චීනය නිජබිම කොටගත්ත ද ග්‍රීන් ටී ආසියාව පුරාම ඉතාමත් ප්‍රචලිත වූ පානයකි. Camellia Sinensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තේ ශාකයේ ළපටි පත්‍ර යොදා ගනිමින් ග්‍රීන් ටී සකස් කරනු ලැබේ. ඕනෑම තේ පානයක් උක්ත ශාකයෙන් නිපද වුව ද එය සකස් කරගන්නා ක්‍රමය අනුව GreenTea, Black Tea, Oolong ලෙස තේ වර්ග වලට වෙන් කෙරේ.
ග්‍රීන් ටී සකසා ගැනීමේදී තේ ශාකයේ පත්‍රය නෙලා ගැනීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් උෂ්ණත්වයට පත් කරගැනීම මඟින් ඔක්සිකරණය වලක්වා ගැනීම සිදු කරනු ලබයි. මෙම පානයේ A, D,E, C,B,B5,H සහ K යන විටමින් වර්ග අඩංගුය. එසේම මැන්ගනිස්, සින්ක්, ක්‍රෝමියම්,සෙලනියම් යන ලෝහ වර්ග ද සුළු වශයෙන් තිබේ.
ග්‍රීන් ටී, තිත්ත රසයෙන් යුත් පානයක් ලෙස ප්‍රචලිතව පැවතියත් අතීතයේ දී පවා ඉතා වටිනා ඔසුවක් ලෙසට භාවිත කර ඇත. හෘද රෝග අවම කිරීමට, සමහර පිළිකා තත්ව වැළක්වීමට, අධි රුධිර පීඩනය අවම කිරීමට, මානසික ආතතිය අඩු කිරීමට, ශරීර කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට, උගුර ආශ්රිත අබාධ සඳහා, තරබාරුවෙන් මිදීමට වගේම හිරු එළියෙන් සමට වන පීඩා අවම කරගැනීමටත් ඉතාමත් සුදුසු ඖෂධීය පානයක් ලෙසට මෙය සැලකිණි. මෙහි අඩංගු ඇමයිනෝ අම්ලය සහ ටැනින් මඟින් මානසික පීඩනය අවම කර ශරීරයට සැහැල්ලු බවක් ලබා දේ.
පුද්ගලයන් 940 දෙනකු සම්බන්ධ කරගනිමින් 2009 දී ජපාන විද්‍යාඥයන් පිරිසක් විසින් විදුරුමස් රෝග සම්බන්ධ පර්යේෂණයක් සිදු කළහ. දිනපතා ග්‍රීන් ටී පානය කරන පුද්ගලයන් හට නිරෝගිමත් විදුරුමසක් හිමි බවට එහිදී ඔවුන් තහවුරු කරගෙන තිබේ. එපමණක් නොව විදුරුමස ආශ්රිත ලේ ගැලීම් පවා අවම වන බව එමඟින් පෙන්වා දී ඇත.
ග්‍රීන් ටී පානයේ අඩංගු වන්නේ ඉතාමත් සුළු කැෆේන් ප්රමාණයකි. එය එක කෝප්පයකට මිලි ග්‍රෑම් 8-30 දක්වා අගයක් ගනී.
ජපානයේ සම්ප්‍රදායික උත්සවයක් වන Tea Ceremony සඳහා යොදා ගනු ලබන්නේ ද ග්‍රීන් ටී පානයයි. සාමාන්‍යයෙන් තේ පානයක් සාදා ගැනීමේදී අප විසින් එයට සීනි එක් කළ ද ජපනුන් තමන්ගේ තේ කෝප්පයට සිනි එක් කරන්නේ නැත. ඔවුන් පිරිනමන ග්‍රීන් ටී කෝප්පය රස බැලීමට අවේනික ක්‍රමවේදයක් ද තිබේ. පැණි රස කැවිල්ලක් සමඟ මෙම තේ කෝප්පය පානය කරන විට දැනෙන්නේ අමුතුම රසයකි.
මේ කෙසේ නමුත් ග්‍රීන් ටී, ශරීරයට කෙතරම් ගුණදායක වුව ද උසස් තත්වයේ නිෂ්පාදන භාවිතයට ගැනීමට නොහැකි වුවහොත් එමඟින් ඔබ බලාපොරොත්තු වන ගුණාත්මකභාවය නොලැබී යනු ඇත.
ග්‍රීන් ටී කප් කේක්
හලාගත් පිටි කෝප්ප 2
බේකින් පවුඩර් මේස හැඳි ½
සිනි කෝප්ප 1 ½
බටර් 170 ග්‍රෑම් ( කාමර උෂ්ණත්වයෙන්)
බිත්තර 2
බිත්තර කහමද 1 (තරමක් විශාල)
ග්‍රීන් ටී මේස හැඳි 2
කිරි කෝප්ප 2/3
උදුන, ෆැරන්හයිට් අංශක 350 ක උෂ්ණත්වයකින් උණුසුම් කරගන්න. කප් කේක් තැටියක් කඩදාසි කප් 24 ක් යොදා ගනිමින් සකස් කරගන්න. කප් කේක් තැටියක් නැතිනම් ඇලුමිනියම් කප් 24ක් යොදා ගනිමින් වුවද මෙය සකසා ගත හැකිය. විශාල බඳුනකට වියලි අමුද්‍රව්‍ය (පිටි, බේකින් පවුඩර්,ග්‍රීන් ටී) සියල්ල එක් කරගෙන මිශ්‍ර කරන්න. වෙනම බඳුනකට බටර් සහ සිනි දමා අතින් හෝ මිශ්‍රණ යන්ත්‍රයක් භාවිත කරමින් මිශ්‍රණය මෘදු වන තෙක් විනාඩි 3 ක් පමණ හොඳින් කලවම් කරගන්න.එයට බිත්තරය බැගින් එකතු කර කලවම් කරගන්න. මීශ්‍ර කරන අතරතුර වියලි අමුද්‍රව්‍ය ද එකතු කරගන්න. කිරි ටික ටික එක් කරගනිමින් මෘදු වන තෙක් මිශ්‍ර කරගන්න. ඉන්පසුව කඩදාසි කප් එකකින් ¾ ක් වනසේ මිශ්‍රණය දමා මිනිත්තු 18-20 තර කාලයක් බේක් කරගන්න.