මනමෙ නාටකය 1956 නොවැම්බරයේ දී රංගගතවීමත් සමඟ ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය වංශ කතාවේ අලුත්ම පරිච්ඡේදයක් ලියැවුණු ලෙසම, ඊට වසර එකොළහකට පමණ පසුව එනම් 1967 මාර්තු අටවන දා ප්‍රථම වරට කරළියට පැමිණි හුනුවටයේ කතාව ද ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාව යළි නවතම පරිච්ඡේදයක් ඇරැඹූ බව සත්‍යයකි. මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ මනමෙ නාටකයට හැට වසර සපිරුණේ පසුගිය නොවැම්බරයේදී ය.
හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාවට පනස් වසරක් සපිරෙන්නේ අද දවසේදීය. සරච්චන්ද්‍ර මෙන්ම හෙන්රි ජයසේනද ජීවන කරළියෙන් සමුගෙන ඇති මුත්, ඔවුන් විසින් ජාතියට දායාද කොට ඉතිරිකොට ගොස් ඇති විශිෂ්ට කලා නිර්මාණ අදත් රසවිඳීමට ප්‍රේක්ෂකයන් වාසනාවන්ත වී ඇත්තේ, එකී නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුළ රැඳුණු අව්‍යාජ, කලාත්මක නිර්මාණශීලී ගුණය නිසාම බවයි අපගේ විශ්වාසය.
දීර්ඝ කාලයක් තිස්සේ එතෙර මෙතෙර නාට්‍ය කලාව පිළිබඳ හදාරමින් පර්යේෂණ පවත්වමින් දේශීය නාට්‍ය සම්ප්රදායක් සොයාගිය ගමනේ මහාර්ඝ ඵලය ලෙස සරච්චන්ද්‍රයන් අතින් ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායෙන් නිර්මාණය වූ මනමෙ නාටකය බිහි වූ බව අපි දනිමු. හෙන්රි ජයසේන නාට්‍යකරුවා ද ගුරුවරයෙක් ලෙස තම ජීවන වෘත්තිය අරඹමින් 1951 දී දෙහිපේ පදියපැලැල්ල ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් හා ගුරුමණ්ඩලය සමඟ එක්වී නිර්මාණය කළ ජානකී නාට්‍යයේ සිට 1967 හුනුවටය කරළියට රැගෙන එනතෙක් පරිවර්තිත නාට්‍ය රචනා මෙන්ම ස්වතන්ත්‍ර නාට්‍ය ද රචනා කොට නිෂ්පාදනය කරමින් රංගනයට මෙන්ම නාට්‍ය නිර්මාණයට ද ඔහු සතු වූ කුසලතාව මොනවට ඔප්පු කරමින් සිටියේය.
හුනුවටය අපගේ නාට්‍ය වංශකතාවේ අපූර්ව නිෂ්පාදනයක් වීමට පෙර සිටම හෙන්රිගේ නාට්‍ය මෙරට ප්‍රේක්ෂක ජනතාව විසින් වැලඳගත් බව නොරහසකි. මනමාලයෝ (1953) පරිවර්තන නිෂ්පාදනය, වැදගත්කම (1954) පරිවර්තිත නිෂ්පාදනය, ඇත්ත කුමක්ද (1955) පරිවර්තිත නිෂ්පාදනය, පව්කාරයෝ (1959) ජනේලය හා කුවේණි (1962) තවත් උදෑසනක් (1964) මනරංජන වැඩවර්ජන (1964) ආදී වූ ස්වතන්ත්‍ර නාට්‍ය ද 1966 දී අහස් මාලිගා නම් වූ පරිවර්තිත නිෂ්පාදනයද හුනුවටයට පෙර හෙන්රි ජයසේන නාට්‍යකරුවාගේ ආගමනය ස්ථාපිත කළ නිර්මාණ වේ. ඔහු විසින් පරිවර්තන නිෂ්පාදනය සඳහා තෝරාගත් කෘති රචකයන් අතර, ෂෙරිඩන්, ඔස්කා වයිල්ඩ්, ඇරිස්ටෙප්පානිස් හා ටෙනිසි විලියම්ස් ආදීහු වූහ. ඔහුගේ ස්වතන්ත්‍ර නිෂ්පාදන අතර, ජනේලය හා කුවේණි වෙසෙසි වේ.
