතිවරු, ජනමාධ්‍ය ඇමැතිවරු ඔහුට සුබපතා කේක් කවා ආපසු ගියහ.
වයස 90 ඉක්ම වූවායින් පසු ලෙස්ටර්ගේ නිවසේ පැවැති සෑම උපන්දින සැමරුමකදීම ඔහු රාජ්‍ය අමුත්තන් ඉදිරියට කැඳවාගෙන අවුත් වාඩි කර තැබුවේ පොඩි දරුවකු වාඩි කර තබන්නාක් මෙනි. ඒ ඔහුගේ වයස නිසාය. හැමදාමත් රාජ්‍ය අමුත්තෝ ඔහුගෙන් සිනමාවට සිදු වූ සේවයත් ඔහුගේ වටිනාකමත් මාධ්‍ය ඉදිරියේ පවසා කේක් කපා, සුබපතා ගිය අතර ලෙස්ටර් සුමිත්‍රා යුවළ තම නිවසේ තනි වූහ.
ලෙස්ටර් - සුමිත්‍රා කොළඹ ඩික්මන් පාරේ නිවසේ වසර ගණනාවක් තිස්සේ විසූයේ කුලියටය. ඔවුන් ජීවිත කාලය පුරාම තමන් සතු ඉඩකඩම් පවා විකුණා ඒ මුදල් යෙදුවේ සිනමාව වෙනුවෙනි. සිනමාවෙන් ඔවුන් හරි හම්බ කළ දෙයක් නැත. සැප වාහන ගන්නට සිතුවේ නැත. ඔවුන් දෙදෙනා හැමදාමත් ජීවත් වූයේ සිනමාව සමඟ පමණි. ඒ නිසාම ඔවුන්ට ජීවිතයේ බොහෝ දේ මඟ හැරුණේය. වදෙන් පොරෙන් ගේ කෑල්ලක් අටවා ගන්නටවත් වුවමනාවක් ඔවුන් දෙපළට නොතිබුණේය.
අපේ රටේ බොහෝ කලාකරුවෝ කලාව තුළින්ම හරි හම්බ කර ගනිමින් සැප පහසු යාන වාහන මිලදී ගත්තා පමණක් නොව සුපිරි නිවාස ද ඉදිකර ගන්නට වෙහෙසුණහ. එසේ කරන්නට බැරි වූ අය ආණ්ඩුවෙන් ගෙයක් දොරක් ඉල්ලා ගත්හ. එසේ ඉල්ලා ගත් ගේ දොර පසුව මිලියන ගණන්වලට විකුණා දැමූහ.
ලෙස්ටර් කිසි දිනක තමා ඉන්නේ කුලී ගෙදරක කියා මැසිවිලි නඟමින් ආණ්ඩුවෙන් ගෙයක් ඉල්ලුවේ නැත. ඔහු ජීවිත කාලය පුරාම ඉල්ලුවේ එකම ඉල්ලීමකි. එනම් ආනාගත පරපුර සඳහා සිනමාව රැක ගන්නට සිනමා සංරක්ෂණාගාරයකි.
ඔහු එය ඉල්ලා සිටියේ 1959 වසරේ සිටය. බලයට පත් වූ කිසිම ආණ්ඩුවක් ඒ ඉල්ලීම ඉටු කෙළේ නැත. රාජපක්ෂ පාලන සමයේ දී සිනමා සංරක්ෂණාගාරයක් ඉදිකිරීම වෙනුවට රන්මිහිතැන්න වෙනුවෙන් විශාල ධනස්කන්ධයක් වැය කළේය. එය අද තනිකර සුදු අලියෙකි. ඒ අවස්ථාවේ දී මාධ්‍ය උපදේශකයන් ලෙස සිටි සිනමා ඔස්තාද්ලාවත් රන්මිහිතැන්න වෙනුවට සිනමා සංරක්ෂණාගාරයක් ඉදිකිරීමේ වැදගත්කම පාලකයන්ට පෙන්වා දුන්නේ නැත. ඒ අතරතුර රාජ්‍ය ලේඛනාගාරයේ කොටසක සිනමා සංරක්ෂණාගාරයක් ඉදිකරන බවට සද්දයක් දමා අවසානයේ තවත් සිනමා ගබඩාවක් විවෘත කෙරුණේය. එය විවෘත කළ උත්සවයට ලෙස්ටර් - සුමිත්‍රා යුවළ ද ගෙන්වාගෙන එවකට සිටි චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ පැවසුවේ එය ඉන්දියාවේ පූනේහි පිහිටි සිනමා සංරක්ෂණාගාරයටත් වඩා ඉහළ ප්‍රමිතියක තිබෙන බවය!
ලෝකයේ වෙනත් රටවල සිනමා සංරක්ෂණාගාර පවත්වාගෙන යාම සඳහා ඒ රටවල ආණ්ඩු වාර්ෂිකව විශාල මුදලක් වෙන් කරයි. නමුත් අපේ රටේ පාලකයන්ට මේ රටේ මොනම කලාවක් වෙනුවෙන්වත් කැක්කුමක් තිබේද?.
