සීතලට, හොට් චොකලට්
බොහෝ දෙනෙක් ඩ්‍රින්කින් චොක්ලට් නැතිනම් චොකලට් ටී ලෙස ද හඳුන්වන හොට් චොකලට් පානය, සීත හැන්දෑවකට සිරුර උණුසුම් කරන්න කියාපු පානයක්. රස නහර පිනායන ගුණයකින් යුත් මේ පානය අයෙක් දිව්‍යමය පානයක් විදියටත් දකින්න පුළුවන්.
චොකලට්වල තිත්ත රසයත් පැණි රසයත් මනාව කලවම් වූ ඒ උණුසුම්, මෘදු මුසුව ගැන අමුතුවෙන් වර්ණනා මොකට ද? මෙන්න හදන විදිය.
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි මේස හැඳි 2ක් හෝ රස පමණට
කොකෝ පවුඩර් මේස හැඳි 2 ක්
වතුර 25 ml
ඩාක් චොකලට් කැබලි දෙකක්
උණුකිරි 350 ml
මාශ්මෙලෝ කිහිපයක් හෝ විප් ක්‍රීම් (සරසා ගැනීමට)
සාදා ගන්නා ආකාරය
වතුර, සීනි සහ කොකෝ පවුඩර් භාජනයට දමා කලවම් කර ලිප තබා මද ගින්නේ රත්කරගන්න. එම මිශ්‍රණය හොඳින් රත්වී බුබුළු දමන විට ලිපෙන් ඉවතට ගෙන ඊට ඩාක් චොකලට් කැබලි දෙකක් පමණ එක් කරගෙන චොකලට් කැබලි දියවනතෙක් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය උකු පදමට, එනම් චොක්ලට් සෝස් එකක පදමට පැමිණිය යුතු ය. දැන් එයට උණු කිරි ස්වල්පයක් එකතුකරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු ඉතිරි උණු කිරි ද එකතු කර මිශ්‍ර කර ලිප තබා මද වෙලාවක් රත් කරගන්න. විදුරුවලට හොට් චොකලට් පානය දමා උඩින් මාශ්මෙලෝස් හෝ විප් ක්‍රීම් යොදා සරසාගන්න. මෙම ප්‍රමාණ දෙදෙනකුට සෑහෙන අතර කිරි එකතුකරගැනීමේ දී ප්‍රමාණ අඩු වැඩි කරගැනීමෙන් ඔබේ රසට හොට් චොකලට් පානය සාදා ගත හැකි ය.