විශ්ව සම්භාවනාවට පත්, ජර්මන් ජාතික නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් 1944 දී රචනා කරන ලද The Caucasian Chalk Circle ප්‍රථම වරට වේදිකාගත වී ඇත්තේ 1948 දීය. ලොව පුරා විවිධ භාෂාවන්ගෙන් නිෂ්පාදනය වී ඇති හුනුවටයේ කතාව, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය අතර වැදගත් වූ නිර්මාණයක් වූ කල, ඔහුගේ බොහෝ නිර්මාණ මෙරට වේදිකාවේදී නිෂ්පාදන සේ පරිවර්තනය කොට ඉදිරිපත් කරන ලද්දේ ඔහුගේ නිර්මාණ තුළින් විශද වූ ජීවිතයේ අත්දැකීම්වල පුළුල් බවත්, විනිවිද දක්නා ජීවිත පරිඥානයත් නිසාය. හුනුවටයේ කතාවෙන් පසු හෙන්රි ජයසේන විසින්ම නිෂ්පාදනය කරන ලද බ්‍රෙෂ්ට්ගේ දිරිය මව හා ඇගේ දරුවෝ සුගතපාලද සිල්වා විසින් හිත හොඳ අම්මණ්ඩි නමින් නිෂ්පාදනය කරන ලද Good Woman of Setzuan විජිත ගුණරත්න ගේ සත්යාංගනාවී ලෙසද Three Penny Opera පැන්ස තුනේ කතාව නමින් ද සිංහල වේදිකාව මත දක්නට ලැබීම ඇතැම් විචාරකයෙක් දැක තිබුණේ බ්‍රෙෂ්ට් තරම් සිංහල නාටකයට ළංවන සමකාලීන බටහිර නාට්‍යකරුවකු නැතැයි යන්නට නිදසුන් ලෙසයි.
බ්රෙෂ්ට්ටම අනන්‍යවූ රංග රීතියක් හඳුන්වා දුන් ඔහුගේ නාට්‍ය සම්මත වීරයන්ගෙන්, වීරවරියන් ගෙන් තොර, ඇතැම් විට කතානායකයා, සොර දෙටුවෙක් කතා නායිකාව වෛශ්‍යාවක් නොවේනම් මහලු තැනැත්තියක් හෝ මෙහෙකාර දැරියක් පිළිබඳ කියැවෙන වස්තු විෂය වේ. පුද්ගලිකත්වයෙන් තොර විශ්ව සාධාරණ බවක් බ්‍රෙෂ්ට් විසින් නිර්මිත චරිතවල ඇතැයි පවසන්නේ හෙන්රි ජයසේනමය.
හුනුවටය කතාව බ්‍රෙෂ්ට් විසින් උකහා ගනු ලබන්නේ චීන නාට්‍යයකිනි. ඊට අමතරව චීන නාට්‍ය කලාවේ ඇතැම් අංගයන්ද එනම් පොතේ ගුරෙකු, ගීත හා අභිනය, වෙස් මුහුණු ආදිය ද එක්කර ගනී. එම අංග අපගේ ශෛලිගත නාට්‍ය සම්ප්රදායෙහිද වේ.
බ්‍රෙෂ්ට් විසින් උකහාගත් චීන නාටකයේ කතාව, අපගේ උමංදාවේ, මහෞෂධ කුමරු විසඳූ දරු ප්රශ්නයේ කතාවට සමාන බැව් හැඟේ. දරුවාගේ මව හා ස්ත්‍රී වෙස් ගත් රාක්ෂණියක් ද දරුවකුට අයිතිය පවසමින් කලහ කරන අවස්ථාවක මහෞෂධ කුමරු ප්රශ්නය විසඳීමට දරුවා දෙපැත්තට අදින්නැයි ස්ත්‍රීන් දෙදෙනාට අණ කරයි.
දරුවාට අනතුරක් වේය යන බියෙන් දරුවා වැදූ මව සිය ග්‍රහණය මුදවන්නීය. එමඟින් දරුවාගේ සත්‍ය මව කවුරුන්දැයි, මහෞෂධ කුමරු රැස්ව සිටි පිරිසට සාක්ෂාත් කරවයි.
බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයට වස්තු වන්නේද මෙබඳු කතාවක් වුවත් ඔහු වර්තමාන සමාජයේ ඇතැම් විෂමතා පිළිබිඹු කරනු වස් තම නාට්‍යයේදී කතාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළයි.
“දරුවකු වදන මවකගේ හදවත තුළ වූ දරු සෙනෙහස පිළිබඳව ප්‍රශ්නයක් ආදී සමාජයෙහි නම් කිසි විටෙකත් නොවීය. තැන්පත් සමාජ ක්රමයක තම දරුවා නිරායාසයෙන්ම දෙමාපියන්ගේ දරු සෙනෙහස ලබයි. එහෙත් තැන්පත් සමාජයක් ගොඩනැඟුණු සමාජ සිද්ධාන්ත දෙදරා එහි පදනම උඩුකුරු වූ විට එහි ගුණධර්මයෝද කණපිට පෙරළේ.”
(හෙන්රි ජයසේන - හුණවටය පෙරවදන)
ප්‍රබල නාටමය ගැටුමකින් යුත් හුනුවටයේ කතාවේ කූටප්රාප්ත අවස්ථාව වන දරුවාගේ හිමිකාරත්වය විසඳීමට අපූර්ව විනිශ්චයකරුවෙක් හඳුන්වා දෙයි.
ඔහු බොහෝ අවස්ථාවල බීමත්ව සිටියි. විනිශ්චය සොයා පැමිණෙන්නන්ගෙන් අල්ලස් ද ගනී. එහෙත් අසඩක් දරුවාගේ අයිතිය පවරන්නේ දරුවා වැදූ මවට නොව හැදූ වැඩූ මවට වීම, බ්‍රෙෂ්ට්ගේ දෘෂ්ටියෙහි අපූර්ව බව පෙන්වයි. මෙම විනිශ්චය සම්පිණ්ඩනය කරමින්, බ්‍රෙෂ්ට් තම නාටකයේ පොතේ ගුරුගේ මුවට නංවන මේ ගී තුළින්, සාධාරණත්වය පිළිබඳ විශ්වීය සත්‍යයක් පහදා දෙයි.
“දෙයක් වේ නම් යම්
සුදුස්සාට ම අයිති විය යුතු
කී ලෙස දන පොරණ
ලැබිය යුතු අයමය ලැබිය යුතු
මුදු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
රියැදුරු මනා වූ
ලැබිය යුතු වූ සේම අස්රිය
මව් ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ
දිනිය යුතු වූ සේම ගම් බිම්
හෙන්රි ජයසේන නාට්යකරුවාණන්ගේ හුනුවටය පරිවර්තිත පිටපතක නිෂ්පාදනයක් වුවද ඔහු විසින් පරිවර්තනයේ දී භාවිත භාෂාවෙහි සාහිත්‍යමය ගුණය කැපීපෙනෙන බවද සිහිපත් කළ යුතුය. ගෲෂා දරුවා සමඟ අසඩක් ඉදිරියේ සිටියදී පොතේ ගුරු ලවා ගායනා කරනු ලබන මේ ගීතය ගෲෂා ගේ මුවින් පිට නොවූ සිතිවිල්ලකි. එහි අරුත මෙන්ම බසද ප්‍රේක්ෂක සිත් ගනී.
උඹ මිනිහෙක් වෙයන් පුතේ
කුසගිනි වෙයි එකම සතුරු
අඳුරට බිය වෙයන් පුතේ
හිරු එළියට නොම බිය වී
ගෲෂා නදිය තරණය කරද්දී ගායනා කරන වැල්පාලමේ ගීතයද හෙන්රි ජයසේන ගේ කාව්‍යොචිත බස්වහරට නිදසුන් සපයන්නකි.
‘හෙළ ගැඹුරුයි
පුත නොබලන්
හෙලවෙන කොට
වැල් පාලම
දෑස් පියන්
බිම නොබලන්
අපට පුතේ
මඟක් නැතේ
මේ මග මිස
යමන් පුතේ
දෙවියො බලයි
මූණ උඹේ
උඹව රකියි
යමන් පුතේ
ෂෙල්ටන් ප්‍රේමරත්නගේ නාට්යොචිත සංගීතය ද හුනුවටයට පණස් වසරක් පුරා ආලෝකයක් ගෙන දෙන්නේමය.
