පයට පාවහන් යුගලක් නො පැළඳි සුනිල් සාන්තයන් ගේ පාද අග නුවර ගීත පටිගත කිරීමේ ශබ්දාගාරයක් වෙත එදින පියමැන්නේ තමාගේ අවසන් ගීතය පටිගත කිරීමට යැයි සුනිල් කිසිදා නොදැන සිටින්නට ඇත .ඒද පෙරදා තමා ජීවත් වූ කුකුල් කූඩු නිවසට පැමිණ තම මිත්‍ර සුප්‍රකට සංගීත නිර්මාණ ශිල්පියෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගේ ඉල්ලීමක් හෙවත් කාරුණිකව පෙළඹවීම ඉවත දැමීමට නොහැකි වූ හේතුවෙනි .
තමා සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන රෝමියෝ ජුලියට් කතාවක් නැමැති චිත්‍රපටයේ ජවනිකාවක් සඳහා යොදා ගන්නා ඉංග්‍රීසි ගීතයක් ගැයීම සුනිලුන් ට භාර කිරීමට කුකුළු කූඩුවට ගිය ගමන පිළිබඳව ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගෙන්ම අසා දැන ගැනීමට මේ සටහන ලියන මා හට අවස්ථාව ලැබුණේ වර්ෂ 2000දී ඔහු සමඟ සිදුකළ සතුටු සාමීචිය ක දී ය .
ෂෙල්ටන් ශූරීන් පැවසූ පරිදි චිත්‍රපටියේ අධ්‍යක්ෂක ජී ඩී.එල් පෙරේරා මුලින් අදහස් කොට සිටියේ දක්ෂ බටහිර ගායකයෙකු ලවා මේ ගීතය ගායනා කළ යුතු බව ය .එබඳු වූ විශාල වියදමක් කුමකට ද ?ජිම් රිව්ස්, ෆ්රෑන්ක් සිනාට්රා හා සැසඳිය හැකි ගායන කෞශල්‍යයකින් හෙබි මහා ගායකයෙකු ජාඇල දෙහියගාත ගමේ ජීවත් වීම සදහා රේඩියෝ රෙපෙයාර් කරමින් කුකුළන් ඇතිකිරීම සඳහා සෑදූ කූඩුවක ජීවත්වෙන බව ෂෙල්ටන් ප්‍රේමරත්නයෝ දැන සිටියේය.බටහිර ගායකයෙකු ගෙන ඒම පිළිබඳව චිත්‍රපටයේ අධ්යක්ෂවරයා දැරූ මතය බිඳ දැමූ ප්‍රේමරත්න ශූරීන්ගේ ස්කූටර් රථය සුනිල් සොයා ධාවනය වූයේ ස්කූටරයේ පිටිපස සර්පිනාවක්ද රඳවා බඳවා ගෙන ය .
"ශෙල්ටන් ඇයි මොකද මාව බලන්න ආවෙ ? සුනිලුන් විමසීය.
දරිද්‍රතාවයේ කළු හෙවනැලි සුනිලුන් ගේ නිවස පුරා පැතිරී තිබෙනු දැකීමෙන් කම්පාවට පත්වූ ෂෙල්ටන් තමා පැමිණි අවශ්‍යතාවය සුනිලුන් ට පැහැදිලි කලේය.
"ෂෙල්ටන් ඔබට මා මතක්වීම ගැන ස්තූතියි .නමුත් මානැවත ගී ගයන්නේ නෑ.රටට මා එපානම් මම මොකටද ගයන්නේ.ඔය වැඩේට නෙවිල් ප්‍රනාන්දු හොදයි.එයා හොදින් ගයයි.මට ගායනය එපාවෙලා
"සුනිල් එහෙම කියන්න එපා. රටට ඔයාව එපාවෙලා නැහැ.අදත් ඔයා තමයි නිවැරදිම ගායකයා. මට මේකට ඕනා ජිම් රිව්ස් වගේ හඩක්. ඒකයි මට ඔයාවම ඕනා."
ෂෙල්ටන් ප්‍රේමරත්නයන් මා සමග පැවසූයේ තමා ලෙහෙසියෙන් පසුබට නොවන පුද්ගලයකු බැවින් ගීතය සඳහා සුනිලුන්ට නොනවත්වා ඇවිටිලි කළ බව ය .ගීතය මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචනා කළ ගීතයක් බව ඇස් වුණු මොහොතේ සුනිලුන් තම මුරණ්ඩු ස්වභාවයෙන් නම්‍යශීලී ස්වභාවයකට පත් වූ බැව් දුටු ප්‍රේමරත්නයෝ සැනසීමට පත් විය.
" එහෙමද කෝ බලන්න සිංදුව. එන්න ඇතුලට ".
" සුනිල් එහෙනම් මම සර්පිනාවත් අරන් එන්නද මම හදපු මෙලඩියත් පෙන්නන්න "
" සර්පිනාව මගේ ගේ ඇතුලට ගේන්න එපා. මම කිසිම සංගීත භාණ්ඩයක් මේ ගේ ඇතුලෙ වයන්නෙ නෑ.ඔයා ස්කූටරය උඩ තියාගෙන සර්පිනාවෙන් පිච් එක කටට අරගෙන එන්න."
