මීට පෙර පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච "සීනි මුරුක්කු" කෙටි කතා සංග්‍රහය රචනා කරපු ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගලගේගේ අලුත්ම පොත උන “මුද්දරස්පලං” දොරට වැඩුම සිද්ධ උනේ ඊයේ (21) දිනයේ.
ඒ කොළඹ සුදර්ශි ආයතනයේ නුග ගහ සෙවණේදී.
මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා කසුන් ඔහුගේ ලිවීම් වලට ආදරය කරන පාඨකයන්ට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විවෘත ආරාධනයකුත් සිදු කරලා තිබුණා.
ඉතින්, බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණ මේ “මුද්දරස්පලං” කෘතිය දොරට වැඩුම සන්ධ්‍යාව අපූර්ව එකක් බවට පත් උනා. ආරාධිත කථිකයන්ගේ රසවත් අදහස් දැක්වීම් වලින් වගේම සූර්යා දයාරුවන්, මාධවී වත්සලා ඇන්තනී, හර්ෂණ දිසානායකගේ ගීත ගායනයෙනුත් මේ අවස්ථාව වඩාත් වර්ණවත් උනා.
ඉතින් හැමෝගෙම ආදරය සතුට මැද ගතවුන මේ සන්ධ්‍යාව ගැන කතුවර කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් පළ කරළා තිබුණා.
පොත දොරට වැඩුම දිනයේම කෘතියේ පළමු මුද්‍රණය විකිණී අවසන් වීමේ සතුට ගැනත්, පාඨකයන්ගෙන් තමන්ට ලැබෙන ආදරය ගැනත් ඔහු සිය හැගීම් වචන කරළා තිබුණේ මේ විදිහටයි.
(උපුටා ගැනීම)
ගතවෙච්චි හැන්දෑව තමයි මයෙ ජීවිතේ සුන්දරම හැන්දෑව. ඒක අතිශය පැණිරස සන්ධ්‍යාවක්. දැන් වෙලාව පාන්දර හතරයි. මට මේ මොහොතෙ දැනෙන හැඟීම මොකද්ද දන්නවද , මේ ලෝකෙ ඉන්න ප්‍රීතිමත්ම මනුස්සයා මං කියලා. ඒකට හේතුව මචං මේං මේක.
මුද්දරස්පලං පොත නවකතා ඉතිහාසෙ අලුත් වාර්තාවක් සනිටුහන් කළා. දොරට වැඩුම දවසෙම මයෙ මුද්දරස්පලං 'පළමු මුද්‍රණය' විකිණී අවසන් වුණා මිත්‍රවරුනි. ලෝන්චෙක අතරවාරෙ ඒකට ආ මයෙ සුවහස් සහෘදයො පොත් තුන්සිය ගාණකට කිට්ටු වෙන්ට මිලදී ඇරන් තිබුණා. අනික් පොත් අද දවස ඇතුළත සකල දිග රසවතුන් එකපෙළට ඕඩර් එව එවා ඉල්ලලාම හිටියේලු. පොතක් එළිදැක්ම දවසෙදිම පළමු මුද්‍රණය සපුරා හමාර කොරනවා කියන්නෙ මැජිකල් වැඩක්. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මයෙ මොකක්හරි කවියක්, කතාවක් අනේ පත්තරේ පළ කොරගන්ට ආසාවෙන් මං නොගිය පත්තර කන්තෝරුවක් නෑ. එහෙම වරින්වරේ ගොහිං බෝමාසාවෙන් මං දීපු මයෙ එක කවියක්, ලිපියක් අනේ ආසාවට මොකේවත් පළවුණේ නැහැ. එහෙව් වේදනාබර අතීතෙකින් පැවත එන මට මේ අහිංසක ජයග්‍රහණයෙ බර මාරයි.
මයෙ අකුරු ලිවිල්ලට කොන්දේසි විරහිතව පෙම් බඳින නන්දෙස විසිරී සිටින ළයාදර පාඨකයිනි , අනේ මං ඔයාලට බෝමාදරෙයි. මේ වාර්තාවන් පිහිටුවන්නෙ මං නෙමෙයි ඔබ ! මං නොනවත්වා ලියන්නෙ මයෙ ලියැවිලි ඔබ විශ්වාස කරන හන්දා. ඒක මං සහසුද්දෙන්ම දන්න හන්දා. දූපතක ඉන්න චුට්ටි මිනිහෙක්ටත් 'මේ ලෝකෙ කොරන්ට බැරි දෙයක් නෑ' කියලා ඔබ මට ඒත්තු ගන්නන හන්දා. ඒකට බෝම පිං.
මුද්දරස්පලං දෙවන මුද්‍රණය සමඟින් හමුවෙමු !
| කසුන් මහේන්ද්‍ර හීනටිගල








සටහන - 'Kasun Mahendra Heenatigala" ෆේස්බුක් පිටුව ඇසුරිනි.
ඡායාරූප - 'Nirosha Jayawardena phorography' ඇසුරිනි











