මහලු නොවී තරුණ පෙනුම රැක ගැනීමට අකැමැති අය ලොව කොහෙත් නොමැති බව සැබෑවකි. මැදි විය ඉක්මවා යැමත් සමඟ මහලු විය පිළිබඳ ප්රශ්නය පැන නගින්නේ සිතට යම් කනස්සල්ලක් එක් කරමිනි. මැදි විය ඉක්මවන විට පමණක් නොව නව යෞවනයේ ද වයසට වඩා වැඩි පෙනුමකින් ජීවත්වන පිරිසක් නැතුවා නොවේ.
මෙවැනි ඇතැම් අවස්ථාවල කර්කශ ජීවිත ගෙවීම මේ සඳහා හේතුවිය හැකි අවස්ථා තිබේ. එයට හේතුව ගතේ සහ මනසේ විඩාව මුහුණින් පිළිබිඹු වීමයි.
එමෙන්ම ශරීරයේ හෝමෝන හා රසායනික සංයුතියේ අසමතුලිතතාවය නිසා වයසට වැඩි පෙනුමක් දිස්වීමේ හැකියාව තිබේ. ශරීර අභ්‍යන්තරයේ ආබාධ නිසාත් ඒවා දීර්ඝ කාලීනව පැවැතීමත් එම රෝග නොසලකා හැරීම නිසාත් වයසට වැඩි පෙනුමක් පිළිබිඹුවීමේ හැකියාව තිබේ. කරුණු කාරණා එලෙසින් වීම නිසාවෙන් වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් දිස්වේ නම් ඒ සඳහා බලපාන හේතුව කුමක්දැයි පළමුව සොයාගත යුතුවේ.
යම් මානසික පීඩාවක් නම් බාහිර ප්‍රතිකාර ඖෂධීය ලබා දුන්නද මුහුකුරා ගිය පෙනුම වෙනස්කර ගැනීමට, පළමුව මානසික සුවය ලබාගත යුතුය. එනිසා පළමුව මානසික තුලිතතාව රැක ගැනීමට පිළියම් අවශ්‍ය වන්නේය.
මෙවැනි අවස්ථාවන් කාන්තාවන් අතර බහුල අතර පවුල් ජීවිතය තුළ ප්‍රශ්න, ස්වාමියාගේ බලපෑම් වැනි තත්ත්වයන් ඒ සඳහා හේතුවිය හැකිය. කාන්තාවන්, දුක සිත ඇතුළේ රඳවා ගැනීම මගින් එය පිටතට නොපෙන්වා හිත ඇතුළේ රඳවා ගැනීම මගින් එය පෙන්නුම් කරන්නේ මුහුණේ ඉරියව් සහ මාංශ පේශී තුළිනි. මෙහිදී මෙවැනි කාන්තාවක් නම් පළමුව පීඩාව දුරුකර ගත යුතුය.
එතැනදී මානසික උපදේශනයක් සඳහා යොමුවීම වඩාත් වැගත්ය. ඒ තුළින් විශාදය වැනි තත්ත්වවලට පත්වී නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. බාහිර රූපයට අවධානය යොමු විය යුතු වන්නේ ඉන් අනතුරුවය.
හෝමෝන සහ රසායනික සංයුතියේ අසමතුලිතතාව නිසා වයසට වඩා මුහුකුරා යන තත්ත්වයක් තිබේ නම් ඒ සඳහා රුධිර පරීක්ෂාවක් කර රසායනික සංයුතියේ තුලිතතාව බලාගත යුතුය. එහි යම් අසමතුලිතතාවක් වේ නම් එය සමතුලිත කර ගැනීම තුළ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැක.
කාන්තාවන්ට ඔසප් නතරවීම (ආර්තව හරණය) නිසා හෝර්මෝනවල අඩුවීමක් සහ ක්‍රියාව අඩුවීමක් වන නිසාවෙන් මුහුණෙහි පෙනුමට එහි බලපෑම එක්වන්නේය. එවැනි අවස්ථාවල හෝර්මෝන තුලිතතාව ඇතිකර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව තිබේ.
යමකුගේ බාහිරයට පෙනෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තරයයි. අධික කාර්යබහුල කම නිසාවෙන් කාල කළමනාකරණයක් නිසි ලෙස කර ගැනීමට නොහැකි වීමේදී එය රූපයට බලපෑමක් එක් කරන්නට පුළුවන.
එනිසා එවැනි අවස්ථාවක් මතු නොවන ලෙසට කටයුතු කිරීම තුළ මුහුණට වෙහෙසකර මුහුකුරා ගිය පෙනුමක් එක්වීම මගහරවා ගත හැක.
මනස නිරවුල්ව තබා ගැනීමට ආගමික කටයුතුවල නිරත වීම, යම් විනෝදාංශයක නිරතවීම, විනෝද චාරිකාවකට හැකි විටකදී එක්වීම තුළින් මනසේ විඩාවට සහනයක් ලබා ගැනීමේ හැකියාව තිබේ.
තවද වයසට වඩා මහලු පෙනුමක් දිස්වීම සඳහා පෝෂණීය ආහාර නිසි පරිදි නොලැබීමත්, නියමිත ලෙස පිරිසිදු ජලය පානය නොකිරීමත් හේතු වනු ඇත. එනිසා සමබර ආහාරයක් පිළිබඳ අවධානය යොමුකළ යුතුය.
රූපය ගැන කතා කිරීමේදී සමට විශේෂ තැනක් ලැබේ. එනිසා සම හැකිතාක් හිරු එළියෙන් ආවරණයකර ගැනීමට වගබලා ගත යුතුය. එනම් හැකිතරම් හිරු එළියට සෘජුව නිරාවරණය වීමෙන් ඈත්වී සිටීමට උත්සාහ ගත යුතුය. කෘත්‍රිම පාන වර්ග වෙනුවට තැඹිලි වැනි ස්වභාවික පානයක් ලබාගැනීම සමට හිතකර බව අමතක නොකළ යුතුය.
කුමන තත්ත්වය යටතේ වුව වයසට වඩා මුහුකුරා ගිය තත්ත්වයක් ඇති වී නම් එම තත්ත්වය වළක්වා ගැනීමට අතුරු ආබාධවලින් තොරව එම තත්ත්වය මග හරවා ගැනීමට චීනකටු ප්‍රතිකාර ක්‍රමය තුළ හැකියාව තිබේ. ලෝකයේ බොහෝ තැනකදී බොහෝ රෝගාබාධ අවස්ථාවන් සඳහා භාවිත වන චීනකටු වෛද්‍ය ක්‍රමය වයසට වඩා මහලු පෙනුම මගහරවා ගැනීමට සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට ලොව බොහෝ රටවල් පිළිගෙන තිබේ. හේතු විමසා බලා රෝග විනිශ්චයකින් පසු චීන කටු ප්‍රතිකාරයට යොමුවී සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
වෛද්‍ය අමිලා කේ. ජයසිංහ