පණස් වසරක් පුරා දිවයිනේ කුමන හෝ රඟහලක, නගරයක ඈත ගම් දනව්වක, පාසලක, සරසවියක දෙනෝදාහක් ප්‍රේක්ෂක ජනසමූහයා අබියස හුනුවටය රඟ දැක්වෙන්නේ එහි රැඳුණු නාටකීය ගුණය ප්‍රධාන හේතුව වීම නිසාමය. නාට්‍යයේ කතා පුවත තුළින් බ්‍රෙෂ්ට් පවසන්නට උත්සාහගත් මිනිස් ජීවිත විවරණය පිළිබඳ ගැඹුරු පණිවුඩය, ප්‍රතිභාන්විත නළු කැළකගේ රංගනයෙන් ඔපවත් වීම හුනුවටය ස්වර්ණ ජයන්තිය සැමරීමට වාසනාවන්තවීමේ සැඟැවුණු රහස ලෙස දකිමි.
වසර පනහක් වැනි දීර්ඝ කාලයක් පුරා විවිධ නිෂ්පාදන හා වෙනත් වෙනත් නළු වරණ සමඟ හුනුවටය ජනතාවගෙන් ඈත්නොවූ රංගනයක් වීම පිළිබඳ අපට සොම්නස් හැඟුම් පහළ වන්නේ, අඛණ්ඩව, එලෙස රඟදැක්වීමට ඉඩහසර සැලසුණු වේදිකා නාට්‍ය අපගේ නාට්‍ය ක්ෂේත්රයෙහි විරල බැවිනි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමෙ, සිංහබාහු, පේමතො වැනි නාටය හැරුණු කල, එලෙස පවත්වාගෙන එනු ලබන නාට්‍ය කිහිපය අතර, හුනුවටයේ කතාව ප්රමුඛ වේ. දයානන්ද ගුණවර්ධන නාට්‍යකරුවාගේ නරිබෑනා, ජසයා හා ලෙන්චිනා මධුර ජවනිකා හා බක්මහ දීගේ තවත් එවන් නාට්‍ය කිහිපයකි. එම නාට්‍ය පවත්වා ගැනීමට නාට්‍යකරුවන්ගේ බිරින්දෑවරු සිටියද හුනුවටය රැක ගැනීමට සිටින්නේ හෙන්රි පුත් සුදාරක ප්රමුඛ නළු කැල යයි හඟිමි.
හුනුවටයේ කතාව යනු හෙන්රි ජයසේනගේ රංගනයම නොවේද යන පැනය මසිතට නැඟෙන වාර බොහෝ ය. සිංහල නාට්‍යාවලියේ අසඩක් චරිතය යනු අද්විතීය රංගනයක් ඉල්ලා සිටිනු ලබන අභියෝගාත්මක චරිතයකි. මනමෙහි වැදි රජු හා කුමරිය සිංහබාහු හි සිංහයා, නරිබෑනා හි නරියා, පෙමතොහි උද්දාල වැනි භූමිකා පණපෙවූ නළු නිළියන්ගේ රංගන පෞරුෂයෙහි මහිමය නිසාම මෙම චරිත ප්‍රේක්ෂක මතකයේ සදාතනිකව නිදන්වූ චරිත බවට පත්ව තිබේ. හෙන්රි ජයසේනගේ අසඩක් භූමිකාව මෙන්ම. හුනුවටයේ ගෲෂාගේ චරිතයද ඉහත කී ගණයට අයත් භූමිකාවකි. කුවේණිය ලෙස ප්‍රේක්ෂක මතකයට පිවිසි මානෙල් ජයසේන විසින් ඇගේ අවසාන රංගන කාලය තෙක් ගෲෂා ලෙස කළ රංගනය, විශිෂ්ටය. අමරණීයය. සැන්ටින් ගුණවර්ධන, තරුණ සයිමන් සෂාවා සමඟ, ගෲෂා අතර ඇතිවූ සංවාදයේදී සයිමන් සෂාවාගේ ප්‍රශ්නාවලියට ඈ පිළිතුරු දුන් විලාසය අද වුව සිහිපත් කළ හැකිය.