සිනමා සංරක්ෂණාගාරයක් ඉදි නොවූ නිසා ලෙස්ටර්ගේ චිත්‍රපට දෙක තුනක් හැරෙන්නට ඔහුගේ අනෙකුත් චිත්‍රපටවල නෙගෙටිව්පතක්වත් සොයන්නට නැත. ලෙස්ටර්ගේ පමණක් නොව මේ රටේ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේවත්, ඉන් පසු හැත්තෑ වසරක් පුරා නිපදවූ චිත්‍රපට අතරින් එකම චිත්රපටයකවත් නෙගෙටිව් පත් නැත. 60 - 70 දශක මේ රටේ සිනමාවේ ස්වර්ණමය යුග හැටියට කාගේත් කතාබහට ලක්වෙයි. ඒ යුග වර්ණවත් කළ මහාචාර්ය සිරි ගුණසිංහ, ජී.ඩී.එල්. පෙරේරා, සුගතපාල සෙනරත් යාපා, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම සිල්වා, තිස්ස අබේසේකර, ටයිටස් තොටවත්ත, සුමිත්‍රා පීරිස් ඇතුළු සිනමාකරුවන් කිසිවකුගේ චිත්‍රපටවල නෙගෙටිව්පතක්වත් අනාගත පරපුර වෙනුවෙන් ඉතිරිව නැත.
ලෙස්ටර් ජීවිත කාලය පුරාම ජීවත් වන්නේ කුලී නිවසක බව අපි ද වරින් වර විවිධ මාධ්‍ය ඔස්සේ පෙන්වා දුන්නෙමු. ලෙස්ටර්ගේ එකම ඉල්ලීම සහ එකම සිහිනය වූ සිනමා සංරක්ෂණාගාරය ඉදිකිරීම ඔහුගේ මිල කළ නොහැකි සේවයට කරන ලොකුම උපහාරය බව ඔහුගේ උපන්දිනයට ජනාධිපතිවරුන්, අගමැතිවරුන් කේක් කවා යන සෑම වසරකදීම මාධ්‍ය මඟින් පෙන්වා දී ඇත. එහෙත් ඒ බිහිරි අලින්ට ඒ ගැන වගේ වගක් නැත. මේ වසරේ දී ද මාධ්‍ය මඟින් ලෙස්ටර්ගේ කුලී නිවස ගැන පෙන්වා දී තිබුණු විටක මේ ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැති කියා තිබුණේ “අප ඒ ගැන සොයා බලනවා” කියාය.
ලෙස්ටර් අද ජීවත් වන්නේ ජීවිතයේ අගිස්සේය. ඉතින් තවත් සොයා බලන්නට කාලයක් තිබේද? අවුරුදු 97ත් ඉක්මවා ඔහුට ජීවත්ව සිටින්නට වාසනාව පෑදී තිබිය දීත් මේ රටේ ජනමාධ්‍ය ඇමැතිවරයා ඔහු ජීවත් වන්නේ තවමත් කුලී ගෙදරකදැයි තවමත් සොයා බලමින් සිටී!
අද මේ රටේ අගමැතිවරයා ද යූඑන්පී නායකයාය. ජනමාධ්‍ය ඇමැතිවරයා යූඑන්පී මන්ත්‍රීවරයෙකි. එදා ඔවුන්ගේ යූඑන්පීයේ පරමාදර්ශී අගමැතිවරයා ආර්.ප්‍රේමදාස මහතා කලාකරුවන් වෙනුවෙන් ගත් තීන්දු තීරණ අද යූඑන්පී නායකයන්ට මතක නැතුවා වෙන්නට බැරිය. වරක් සුනිල් ශාන්තයන් කුලී නිවසක සිටින බව ඒ.ඩී. රංජිත් කුමාර සරසවියට පුවත්පතට ලියූ ලිපියක් ඇස ගැසූ සැණින් එවකට පළාත් පාලන ඇමැතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා දුරකථනයෙන් රංජිත් කුමාරගෙන්ම වැඩි විස්තර අසා වහා සුනිල් ශාන්තයන් හමුවන්නට යන ලෙස දැනුම් දුන්නේය. පසුවදාම ඔහුට නිවසක් ලබා දෙන ලෙස අමාත්‍යාංශයට නියෝග කළේය. තමාට ආණ්ඩුවේ ගෙවල් එපා යැයි ඒ අසහාය කලාකරුවා කියද්දීත් එම අදීනකමට ගරු කරමින් ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම ඉවසා වදාරමින් ඔහුට සුදුසුම තැනක නිවසක් ලබා දෙන්නට ප්‍රේමදාස මහතා යුහුසුළු විය.
මේ රටේ කලාවට, ඉතිහාසයට සහ සංස්කෘතියට අප්‍රමාණ සේවයක් ඉටු කළ ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය පණ්ඩිත් අමරදේව වැනි ජාතික වස්තූන් අපට අහිමි වී සිටින අවස්ථාවක දැනට ඉතිරිව සිටින එකම ජාතික වස්තුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බවට විවාදයක් නැත. අප මෙහිලා හඬ නඟන්නේ ඒ පුරෝගාමී මිනිසාට ආණ්ඩුවෙන් ෆ්ලැට් එකක් ලබා දෙන ලෙස ඉල්ලා නොව ඒ මහා පුරුෂයා කාලාන්තරයක් තිස්සේ විසූ නිවස සිනමා කෞතුකාගාරයක් බවට පත් කොට ඒ මිනිසා ජීවත්ව සිටිය දීම උපහාර දක්වන්නට යුහුසුළු වන ලෙසය. වැඩක් කිරීමේ දී අත්‍යවශ්‍ය ඒ යුහුසුළු භාවය ගැන පරණ යූඇන්පී නායකයකුගෙන් පාඩමක් ඉගෙන ගන්න කැමැති නම්, හිටපු ජනපති ආර්. ප්‍රේමදාසව සිහියට නඟාගන්න. ■
ගුණසිරි සිල්වා -සත්හඬ