මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ “සූර්යා”සිංහල චිත්‍රපටය තවමත් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වනවා.
මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජනප්‍රිය උපකාරක පංති දේශකවරයෙකු වන දිනේෂ් මුතුගල විසින්.
චිත්‍රපට තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජූලි 12 වනදා සිටයි.
ඒ අනුව ඊයේ (සැප්.24) දින වන විට චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ වී දින 75 සම්පූර්ණ වී තිබෙනවා.
ඉතින්, තිරගත වීම් ආරම්භ වූ දා පටන්ම චිත්‍රපටයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වූ අතර විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළද “සූර්යා” චිත්‍රපටය ගැන බොහෝ දෙනා අදහස් පළ කර තිබුණා.
මේ අතර,
“ සූර්‍යා film” එක අසාර්ථක වීමට බලපෑ හේතු මොනවාද?”
යනුවෙන් පළ වී තිබූ සමාජ මාධ්‍ය පෝස්ටුවක් ගැන චිත්‍රපටය නිෂ්පාදනය කළ දිනේෂ් මුතුගල සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබුණා.
මතු දැක්වෙන්නේ එලෙස දිනේෂ් මුතුගල විසින් පළ කර තිබූ සටහනයි.
(උපුටා ගැනීම)
ආදායම මිලියන 100 පසුකරමින් සිටින "සූර්යා" අසාර්ථකයැයි කියා ඇති පෝස්ටුවක් දුටුවෙමු..!
සූර්යාට දින 75 සම්පූර්ණ වන්නේ අද ය. දින 75ක් සිනමා නිර්මාණයක් පැවතීම කෙබඳුදැයි දන්නේ සිනමාවට සම්බන්ධ අයෙක් ම ය.
මේ වන විට දර්ශන වාර 120 කට ආසන්න ප්‍රමාණයක් Housefull ය.
මෑත භාගයේ ආසන්න වසර ගණනාවක් තුළ Housefull වී නොමැති සිනමා ශාලා කිහිපයක්ම ඒ අතර ය. විශේෂයෙන්ම කුරුණෑගල, සඳලංකාව වැනි පැරණිම සිනමා ශාලා ද ඒ අතර වේ.
මිනුවන්ගොඩ විජය සිනමා ශාලාව වැනි සිනමා ශාලා කිහිපයක්ම විවෘත වූ පසුව පළමුවෙන්ම Housefull වූයේ සූර්යාගෙනි.
"සූර්යා" ඉකුත් දින කිහිපය ඇතුළත ප්‍රේක්ෂකයන් එක්ලක්ෂ අනූපන්දහස ඉක්මවූ දැවැන්ත ප්‍රේක්ෂක ජන ගඟක් එක් වූ මෑත කාලයේ වේගවත්ම ප්‍රේක්ෂක වැළඳගැනීමක් පෙන් වූ නිර්මාණයයි.
මේ අමුණා ඇති පෝස්ටුව සූර්යාගේ සාර්ථකත්වය දරාගත නොහැකි සුළු පිරිසකගේ අඳෝනාවයි.
එය සිනමාවේ මාෆියාවයි. මේ මාෆියාවේ අරමුණ, තමන් යැපෙන කණ්ඩායම් කිහිපයක් අතර පමණක් නිර්මාණ රඳවා ගැනීමත්, නව පිරිස් වලට එකී අවස්ථාව ඇසිරීමත් වේ.
මේ මාෆියාව සිනමාවේ පමණක් නොවේ. ටියුෂන් වල ද එසේ ම ය. එහෙයින් අපට මේවා හොඳින් හුරු පුරුදු ය.
සිනමා නිර්මාණය පිළිබඳ පැසසුම් මෙන්ම ව්වේචන තිබිය හැක. එය සාමාන්‍ය දෙයකි. එය අප ද සමසිතින් බාරගන්නා දෙයකි.
නමුත් ආදායම් අතින් සහ ප්‍රේක්ෂක සංඛ්‍යාව අතින් අතිශය සාර්ථකත්වයට පත් නිර්මාණයක් මෙසේ හෑල්ලු කරන්නට උත්සාහ දැරීම අතිශය කුහක මානසිකත්වයක යටි අරමුණක් බැව් කිව මනා ය.
සිනමාවෙන් නිශ්පාදකවරු ඉවත් වන්නේ ද, නිශ්පාදකවරුන්ගේ
ඉහළ හිගයක් ඇත්තේ ද, මෙවන් මඩ ප්‍රචාර පතුරුවන "Fake profile" වලින් පෙනී සිටින, සිනමාවේ සැඟවුනු මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා නිසා ය.
සිනමාවට නිශ්පාදකවරු අවැසි කාළයේ, එකී සිනමාවට, සිනමාවාර 120 ට ආසන්න ගණනක් Housefull කළ නිර්මාණයක් දායාද කළ නිශ්පාදකවරයෙක්ව රැකගන්නවා විනා මෙවන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිනමාවම මළ බැඳීමට ලක් කරවීම අතිශයින් කණගාටුදායක ය.
අවසානයේ කියන්නට ඇත්තේ මෙය ය.
"සූර්යා" අපගේ පළමු නිශ්පාදනයයි. තරුණ පරපුර වල්මත් නොවන, මව්වරුන්ට පුතුන් සමගත් පියවරුන්ට දියණියන් සමගත් එක්ව නරඹන්නට හැකි, සුජාත නිර්මාණ ඉදිරියේදීත් අප සැලසුම් කර ඇත්තෙමු.
ඒවාටද මෙම ගල් මුල්ම එල්ලවිය හැක. අපේ ශක්තිය අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවයි. ඔබේ ආදරය අපේ ශක්තියයි.
මෙවන් පිළිකුල් සහගත මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ පරදා සිංහල සිනමාවේත් රටේ උන්නතිය උදෙසාත් ඔබේ ආදරය සහ සහයෝගය අප සෙනෙහසින් බලාපොරොත්තු වන්නෙමු. ඔබට ජය. සිංහල සිනමාවට ජය..!
දිනේෂ් මුතුගල
සූර්යා නිශ්පාදක.
( උපුටා ගැනීම අවසන්)
මෙම සටහන "Dinesh Muthugala" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.









