ඉන්දියාවේ ප්‍රසිද්ධ අතුරුපසක් තමයි “කුල්ෆි” කියන්නේ. සමහරු මෙය සම්ප්‍රදායික ඉන්දීය අයිස් ක්‍රීම් වර්ගයක් විදියටත් හඳුන්වනවා. රසයෙන් අයිස් ක්‍රීම්වලට සමාන වුණත් කුල්ෆි හදන්නේ එළකිරි මද ගින්නේ සෑහෙන වෙලාවක් හිඳෙන්න ඉඩ තියලා. ඒ නිසාම මේ අතුරුපස සාමාන්‍ය අයිස්ක්‍රීම් එකකට වඩා ක්‍රීමි ගතියෙන් වැඩියි. සාම්ප්‍රදායිකව හදන කුල්ෆි එකක් නම් පැහැය ගන්න කුංකුම(සැෆ්රන්) සහ රසකරගන්න කරදමුංගු(එනසාල්) වගේම ආමන්ඩ් ඇට හෝ වෙනත් ඇට වර්ගයක් යොදා ගන්නවා.
කුල්ෆි වර්ගත් විශාල ප්‍රමාණයක් තියෙනවා. කුල්ෆි හදන විදිය අනුව වගේම රස අනුවත් ඒවා වර්ග කෙරෙනවා. මලයි කුල්ෆි, පිස්ටා කුල්ෆි, අඹ කුල්ෆි ඒ අතුරින් කිහිපයක්. මැටි මුට්ටිවලට දාලා හදන කුල්ෆි වලට කියන්නේ මට්කා කුල්ෆි කියලා. ප්ලාස්ටික් අච්චුවක දාලා හදන කුල්ෆි එකකට වඩා මේ මට්කා කුල්ෆි එක නැවුම් රසයක් ගන්නවා.
මැටි මුට්ටි ලංකාවේ ඕන පළාතකින් හොයා ගන්න තියෙන නිසා මට්කා කුල්ෆි ලේසියෙන්ම ගෙදරදී හදාගන්නත් පුළුවන්. මේක හදන්න ලොකු මුදලක් යන්නෙත් නැහැ. ඉතින්, මට්කා කුල්ෆි හදාගන්න ඕන කරන්නේ මෙන්න මේ දේවල් ටිකයි,
සම්පුර්ණ යොදය සහිත එළකිරි - ලීටර් ½ (ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කළ හැකි යි)
දුඹුරු සීනි - කෝප්ප ¼ (මෙෂරින් කප්)
උණු කිරි ස්වල්පයක පොඟවා ගත් කුංකුම ස්වල්පයක් (අවශ්‍යම නැහැ)
කිරි උකු කරගැනීමේ මිශ්‍රණය සඳහා
කජු ඇට 20ක් පමණ
දුඹුරු සීනි - තේ හැඳි 3ක්
කිරි - මේස හැඳි 2ක්
කරදමුංගු
කුල්ෆි හදන්නේ මෙහෙමයි,
කට පළල් බාජනයක් ගෙන කිරි ලීටර් ½ දමා එය ප්‍රමාණයෙන් බාගයක් වනතෙක් මද ගින්නේ හොඳින් උණු කරගන්න. බාජනයේ අඩිය අල්ලන්න පුළුවන් නිසා නිතරම හැඳි ගාමින් කිරි උණු කරගත යුතුයි. එළකිරි වෙනුවට පැකට් කළ දියර කිරි වර්ගයක් යොදා ගන්න පුළුවන්.
කිරි උකු කරගැනීමේ මිශ්‍රණය සාදා ගන්න කජු ඇට 20ක්, සීනි තේ හැඳි 3ක්, කරදමුංගු කුඩු ස්වල්පයක් බ්ලෙන්ඩර් එකේ පොඩි කප් එකට දමා හොඳින් කුඩු කරගන්න. එයට කිරි මේස හැඳි 2 දමා මෘදු මිශ්‍රණයක් තරමට සාදා ගන්න. ඇට වර්ග යොදා ගැනීමේ දී කජු ඇට පමණක් නොගෙන ආමන්ඩ් ඇට, කජු ඇට, පිස්ටාචියෝ ඇට යන වර්ග තුනෙන්ම අදාළ ප්‍රමාණය ගෙන මිශ්‍රණය සාදා ගැනීමට ද පුළුවන්.
ඉන්පසු උණු වෙමින් තිබෙන කිරි එකට ඉහත මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න. දැන් එයට සීනි කෝප්ප ¼ එක් කර විනාඩි 15 ක් පමණ මදගින්නේ කලවම් කරන්න. උණු කිරි ස්වල්පයක පොඟවා ගත් කුංකුම ඉන්පසු එක්කරන්න. (මෙය අවශ්‍යම නොවේ) කිරි මිශ්‍රණය ඝන, උකු මිශ්‍රණයක් වනතෙක් ලිපෙහි තබා හැඳිගාන්න. එය ඝන වූ පසු ලිපෙන් ඉවත් කර නිමෙන්න තියන්න. උණු වතුරේ තම්බා හොඳින් වෙලා ගත් පොඩි මැටි මුට්ටිවලට මේ මිශ්‍රණය දමාගන්න. පාච්මන්ට් කඩදාසිවලින් එය හොඳින් ආවරණය කර අධි ශීතකරණයේ පැය 8 ක් හෝ එක රැයක් තියාගන්න. දැන් ඔබට ගෙදරදී හදාගත් රසවත් මට්කා කුල්ෆි රසවිඳිය හැකි යි.