සුබ නව වසරක් වේවා යන ආශීර්වාදය ඇසෙන විටම අපට මතක් වෙන්නේ ඉතාමත්ම රසවත් කැවිලි පෙවිලි, කිරිබත්, කිරිකජු, අච්චාරු, මාළු ඇඹුල් තියල් යන තෙල් බැදුම් බව අමුතුවෙන් කිවයුතු නැත.
මෙම වකවානුවේදී අප ගන්නා ආහාර ගැන අපි සැලකිලිමත් විය යුතුය. අප විසින් ගන්නා ලද ආහාරවල ශරීරයට මිහිරි රස දෙන ආහාර කටුක ප්‍රතිඵල ගෙන දෙන බව වෛද්‍ය පොත පතේ සඳහන්ව ඇත.
රස මිහිරි වුවත් එම රසවත් ආහාරවල කටුක ප්‍රතිඵල ගෙන දෙන බව අප විසින් හොඳින් සිහි තබා ගත යුතුය. ඒ කෙසේ වෙතත් උත්සව සමයේදී මෙම ආහාර එකකට එකක් සමානව ගැළපෙන ලෙස ක්‍රමවත්ව සකසා ඇති බවක් කිව හැක.
උදේම කිරිබත් කෑල්ලක් ඇඹුල් කෙසෙල් ගෙඩියක් සමඟ ගැනීමෙන් මිහිරි රසත් මිහිරි විපාකත් අත්වන්නේය. එනම් කිරිබත්වලට ඇති විය හැකි මළ බද්ධය ඇඹුල් කෙසෙල් ගෙඩිවලට පහව යන්නේය. ඉන්පසුව කැවුම්, කොකිස්, අතිරස හෝ මුංකැවුම් ආහාරයට ගෙන පසුව කිතුල් හකුරු කෑල්ලක් සමඟ කෝපි උගුරක් දෙකක් හෝ ප්‍රණීත තේ එකක් පානය කිරීමෙන් එහි ඇති කටුක ඵල සමනය වන අතර තෙල් සහිත ආහාරයක් ගැනීමෙන් පසු එම තෙල් සම්පූර්ණයෙන්ම දිය වී යන බවට අපට ඉතා හොඳින් දැනෙනු ඇත.
මෙයට අමතරව අච්චාරු ගැනීමේදී අප විසින් කළ යුත්තේ ස්වභාවික විනාකිරි පාවිච්චි කිරීම බව මතකයේ තබා ගන්න. මෙයට අබ, ගම්මිරිස්, විනාකිරි යොදා සාදනු ලබන තරලයක රතු ලූනු, අමු මිරිස් අඩක් තම්බා සකසා ගෙන සාදා ගන්නා ඉතා රසවත් ආහාරයකි. මෙහි මේ තුළින් ඇති වන විෂ සහ ශරීරයේ අහිතකරත්වය මඟ හැරීමට අප විසින් මුරුංගා පොත්තක්, අමු ඉඟුරු කෑල්ලක් සහ අමු ගස්ලබු එක් කිරීමෙන් අච්චාරුවේ තිබෙන කටුක ඵල නොහොත් අමිහිරි අත්දැකීම්වලින් මිදීමට අපහට මෙය සාදා ගැනීමට අතීත ගෘහනිය විසින්ම නියම ක්‍රමයට එය සකසා දී ඇති බව සිහිතබා ගත යුතුය.
අවුරුදු කෑම මේසයට අප විසින් පිළියෙල කර ගන්නා ලද නාඹර කජු ඉතාමත්ම රසවත් වෑංජනයක් බව අප සියලු දෙනාම දන්නා කරුණකි. මෙම නාඹර කජු ශරීරයට ඉතාමත්ම ගුණදායකය. කජුවලින් ආමාශයේ රෝග, ගැස්ට්‍රයිටිස්, හෘද රෝග, දිරවීමේ අපහසුතා යන සියලු දේ මඟ හරින අතර ඉතාම ජීවී ගුණයෙන් යුත් මිහිරි ආහාරයක් බව කිව හැකිය. මෙම කජු දැන් දැන් අපට අහිමි වී ඇත්තේ මෙහි ගුණ දන්නා ලෝකයේ ඉන් රටවල් අපගේ කජු ඉතා විශාල මිලකට ඔවුන් විසින් ලබා ගන්නා නිසාවෙනි. එයට හේතුව මෙහි අඩංගු ජීවී ගුණය බව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත.
මෙම උත්සව සමයේදී අපගේ පැරණි සිරිත් විරිත්වලට අනුව එම ආහාර පිස ගැනීම, අනුභවය තුළින් අපට කිසිදු අතුරු ආබාධයක්, අතුරු ඵලයක් හෝ ශරීරයට අගුණයක් නැති බව කිව හැක.
දැන් අප විසින් නිර්මාණය කර ගන්නා ලද අලුත් ආහාර වර්ග අවුරුදු කෑම මේසයට එක්වීමෙන් ඉතාමත්ම නොගැළපෙන ප්‍රතිඵල ලැබෙන බැව් කිව හැක.
මුල් යුගයේ අතීතයේ අවුරුදු චාරිත්‍ර සකස් වී තිබුණේ යම්කිසි විද්‍යාත්මක පදනමක බව අපි විසින් ප්‍රකාශයට පත් කරමු. අද බොහෝ තැනෙකදී අප විසින්ම එය නැති කරගෙන ඇති නිසාම ආහාර ගැනීමේදී සිතෙන් ලතැවෙන තත්ත්වය ඇති කරගෙන ඇත්තේ අප විසින්මය.
ආහාර පාන අනුභවය පිළිබඳ ඔබට යම් ගැටලුවක් මතුවී නම් ඔබගේ රෝග තත්ත්වය අනුව ආහාර පාන ගත යුතු ක්‍රමවේදය පිළිබඳ යම් දැනගැනීමක් අවශ්‍ය නම් ඒ පිළිබඳ නොමිලේ තොරතුරු දැනගැනීමට 0719887572 යන අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.
වෛද්‍ය - ආනන්ද තිලකරත්න