නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියන් අතරින් අද වන විට ඉදිරියටම පැමිණ සිටින චරිතයක් සමගින් කතාබහක් කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. ඒ, පසුගියදා ජාත්‍යන්තර මට්ටමේ කලා කටයුත්තකට ද සම්බන්ධ වීමට ඇයට හැකියාව ලැබීමත් නිසා. ඇය නමින්, හංසි ගමගේ.
මුලින්ම කතා කරමු හංසිගේ ජාත්‍යන්තර ජයග්‍රහණය සම්බන්ධව?
“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙලි සිනමා සිත්තමක් කරනවා. ශ්‍රී ලංකාවේ විකාශය සිදුවෙන්න තමයි මෙය නිර්මාණය වෙන්නේ. ඉතින් මට ඒ තුළ ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තටම මේ මගේ ජීවිතේ හීනයක් සැබෑ වීමක්. මොකද මට රංගනය පැත්තෙන් ජාත්‍යන්තර මට්ටමින් යම් කිසි දේකට දායකත්වයක් ලබාදෙන්න අවශ්‍ය වුණා. ජාත්‍යන්තර වේදිකාවට යන්න තමයි ලොකුම හීනය තිබුණේ. ඉතින් අද වෙද්දි ඒ හීනයට යන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මම කලා ක්ෂේත්රයට සම්බන්ධ වුණේ 2018 වසරේදී. ඒ ආරම්භ කරපු ගමනේ මම ටෙලි නිර්මාණ 20ක් වගේ කරලා තියෙනවා. ඒ තුළ මම අනු චරිත තමයි කළේ. නමුත් පළමු වතාවට මට මේ අලුත්ම වැඩකටයුත්ත තුළ ප්‍රධාන චරිත රංගනයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
අලුත් පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට මට මේ ලැබුණු අවස්ථාව ගැන මාරම සතුටක් තියෙන්නේ. ඇත්තටම මෙවැනි වගකීමක් දෙන්න පුළුවන් රංගන ශිල්පිනියක් විදිහට මාව මේ වෙනුවෙන් සම්බන්ධ කරගත් මෙහි අධ්යක්ෂවරයාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනෑ. මම සහ ප්‍රියන්ත සිරි කුමාර කලාකරුවාණන් තමයි මේ නිර්මාණයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ. ඉතින් මේ අවස්ථාව ලැබීම ගැන සතුටුයි.”
මේ චරිත රංගනය ගැනත් ටිකක් කතා කරමු එහෙනම්?
මේ චරිතය බොහෝම දුක්ඛිත චරිත රංගනයක්. කාන්තාරය තුළ තමයි රූගත කිරීම් සිදු වෙන්නේ. ඇත්තටම මේ චරිතය සම්බන්ධයෙන් කතා කළොත් මම මේ වෙනුවෙන් ලොකු කැපකිරීම් පවා කරලා තියෙනවා. කොණ්ඩෙ, ඇහිබැම පවා ලොකු කාලයක් වවාගෙන ඉන්න වුණා. ඒ වගේම මුහුණෙ ගල්වන ආලේපනයක් හෝ පාවිච්චි කළේ නැහැ. ඒ වගේ තවත් ගොඩක් කැපකිරීම් කළා චරිතයට අවශ්‍ය විදිහට අංග ලක්ෂණ තියාගන්න.”
කලාව වෙනුවෙන් එතරම් කැපකිරීම් කරන්න හිතුවේ ඇයි?
“කලාව කියන්නෙ මගේ ජීවිතේ. පුංචිම කාලේ ඉඳන් කලාවට මම හරි කැමැතියි සහ ආදරෙයි. ඒ කාලෙත් පාසලේ නර්තනය සහ රංගනය එක්ක සම්බන්ධ වෙලා හිටියා. මම පාසල් ගියේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයට. පාසලේ වේදිකාව තුළ නාට්‍ය සහ නර්තනයත් කරලා තියෙනවා. ඒ තුළින් වේදිකාවේ සමස්ත ලංකා මට්ටම දක්වා තරගවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ තුළින් පාසල් මට්ටමේ ජයග්‍රහණ සහතිකපත් එහෙමත් ලබාගෙන තියෙනවා. ඇත්තටම ඒ වේදිකාවේ හුරුව නිසා තමයි කලාවට ආසාවක් ඇති වුණේ. ඒ ආරම්භ කරපු ගමනේ මම ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්නෙ 2018 වසරේ. ඒ වසරේ ආරම්භ කරලා මේ වෙද්දි ටෙලි නිර්මාණ, වෙළෙඳ දැන්වීම්, සිනමා නිර්මාණ සියල්ලටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ ගමනේ මගේ ලොකුම බලාපොරොත්තුව වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්රයෙන් ඉදිරියටම යාම තමයි.”
හංසි ‘අක්ෂි’ ටෙලි නිර්මාණය හරහා මේ දිනවල කතාබහට ලක්වෙලා ඉන්නවා නේද?
“ඔව්. ඇත්තටම ‘අක්ෂි’ තුළ මගේ රංගනය මම මෙතෙක් කරපු චරිත රංගනයන්වලට වඩා ගොඩක් වෙනස්. ඒ තුළ ‘චාරු’ කියන චරිතය වෙනුවෙන් තමයි මම සම්බන්ධ වෙලා ඉන්නෙ. චාරු කියන්නෙ මුඩුක්කු පරිසරයක ජීවත් වෙන කාන්තාවක්. ඇය වීදි ගණිකාවක්. නමුත් ඇය ඒ ගමේ ජීවත් වන හැමදෙනාටම උදව් කරගෙන, ප්‍රධාන වශයෙන්ම ඇස් නොපෙනන දරුවෙක් සනීප කරගැනීම සඳහා වෙහෙස මහන්සි වෙන චරිතයක්. ඇයගේ තියෙන ඒ ගතිපැවැතුම් නිසාම ඇය වීදි ගණිකාවක් වුවත් චරිත රංගනයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඉතින් මම පෙර සඳහන් කළා වාගේ ඒ චරිතය මට මෙතෙක් ලැබුණු චරිත රංගනයන්වලට වඩා වෙනස් ඇඳුම් පැළඳුම්, කතා විලාශය ඒ හැමදේමත් එක්කම.”
‘චාරු’ වීදි ගණිකාවක් කිව්වනේ. ඉතින් හංසිගෙ තරුණ වයසත් එක්ක මෙවැනි චරිතයක් බාර ගැනීම ගැන දෙවරක් හිතුවෙ නැද්ද?
“ඇත්තටම වීදි ගණිකාවකගේ චරිතයක් කිව්වම බොහෝ දෙනෙක් එවැනි චරිත ප්‍රතික්ෂේප කරනවනේ. ‘චාරු’ කියන මේ චරිතය වෙනුවෙනුත් මට පෙර වෙනත් රංගන ශිල්පිනියක් මේ වෙනුවෙන් සම්බන්ධ කරගෙන තිබුණේ. නමුත් ඇය මේ චරිතය ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඇයගෙන් පසුව මෙහි අධ්යක්ෂවරයා තෝරපු කෙනා තමයි මම. මේ චරිතය මට ලැබෙන දවස්වල රංගනය සම්බන්ධව මම වැඩිදුර හදාරමින් හිටියේ. ඒ, ඇකඩමියක. ඇත්තටම ඒ තුළින් ලබාගත් දැනුම, ඒ අධ්‍යයනයන් නිසාම වෙන්න ඇති මේ චරිතය සම්බන්ධව දෙවරක් නොසිතාම ඒ චරිතය බාරගන්න ඇත්තේ. ඒ තුළ අධ්‍යයනය නොලබන්න මමත් මේ චරිත රංගනය ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබුණා. නමුත් මම ඇකඩමිය තුළින් ලබාගත් අත්දැකීම් ඒ දැනුම සියලුම දේත් එක්ක මට හිතුණා මම යන ගමන් මගේ මේ චරිත රංගනය ලොකු අභියෝගයක් කියලා. රංගන ශීල්පිනියක් වුණාම චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න ඕනෑ. ඒ තුළ කළු සුදු චරිත හැමදේම තියෙනවා. ඉතින් මම මටම අභියෝග කරගෙන තමයි මේ චරිතය බාරගත්තේ. මෙතරම් කාලයක් කළ චරිත රංගනයන් එක්ක බලද්දී වෙනස්ම විදිහකට රඟදක්වන්න හැකි වෙයි කියලා මට හිතුණා. මේ චරිත රංගනය හාස්‍යය සමගින් යන සීරියස් චරිතයක්. ඉතින් අද වෙද්දි ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.”
මේ දිනවල අක්සි හරහා පමණ ද දකින්න ඉන්නේ?
“කියා දෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය සමග අලුත්ම නිර්මාණ කටයුත්තකුත් කරගෙන යනවා ‘අසිනි’ කියලා. අසිනි නිර්මාණය තුළ මම නර්තනය කරන ගැහැනු ළමයකුගෙ චරිත රංගනයක් කරන්නේ. ඒ වගේම අලුතින් සිනමා නිර්මාණයක් කළා. ඒ දේවල් තමයි මේ දිනවල සිද්ධ වෙන්නේ.”
මේ ක්ෂේත්රයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ගෙදරින් කොයි වගේ ප්‍රතිචාරයක් ද දැක්වූවේ?
“මුලින්ම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙනවාට අම්මා, තාත්තා කැමැති වුණේ නැහැ. විශේෂයෙන්ම තාත්තා. හේතුව මගේ තාත්තා විශ්‍රාමික යුද සෙබළෙක්. ඉතින් තාත්තාගේ තියෙන ඒ නීති මාලාවත් එක්ක තාත්තාගේ ලොකු අකැමැත්තක් තිබුණා මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙනවට. මොකද ගැහැනු ළමයකුට මේ ක්ෂේත්රය සුදුසු නැහැ කියලා මතයක් තියෙනවනේ. ඒ දේ මගේ දෙමව්පියන්ටත් තිබුණා. නමුත් මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඒ තුළ යම් දක්ෂතාවක් පෙන්වලා මගේ ගමන නිවැරැදි විදිහට යනවා දකිද්දි පෙර තිබුණු අකැමැත්ත ටිකින් ටික අඩු වුණා. අඩු වෙලා මගේ දක්ෂතා තේරුම් අරගෙන වැඩ කරගෙන යන්න අවසර ලබලා දුන්නා. අද මම දායක වන නිර්මාණ නරඹනවා. ඒ සම්බන්ධව දැන් දෙන්නගෙම සතුටක් තමයි තියෙන්නේ. විශේෂයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සතුටු වෙනවා. මොකද අද කොහේ ගියත් මාව දැන හඳුනගෙන කතාබහ කරලා ප්‍රතිචාර දක්වන ආශිර්වාද කරන පිරිසක් ඉන්න නිසා. ඒවා දකිද්දි අම්මාට, තාත්තාට සතුටුයි. ඒ නිසා මට මේ ගමන යන්න දැන් ඒ දෙන්නගේ ශක්තිය ගොඩක් තැන්වලදී ලැබෙනවා. ඉතින් මේ හැමදේම ගැන මටත් සතුටුයි අද රංගන ශිල්පිනියක් වීම සම්බන්ධයෙන්.”
උපුටා ගැනීම සාරවිට