පස් වතාවක් චොක්ලට් ආහාරයට ගන්නා අධි බරැති (ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි) පුද්ගලයන් හෘද රෝග හා ඒ ආශ්‍රිතව හට ගන්නා හෘදයාබාධයන්ට වැළඳීමේ අවදානම අඩු බව ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් සෞඛ්‍ය සේවා පද්ධතියට අයත් පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ.
මෙම අධ්‍යයනය සඳහා සාමාන්‍ය වයස අවුරුදු 64 ක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ලක්ෂ හතළිස් අට දහස් හාරසිය හැට පස් දෙනෙකු (148,465), යොදා ගෙන ඇති අතර ඔවුන් චොක්ලට් ආහාරයට ගැනීම පිළිබඳව වසර දෙකහමාරක කාලයක් නිරීක්ෂණය කර තිබේ.
මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලයට අනුව සෑම සතියකම චොක්ලට් පස් වතාවක් හෝ එයට වැඩි වාර ගණනක් ආහාරයට ගත් අධිබරැති පුද්ගලයින් හෘද රෝග හා ඒ ආශ්‍රිතව හට ගන්නා හෘදයාබාධයන්ට ගොදුරු වීම අඩු මට්ටමක පැවැති බව තහවුරු වී ඇති අතර එසේ චොක්ලට් කිසිසේත් අනුභව නොකරන අධි බරැති පුද්ගලයන් හෘද රෝග හා ඒ ආශ්රිත හෘදයාබාධයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි බව හෙළිවී තිබේ.
කෙසේ වුවද අධි බරැති පුද්ගලයින්ට මෙන් බලපෑමක් චොක්ලට් ආහාරයට ගත් නිරෝගී ශරීර ස්කන්ධ බරක් (බී එම් අයි) හිමි අඩු බරැති පුද්ගලයන්ට එල්ලවී නොමැති බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.
මෙයට පෙර චොක්ලට් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනවලදී ප්‍රතිඔක්සිකාරකයන් බහුල ඩාක් චොක්ලට් ආහාරයට ගැනීමෙන් රුධිර තැටි සාදන නරක කොලෙස්ටරෝල් (බෑඩ් කොලෙස්ටරෝල්) වලින් ශරීරය ආරක්ෂා කර දෙන බව අනාවරණය වී තිබිණි. එමෙන්ම ඩාක් චොකලට් වල අඩංගු "ෆ්ලෙවනොල්" නමැති සංයෝගය මගින් රුධිර පීඩනය අඩුකර, රුධිර සංසරණය වැඩිදියුණු කිරීමත් කැටි ගැසීම අඩු පට්ටිකා නිපදවීමටත් හේතු වන බව අනාවරණය කර ගෙන තිබිණි.
එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේදී පර්යේෂකයින් පිරිසක් විසින් චොක්ලට්වලට සත්ත්වයන් දියවැඩියාවට ගොදුරුවීම වැළැක්වීමට හැකි බවත් චොක්ලට්වලට යොදන කොකෝවාවල අඩංගු "එපිකැටෙචින් මොනොම(ර්) නමැති සංයෝගය මෙයට හේතුවන බව අනාවරණය කර සිටියහ.
මෙම සංයෝගය තරබාරු බව අඩුකරලීමටත් සත්ත්වයන්ට අධි රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණයන් අඩුකරලීමට අවශ්‍ය හැකියාව වර්ධනය කිරීමටත් හේතුවන බව එම පර්යේෂකයෝ කියා සිටියහ.
මෙම පර්යේෂණය මෙහෙයවූ බ්‍රිග්හැම් යන්ග් සරසවියෙහි මහාචාර්ය ඡේෆ්රි ටෙස්සෙම්ට අනුව මෙම තත්ත්වය මිනිසුන් සම්බන්ධයෙන් තවමත් අත්හදා බලා නොමැති අතර චොක්ලට්වල වාසිය ලැබීමට නම් කොකෝවා වැඩියෙන් අනුභව කෙරෙන ලෙස හා සීනි අධිකව අඩංගු නොවන ලෙස සකස්කර ගත යුතු වේ.
චොක්ලට් ආහාරයට ගැනීමෙන් අධි බරැති පුද්ගලයන්ට වාසි සිදුවීම පිළිබඳ අධ්‍යයනය පසුගියදා කැලිෆොනියාවේ පැවැති ඇමරිකානු හෘද සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයට ඉදිරිපත් කර තිබිණි.
දිවයින