ආරියදාස පීරිස් මහතා පිලිබඳ සම්පූර්ණ සටහනක්
පීරිස් පවුලේ සහෝදර සහෝදරියන් නව දෙනෙකි. ආරියදාස පීරිස් එම පවුලේ වැඩිමහල්ම දරුවා ය. තලවාකැලේ මහා විද්‍යාලයෙන් සහ හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූ හෙතෙම, උසස් අධ්‍යාපනය සඳහා ගම්පහ ලෝරන්ස් විද්‍යාලයට ඇතුළු විය. අනතුරුව වයස අවුරදු 18 දී දියතලාව යුද හමුදා කඳවුරේ දුරකතන ක්‍රියාකරුවකු ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් වූ ආරියදාස පීරිස් මහතා ගම්පහ අධිකරණයේ යතුරු ලේඛක තනතුර ද, භාෂා පරිවර්තක තනතුර ද දරා පසු කලෙක අධිකරණයේ තෝල්ක මුදලි තනතුර ද හෙබවී ය. ගම්පහින් කොළඹට පැමිණි පීරිස් මහතා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණි. මුල සිටම ඔහු තුළ කලාව කෙරෙහි දැඩි ඇල්මක් ඇතිව තිබුණු නිසා ම පී ද එස්.කුලරත්න මහතාගේ එම්පී 1950 වේදිකා නාට්‍යයේ මුල්වරට රංගනයෙන් දායක විය. ඉන් අනතුරුව මරහඬ, පෙරකදෝරු බෑනා වේදිකා නාට්‍යයන් හරහා ද තම රංගන කුසලතා මුදා හැරියේ ය.
ඉතා කෙටි කලෙකින් ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ විරිදු ගායන ශිල්පියකු ලෙස හඬ පරීක්ෂණයෙන් සමත්ව ගායනා ඉදිරිපත් කළේ ය. භාරතයේ සිට පැමිණි පණ්ඩිත් රතන්ජංකර් විසින් පවත්වන ලද සංගීත පරීක්ෂණයෙන් සමත්ව ගුවන් විදුලි සරල ගී ශිල්පියකු ලෙස ද සරල ගී වැඩසටහන් කීපයක් ඉදිරිපත් කළේය. ඉන් නොනැවතී ගුවන් විදුලියේ නිවේදක හඬ පරීක්ෂණයෙන් ද සමත් වූ කලාසූරී ආචාර්ය ආරියදාස පීරිස් මහතා ගුවන් විදුලි වෙළඳ සේවය වාණිජ්‍ය ගුවන් විදුලි සේවාවක් වශයෙන් ස්ථාපනය කිරීමට පුරෝගාමී මෙහෙවරක නියැලුණි.
වෙළඳ සේවයේ ආධුනික පැය, තරු තැනුම, සුවඳ පැතුම්, පැණ පොඩි, විනාඩියක් පමණයි, ඔව් නෑ බෑ, පුළුවන්නම් දිනාගන්න සහ එඩීගෙන් අහන්න වැනි දැනුම සහ සතුට පිරි විනෝදාත්මක ගුවන් විදුලි වැඩසටහන් තමන් විසින්ම නිර්මාණය කරමින්, නිෂ්පාදනයකර ඉදිරිපත් කළේ ය. ඔහුගේ දැවැන්ත මාධ්‍ය මෙහෙවර අතර වෙළඳ සේවයෙන් සංවිධානය කළ “ස්වර්ණ සංඛ “ චිත්‍රපට සම්මාන උළෙල ද මෙහිදී සිහිපත් කළ හැකි ය. මෑත කාලයේ පවා ශ්‍රාවකයන් මහත් ආදරයෙන් වැළඳ ගන්නා “අම්බිගා ගීතයෙන් ගීතය” නිර්මාතෘ වූයේද ආරියදාස පීරිස් මහතා ය. එසේම ඔහු ඇතැම් අවස්ථාවල ගුවන් විදුලි ශබ්ද පරිපාලන කටයුතු ද ඉටුකර තිබේ.
සිනමාවට මහත් ඇල්මක් දැක්වූ ආරියදාස පීරිස් මහතා වසර එකහමාරක කාලයක් ඉන්දියාවට ගොස් සිනමාව හදාරා මෙරටට පැමිණ “සෝබන සිත” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, “කුරුලු බැද්ද” චිත්‍රපටයට රංගනයෙන් දායක විය. මෑත කාලයේ “සුභා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර ගව්වෙන් ගව්ව ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක විය. එළිමහන් ප්‍රසංග වේදිකාවේ අති දක්ෂ නිවේදකයකු ලෙස රසික ආදරයට පාත්‍ර වූ ආචාර්ය ආරියදාස පීරිස් මහතා ලේඛන කලාවට පිවිස “සන්නස” නමින් සිනමා සඟරාවක් ද මෑත කාලයේ තවත් පොත්පත් කීපයක් ද ලියා පළ කළ දක්ෂ ලේඛකයෙකි.
මේ සියළු මෙහෙවරයන් අගැයුමට ලක් කරමින් ජීවිතයේ එකවරක් පමණක් පිරිනැමෙන OCIC සිග්නිස් උත්තමාචාරයෙන් ද කලාසූරී ආචාර්ය ආරියදාස පීරිස් මහතා පිදුම් ලැබීය. එසේම පීරිස් පවුලේ බොහෝ පිරිසක් ඔහුගේ ගමන් මගම යමින් ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්හි වර්තමානයේ ද නියැලී සිටී.
1963 දී පුෂ්පා විජේරත්න මෙනවිය සමග විවාහ වූ පීරීස් මහතාගේ දියණිවරුවන් වන්නේ මාලිකා පීරිස් සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ය.ප්රවිණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ දයාබර මාමාණ්ඩිය විය. 91 වන වියෙහි පසුවූ පීරිස් මහතා ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයේ විවිධ අංශ නියෝජනය කරමින් සුවිශේෂ මෙහෙයක් ඉටු කරන ජ්‍යෙෂ්ඨතම ප්රවීණතම මාධ්‍යවේදියකු සහ කලාකරුවකු බව සඳහන් කළ යුතු ය. මවිසින් සංස්කරණය කළ “ඔබේ කටහඞතාම මතකයි” එතුමාගේ චරිතාපදානයයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු 12 වන ඉරිදා පස්වරු 4.00 බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. පීරිස් මහතාගේ දේහය හෙට සෙනසුරාදා පෙරවරුවේ සිට ඉරිදා පස්වරුව දක්වා අංක 52, ආරියදාස පීරිස් මාවත, මිරිහාන නුගේගොඩ ලිපිනයේ පිහිටි ඒමහතාගේ නිවසේ තැන්පත්කර තබනු ලැබේ.
සටහන
දයානන්ද රත්නායකගෙනි.