පරවුණු මල්වල සුවඳ අතීතේ
පරසතු මල් මැද සැගව ගියාවේ
දුවගෙ මුවින් එන බිළිදු සිනාවේ
එළිය මැදින් හෙට දවස උදාවේ
අතට වලලු මම කොහෙන් සොයමිදෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
ඉණට හවඩි මම කොහෙන් සොයම්දෝ
දුවට මවක මිස පියෙකු කොයින්දෝ
මේ ගීතය අහද්දි හිතට එන්නෙ කිසියම් වේදනාවක්. පරසතුමල් චිත්‍රපටය මම කැමති සිනමාපටයක්. එය නිපද වූ වකවානුව එක්ක සසදල බලද්දි එහි සිනමාත්මක අගය පමණක් නොවේ සංකල්පනික සහ චින්තනමය අගයත් ඉතාම ඉහළයි. කොහොම වුණත් මෙහි අවසානයෙ බොනී හාමු පණ අදිද්දි වතුර ඉල්ලනකොට ඔහු නිසා දරුවෙක් ලද මෙහෙකාරිය වතුරවත් නොදී අහක බලාගන්නවා. ඇත්තටම එය තරමක් දරුණු අවස්ථාවක්.
මේ තැනට බොනී හාමු සහ මෙහෙකාරියව ගෙනාවෙ කවුද? අවිවාහක ස්ත්‍රියකට ලැබෙන දරුවා පිළිබඳ සමාජ කතිකාව වෙනස් හැඩයක් ගන්නවා. කුඩා වියේ සිට ඔහු ලබන්නෙ ගැහැට. සහ වේදනාවන්.මෙහි තවත් පැත්තක් තියෙනවා තමන්ගෙ අවශ්‍යතා සන්තර්පණය කරගෙන පිරිමියා පලා ගියාම පෝෂණය සහ ආර්ථික නඩත්තුව කියන කතාරණයේදී ස්ත්‍රිය අසරණ වෙනවා. නමුත් මේ තත්වයන්ට පිටින් දෙදෙනෙක් ආදරය ගැන ජීවිතය ගැන වඩාත් ගැඹුරින් සිතන අවස්ථාවක මේ තත්වයට මීට වඩා හොදින් මුහුණ දෙන්න පුලුවන්. ඒ ශක්තිය ඔවුන් තුළයි තිබිය යුත්තේ..කොහොම වුණත් සමාජ රාමුව විසින් ගෙන ආ පීඩනය නොවුනානම් බොනී හාමුගෙ සහ මෙහෙකාරියගෙ කතාව වෙනස් එකක් වෙන්න තිබුණා..
මම දවසක් එක්තරා රාජකාරී ස්ථානයකදි දැක්ක උප්පැන්න සහතිකයක්. එහි පියා නැත.මව අවිවාහකයි කියල ලියල තිබුණා. පියෙක් නැතිව දරුවෙක් උපදින්න පුලුවන්ද? එහෙමනමි ඒ කාන්තාව කන්‍ය මරිය වගේ දේවමය සංකල්පයක් විදිහට පිලිඅරන් ප්‍රතිමාවක් හදල වදින්න ඕන. සංස්කෘතිකමය රාමුවක් ඇතුලෙ මනුෂ්‍යන්ට තමන්ගෙ අනන්‍යතාව මග හැරිලා.
ලංකාවෙ විවාහයට පදනම් වන යෝජිත ක්‍රමය මට නම් හිතාගන්න බැරි ගනුදෙනුවක්. එකිනෙකාගෙ භෞතික වටිනාකම් ගලපගෙන කොහොම ජීවිත කාලය ගෙවන්නද? තමන් ආදරය කරන කෙනෙක්ගෙන් දරුවෙක් ලබන්න ගැහැනියකට බැරි ඇයි? ආදරය කියන දේ පුදුමාකාර දෙයක්. එය කවදාවත් ලියවිල්ලකින් පවරා ගන්න බැහැ.සංස්කෘතිය කියන්නෙ නිර්මාණයක්. ඇයි ඒ නිර්මාණය කාලයත් එක්ක වෙනස් නොවන්නෙ. විසිඑක්වන සියවස තුළත් එහි හැඩරුව වික්ටෝරියානු මැදුරක් වගේමයි. වරද තියෙන්නෙ සංස්කෘතියෙ නොවෙයි. සමාජයක පැවැත්මට කිසියම් හැඩයක් ඕන. නමුත් ඒ හැඩය කාලය එක්ක විකාශනය වෙන්න ඕන. වෙනස් වෙන්න ඕන. ශතවර්ෂ ගානක් පැරණී රාමුවක් ඇතුළෙ ඩිජිටල් පින්තුර හයිකරල වැඩක් නැහැ. කොහොම වුණත් අවසානෙ හමැ මිනිහෙක්ම සතුටෙන් ජීවත් වෙන්න ඕන.සමාජයක පදනම විය යුත්තෙ හැම මිනිහටම ගෞරවනීය ලෙස ජීවත් වෙන්න ලැබීමයි..
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -