ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් දිගු කලකට පෙර රචනා කරන ලද, විශාරද සනත් නන්දසිරි විසින් ගායනා කොට, ශ්‍රාවක, රසික පර්ෂදයට පිරිනමන ලද අපූරු ගීතයක මිහිර නොබෝ දිනකට පෙර විඳින්නට ලද මොහොතක් මතකයට එයි. එහි ගේය පද සංකල්පනාව පුරා ඇත්තේ, පෙම්වතකුගේ ප්රශ්නාවලියයි.
ඔහු අත්හැර ගිය ඇය පිළිබඳ, ඈ පිළිබඳ, ඔහු සිතන පතන ආකාරය, ඔහු හා ඈ අතර වූ ආදරය, බැඳීම, පිළිබඳ මුළු ලෝකය පමණක් නොව ඔහු සිත ද ප්‍රශ්න කරයි. ඔහු ඈ පිළිබඳ ඈ හා ගෙවුණු ජීවිතය, පිළිබඳ, මතු දවසෙක යළි ඈ ඔහුගේම වුවහොත්, ලොව ඔහු දෙස කෙසේ බලයිද ආදී ප්‍රශ්නාවලියක්, අපගෙන් අසන්නේ, කිමදැයි අපට කල්පනා වේ. සනත් නන්දසිරි නම් වූ මහා හඬ පෞරුෂයට, මෙබඳු ආදර ගී සංකල්පනාවක් කෙලෙස සුසංයෝගී වේදැයි, ඔහුගේ භාවපූර්ණ හඬට පෙම්බැඳි ශ්‍රාවකයෙක් ප්‍රශ්න කරන්නට ද ඉඩ ඇත. එහෙත් පිළිතුර ඉතා සරලය. ඍජුය. සරල ප්‍රේම ගීතය මතු නොව, අර්ථ පූර්ණ, ජීවිතානුභූතීන් පිළිබඳ ලියැවුණු ගේය සංකල්පනාවක් වුව, මේ මහා ගාන්ධර්වයාගේ හඬින් ගැයෙන්නේ, ශ්‍රාවක සිත් සතන් මවිතයට පත් කරවමිනි. ඔවුනගේ සවන් සනසවමිනි.
“ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරිදී කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක් කියයි දෝ...”
ඔහු ඈ දොස් නොදකී. ආදරය කළ සිතකට, ආදරය අහිමි වූ පමණින් වෛරී සිතුවිල්ලකින් දොස් නගන්නට හැකිවේද? සනත් නන්දසිරිට හෝ ප්‍රණීත් අභයසුන්දරට එලෙස හැසිරෙනු නොහැකිය. කිසියම් හෙයකින්, යළිත් ඈ ඔහු සතු වුවහොත්, එදින ලොව කුමක් කියාවිදැයි ඔවුහු ප්‍රශ්න කරති. සනත් නන්දසිරි විසින් ගායනා කළ මෙවන් ප්‍රේමාන්විත ගීත රාශියක් පිළිබඳ මගේ මතකය අතීතයට ඇදෙන මේ මොහොතේ, ඔහු තම ජීවන මඟ, සැත්තෑ පස්වන මඟ සලකුණ පසුකරමින්, අපගේ දසුනින්, හදවතින්, මිහිරි මතකයෙන් ඈත් නොවී, පහන් ටැඹක් සේ, නැගී සිටිනු පෙනේ.
පසුගිය පහළොස්වන දා හැත්තෑ පස්වන ජන්ම දිනය සැමරූ විශාරද, සංගීත් නිපුන් සේවාර්ජිත මහැදුරු, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්ධර, සනත් නන්දසිරි සුලවතා පිළිබඳ කුමක් කියම්ද? කුමක් ලියම්ද? කියා ලියා නිම කළ හැකි චරිතයක් ද සනත් නන්දසිරි ලෙසින් අප හඳුනන්නේ? එහෙත් කලා වැවෙන් ගත් දිය දෝතක් සේ යන මහැදුරු සුනිල් ආරියරත්නගේ යෙදුම සොරා ගනිමින්, අප පවසන්නේ ද සනත් නන්දසිරි නම් වූ මිනිසා, කලාවැවෙන් ගත් දිය දෝතක් සේ අපට වටී කියායි. මුළු ලොව මගෙන් ඇසූවොත්, මා ඔබ ගැන, ඔහු, සනත් නන්දසිරි පිළිබඳ එසේ කියමි. අද දවසේ, මෙරට යහපත් ගීතයක රස විඳින්නට ඉතිරි වී ඇති සංගීතයක් වේ නම්, හැටේ දශකයේ අග භාගයේ සිට එක් සංගීතයට, ගීතයට අප සවන් පුරුදු කළ, අප මනස යා කළ, ගායක පරපුරේ පුරෝගාමීන් දෙදෙනා අතර ඔහු සිටී. ජනප්‍රිය වූ සිංහල ගීතයට, නැවුම් අරුතක් තම ගායනයෙන් මතු නොව, ගැයූ ගීත සංකල්පනා මගින් ද එක් කළ ගායකයන්, දෙදෙනා වන්නේ, සනත් නන්දසිරි හා වික්ටර් රත්නායකයි. හැටේ දශකය අග භාගයේදී පමණ ඔවුන් දෙදෙනා විසින්, ගැයූ නැවුම් ගීතයක මිහිර අදත් අප හද සමීපයෙහිම රැඳී නින්නාද වනු දැනේ. වික්ටර්ගේ මධුර ස්වරයෙන්, සිහිල් සුළං රැල්ලේ හෝ පාවේ වලා ගැයෙනු අප අසා සිටියේ විස්මයෙනි. ඒ හඬින් වශී වී සිටි ශ්‍රාවක සවන් සැනසූ අනෙක් නැවුම් හඬ පෞරුෂය සතු වූ ගායකයා වූයේ මහද පෙම් විලේ සමඟ ඇවුළුණු ගිනිදැල් නිවි නිවී යද්දී, අප හමු වූ සනත් නන්දසිරි නම් වූ, ඒ දිනවල අම්පාර උහන මහා විද්‍යාලයේ සංගීත උපදේශක වූ සංගීතඥයාය. භාරතයේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යායතනයෙන්, සංගීත ඥානය ලබා විශාරද වී පැමිණි තරුණ ගායකයා, ගුවන්විදුලි සරල ගීතයෙන් ඇරඹි තම ගායන චාරිකාව එහි හිණි පෙත්ත දක්වා නැඟ ගත්තේ, සිනමා ගීතයට ද අපූරු තිර හඬක් (Screen voice) බවට පත්වෙමිනි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත නිර්මාණය කළ හන්තානේ කතාවෙහි, අහස් ගව්වෙහි, ඉන්දුට මල් මිටක් හි හෝ, දුලීකා හි සනත් ගායනා කළ ගීත හෝ මංගල තෑග්ග චිත්‍රපටයේ වාසනා වේවා, ගීත, සිංහල චිත්‍රපට ගීත අතර හැරවුම් ලක්ෂ බවට පත්වන්නේ, සංගීත නිර්මාණය, ගේය පද සංකල්පනාව මතු නොව, ගායනයෙහි වූ ඖචිත්‍ය ගුණය නිසාමය. හන්තාන කතාව චිත්රපටයෙහි දී ප්‍රේක්ෂකයන් නරඹන රූපාවලිය සමඟ, ශ්‍රාවක සවනට ළං වූ අනන්ත වූ දෙරණ සරා ගීතය, අහස් ගව්වෙහි, ඉරා අඳුරුපට හෝ ඉන්දුට මල් මිටක්හි මේ නිහඬ නිල් තලයේ වැනි ගීතයක් මෙරට චිත්‍රපට ගීත නාමාවලියෙහි, අනගි නිමැවුම් බවට පත් වී හමාරය. ඉරා අඳුරු පට ගීතයේ රූපාවලියට පසුබිමින් ඇසෙන සනත් ගේ ගැඹුරු ස්වරයද මහැදුරු චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ගේ, රූපකාර්ථ සපිරි වදන් වැලඳ කේමදාසගේ සංගීත නිර්මාණය ද සිංහල චිත්‍රපට ගායනා අතර විශිෂ්ට ගීයක් බවට පත්කොට ඇති බව අපි දනිමු. ඉන්දුට මල් මිටක්හි කේමදාස, සුගතපාල සෙනරත් යාපා සුසංයෝගයට එක් වූ සනත්ගේ හඬ ට තිරයේ මුසුවන මාලිනී ෆොන්සේකාගේ හැඟුම් පිරි සමීප රූපයෙන් මතුවන හැඟුම් දහරාව වඩ වඩාත් අරුත් ගන්වන්නේ සනත් නන්දසිරිගේ හඬ පෞරුෂයම නොවේද?
‘මේ නිහඬ නිල් තලයේ
මා තනිවෙලා
හෙලන කඳුළක් වී
හෝ හඬ නඟා
ගලනු ඇයි නිබඳේ ...”
මංගල තෑග්ග චිත්‍රපටයේදී අප සවනට ළංවන වාසනා වේවා ගීතය එච්.එම්. ජයවර්ධනගේ සංගීතය සමඟ මුසුවන රූපාවලියට ද සනත් නන්දසිරි නම් ගායකයාගේ හඬ එක්කරන අරුත අපූරුය. ඔහු නිසැක වශයෙන්ම විජය කුමාරතුංග වැනි නළුවකුගේ රූපකාය තිරයේ පතිත වන මොහොතක, ජවනිකාවකට, උචිතම වූ ගායන පෞරුෂය සතු ගායකයා බව අපට පසක් කරන්නේ දුලීකා චිත්‍රපටයේ විජය වෙනුවෙන් ගැයුණු පසුබිම් ගීතයයි. කේමදාස, සුනිල් ආරියරත්න හා සනත් නන්දසිරි ත්‍රිත්වයේ විශිෂ්ට සුසංයෝගයේ අග්‍ර ඵලයක් සේ දුලීකා හි සීත රෑ යාමේ ගීතය හැඳින්වීමෙහි කිනම් වරදක් ද?
“මා බලා සිටියා
දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ
නාඳුනනා සිහිනේ,
සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා...”
සනත් නන්දසිරි විශාරද උපාධි ලද සංගීත් නිපුන් ගායකයාණන්ය. වාදකයාණන්ය. සංගීත ශාස්ත්‍රය දහස් සංඛ්‍යාත සරසවි මානව මානවිකාවනට දශක ගණනාවක් පුරා නොමසුරුව, ගුරු මුෂ්ටි රඳවා ගැනීමකින් තොරව, බෙදා හදා දුන් ගුරු පියාණන් කෙනෙකු සේ හැඳින්වීමෙහි කිසිදු දොසක් දක්නට නැතැයි, ඔහු පිළිබඳ ඔහුගේ ජීවිතයේ ඇවතුම් පැවතුම් පිළිබඳ තතු දන්නෝ පවසති. සැබැවින් ම ඔහු මානව දයාව හද පුරවාගත් කලාකරුවාණන් අබිබවා ගිය හිත හොඳ මිනිසා ය. නව පරපුරක් පිළිබඳ විසල් අපේක්ෂා සතු වූ ඔහුගේ මානවීය ගුණයෙන් පොහොණි වූ යෞවන ගීත රචකයෝ ගායක ගායිකාවෝ අපමණය. 70 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයෙන් නිර්මාණය වූ නව ගීතයට උර දුන්නවුන් අතර, සනත්ගේ දායකත්වය කැපී පෙනෙන බව සිහිපත් කළ හැකිය. එදවස ගුවන්විදුලි සංස්ථාව විසින් වෙළඳපොළ අලෙවිය සඳහා නිකුත් කරන ලද දස්කොන් නම් කුඩා ගීත තැටියකට, ඇතුළත් වූ ගීත හතර වූයේ නීලා වික්‍රමසිංහ ගැයූ දස්කොන් සකිසඳ(සුනිල් ආරියරත්න) වික්ටර් රත්නායක ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ (ප්‍රේමකීර්ති ද අල්විස්) සනත් නන්දසිරි ගැයූ ගීතා දයාබර ගීතා හා අමරා රණතුංග ගායනා කළ තවත් ගීතයක් ය. සනත් ගැයූ ගීතය, එකී ගීතය රචනා කළ ගේ ය පද රචකයාගේ ප්‍රථම ගී සංකල්පනාව වීමත්, එවැන්නක්, ජනප්‍රියත්වයට පත් කිරීමට සනත් නන්දසිරි නම් ගායකයා නවකයකුට පෑ දයාව, දිගු කළ දෑත කිසිදින අමතක කළ නොහේ.
සනත් නන්දසිරි නම් වූ හැත්තෑ පස් වියැති මහා පුරුෂයා හෝ මහා ගාන්ධර්වයාගේ ගීතාවලියෙහි සුපුෂ්පිත ගී මල් පතුරවනු ලබන සුවඳ දසත හමා යන්නේ ළය සනහන මල් සුවඳක් හෝ සවනට සුවයක් ගෙනෙන මී බිඳු ලෙසය. ඔහුගේ බොහෝ අමරණීය ගීත හා සුසංයෝගී වූ ගේය පද රචකයන් වූ, සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, කරුණාරත්න අබේසේකර, සුනිල් සරත් පෙරේරා, බණ්ඩාර කේ.විජේතුංග, සුනිල් ගුණවර්ධන, කුලරත්න ආරියවංශ, ප්‍රණීත් අභයසුන්දර, ඩබ්ලිව්.ජයසිරි, මහින්ද අල්ගම, ලූෂන් බුලත්සිංහල, ප්‍රේමකුමාර ජයවර්ධන, ප්‍රේමනාත් ජයතිලක තු.ව. කුසුමපාල, දයා ද අල්විස්, දයා ආනන්ද රණසිංහ ආදී වූ නිර්මාණශීලී ගේය පද රචකයන් ගේ සංකල්පනා සනත් ගේ හඬ පෞරුෂයේ පුළුල් පරාස සමඟ එක් වූයේ සිංහල ගීතයට නොනැසෙන ගී නිර්මාණ රාශියක් එක් කරමිනි.
සනත් නන්දසිරි උත්තුංග දේහධාරී මහා පුරුෂයකු සේ පෙනුණද ඔහුගේ හදවත තුළ ජීවත් වන්නේ සංවේදී ගුණයෙන් ළතෙත් බවින්, පිරුණු ඇතැම් මොහොතක කුඩා දරුවකු සේ කම්පාවට පත් වන සිතැත්තකු බව හොඳාකාරවම දනිමි. ඊට අපූරු නිදසුනක තතු මහට පැවැසූයේ මිතුරු ප්‍රණීත් අභය සුන්දරයන්ය. ඔහු පැවසූ පුවත වූයේ එක්තරා දිනක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සමරකෝන් මැදිරියේ දී ප්‍රේක්ෂකයන් හමුවේ ගායනාවක් ඉදිරිපත් කිරීම සඳහා ඔහු විසින් තෝරාගෙන තිබූ ගීතා දයාබර ගීතා ගීතය ගයන්නට පෙර එහි පසුබිම පිළිබඳ පවසන්නට ගොස් ගීතයෙහි කතා නායිකාව ගේ ඉරණම සිහිවීමෙන් සංවේදී වූ, සිතැති ඔහු දෑස් කඳුළින් පිරී ගායනය නතර කළ පුවතයි. සනත් නන්දසිරි යනු කුලුනුබර හදකින් හා සංවේදී මනසකින් යුත් දයාබර මිනිසෙකැයි පවසමි.
බුද්ධදාස ගලප්පත්ති