සයිමන් - දෙවනි ප්‍රශ්නෙ මේකයි. දියේ ඉන්න මාළුවෙක් වගේ ගෑනු දරුව නිරෝගි ද කියා දැනගන්න කැමැතියි.
ගෲෂා -ඉඳහිට උරේ ඇම්මක් එනව. ඒ ඇරුණුකොට මට හොඳට හයි හත්තිය තියෙනවා. කවුරුත් වැරැද්දක් කියල නෑ මෙච්චර කාලෙකට.
සයිමන් - කවුද නොදන්නේ ඒක? පාස්කු දවසේ වුණත් භෝජන සංග්‍රහයට කුකුළෙක් මදි වුණාම කවුද යවන්නෙ? ගෑනු දරුවව. තුන්වෙනි ප්රශ්නය මේකයි. ගෑනු දරුවට හොඳට ඉවසීම තියෙනවද? සීත කාලෙ ඇපල් එහෙම ඉල්ලාවිද ගෑනු දරුව?
ගෲෂා - ඉවසීම තියෙනව ගෑනු දරුවට ඕන තරම්. ඒත් සොල්දාදුව කිසිකමක් කාරියක් නැතුව පුරුද්දට ගිහින් පණිවුඩයක්වත් එවන්නෙ නැත්නම් ඉවසීම ටිකක් අඩුවේවි.
සයිමන් - සොල්දාදුව පණිවුඩයක් එනව. එහෙම නම් අන්තිම ප්රශ්නය.
ගෲෂා - සයිමන් සෂාවා මම ඉක්මනට මහ මැද මිදුලට යන්න ඕන. අන්තිම ප්‍රශ්නෙට මගේ උත්තරේ මේකයි. “ඔව් මම කැමැතියි!”
ඔවුන් දෙදෙනා ගේ ආදර සංවාදයෙහි සංයමය චමත්කාරය මැවෙන්නේ හෙන්රිගේ බසෙහි මහිමයෙනි.
පනස් වසර සපිරෙන හුනුවටය ජීවත්කළ චරිත අතර මුල් රැඟුමේ සිට රඟපෑ නිමල් ජයසිංහ, චූලා කාරියවසම් (ෂව්වා) සමඟ විජේරත්න වරකාගොඩ, ඩග්ලස් රණසිංහ, සුදාරක ජයසේන, ගුණවතී ගුණවර්ධන, යසී අබේරත්න, සෝමසිරි අලකොලංග, ග්‍රේස් ආරියවිමල් (තෙන්නකෝන්), ජයන්ත කරුණාරත්න, විමල් ජේ. ශ්‍රියාරත්න හා තවත් බොහෝ අය සමඟ අපූරු සංගීතයක් නිර්මාණය කළ ෂෙල්ටන් ප්‍රේමරත්නද අප අතර වෙති. හෙන්රි, මානෙල්, ආරියවිමල්, පී. එල්. ඩී, සැන්ටින්, ධර්මදාස කුරුප්පු, ගෝමස්හේවා, ප්රිට්රෝයිස්ද මෙල්, කරුණාපාල ගමගේ, නන්දසේන හේවගේ, එල්සන් දිවිතුරගම, මර්වින් ජයතුංග, කැරන් බ්‍රෙකන් රිජ්, රත්නසිරි ලියනගොඩ, ඔස්ටින් මුණසිංහ, ෆීලික්ස් ප්‍රේමවර්ධන, සිරිල් ධර්මවර්ධන, සුදත් සේනාරත්න, රත්නසිරි ලියනගොඩ, නන්දන ජයතිලක, චන්දිම සමරසිංහ ආදීන්ගේ අඩුව පනස් වස සපුරන හෙට දින, නළු කැලට දැඩිව දැනෙනු නියතය. එහෙත් පරපුරෙන් පරපුරට නැවුම් බවින් හුනුවටය, නගර ගම් දනව් පුරා රඟ දැක්වෙනු දැකීම නාට්‍යලෝලී හැමගේ ප්‍රාර්ථනයයි.
බුද්ධදාස ගලප්පත්ති