ඉන්දියාවේ සියලු භාත්ඛණ්ඩ සංගීත සිසුන් අභිබවා ගායනයටත් වාදනයටත් හිමි ඉහළම සාමාර්ථ තම මව්බිමට උරුම කර දුන් මේ අසාමාන්‍ය නිර්මාණශීලී මිනිසා මෙබඳු තත්ත්වයකට පත් කිරීමේ පාපය අපේ රට කවදා ගෙවා නිමකරන්නේ දැයි ෂෙල්ටන් ශූරීන්ට සිහිපත් විය.සුනිල්ට අවනත වූ පේමරත්නයෝ ස්කූටරය මත තබා ගත් සර්පිනාව වාදනය කොට ඉන් ලබා ගත් සෘතිය සුනිලුන් වෙත තම කටින්ම රැගෙන ආවේය. අනතුරුව සුනිලුන් ගීතයේ පදරචනයත් තනුවත් සියුම් පරීක්ශාවට පත්කලේය.
" හොදයි මම පටිගත කිරීමට එන්නම්."
පසු දින ගීතය පටිගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් තම වාදන ශිල්පීන් ට උපදෙස් දී තිබුණේ ශබ්දාගාරය තුළදී සුනිල් සාන්තට යහපත් මානසික වාතාවරණයක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි .යම් සංශෝධනයක් කළ යුතු බව ඔහු ප්‍රකාශ කළ හොත් ඊට නම්‍යශීලී විය යුතු බවයි .
ශ්‍රී ලංකාව බිහිකළ ප්‍රථම සුපිරි ගායකයාගේ කෞශල්‍ය පිළිබඳව ඉඳුරාම දැන සිටි ප්‍රේමරත්නයෝ තුල එක් කුකුසක් යාන්තමි ශේෂවී තිබුනි.වසර දහ හතක් ගීත ගායනයෙන් නෙරපා දමා තිබූ ඒ හේතුවෙන් සුනිල් තුළ තිබූ අසාමාන්‍ය කුසලතාවයට කිසියම් හානියක් සිදු වී ඇත් ද යන්නයි .
හින්දුස්ථාන් සංගීතය පමණක් අග්‍ර කොටගත් ඉන්දීය ගැති ගාන්ධර්වයෙකු බිහි කර ගැනීම සඳහා කුමන්ත්‍රණ කරුවන් විසින් සිරගත කොට සිටි සැබෑ ගාන්ධර්වයා ගේ රිදී වන් දිව්‍යමය කටහඬ වසර දහ හතකට පසු මයික්‍රෆෝනය හරහා පටිගත කිරීමේ යන්ත්‍ර වලට ඇදී ඒම ඇරඹුණි .බිදකුදු හෝ කඩතොල්ලකින් තොරව ගීතයේ ප්‍රථම පටිගත කිරීම අතිශයින් ම පරිනත ලෙස අඛණ්ඩව ගයා නිම කළ සුනිල් සාන්තයෝ එතෙක් තමා විසින් කිසිදු පටිගත කිරීමකට දෙවන වතාවට ඉඩ නොතැබූ විශිෂ්ට වාර්තාව එදින ද තමා විසින්ම සම කළේය .ඒ සතුට ඉහවහා ගිය ප්‍රේමරත්නයන්ගේ දෑස පුරා කදුලු නැගී තිබෙනු දුටු සුනිල් සාන්තයෝ..
" ඕනනම් තව ටේක් එකක් ගමු ෂෙල්ටන් ."
"කිසිසේත් ම අනවශ්‍යයි සුනිල් ඔබ විශිෂ්ට ලෙස ගායනා කළා බෙහෙවින්ම ස්තුතියි දෙවියන් ඔබේ හඬ ඒ අයුරින්ම රැක දී තිබෙනවා."
මෙම ගීතය වාර්තා කිහිපයක් තබා තිබීමත් මා මෙම සටහන ට ඇතුළත් කළ යුතුයි .සුනිල් සාන්තයන් වෙනත් සංගීත නිර්මාණකරුවෙකුගේ තනුවකට ගැයූ එකම ගීතය මෙයයි .මෙය චිත්‍රපටි පසුබිම් ගායනයට සුනිලුන් පිවිසි ප්‍රථම සහ අවසාන අවස්ථාවයි .මෙම ගීය සුනිල් වූ තම ජීවිතයේ ගායනා කළ අවසාන ගීතයයි .මෙමඓතිහාසික ගීතය සදහා රිදී තිරයේ රගපෑම ප්‍රවීන රංගධර ඩග්ලස් රණසිංහ විසින් සිදුකල අතර සුනිල්සාන්තයන් ගේ කටහඩ රිදීතිරය තුල උරුමකරගත් එකම වාසනාවන්යා ඔහු බව සිනමා ඉතිහාසයේ ලියැවී ඇත.
වසන්ත කුලතුංග විසින් ලියන ලද ලිපිය ඔහුගේ මුහුනු පොතෙන් උපුටාගන්නා ලදී