lan englan tam

කාව්‍යක්කාර සිනමාව - "ආයු"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Ajana Ranagala-

බුදුන් වහන්සේ පරිනිර්වාණයට තුන් මසකට මත්තෙන් ආයු සංස්කාරය අත් හළ ආකාරය ඛුද්දක නිකායේ උදාන පාළියේ ආයුසංඛාරවොස්සජන සූත්‍රයේ හමුවෙයි.

එකල්හි චාපාල චෛත්‍යය අසලදී උන්වහන්සේ සහ ආනන්ද තෙරුන් අතරත් උන්වහන්සේ සහ මාරයා අතරත් ඇති වූ සංවාදය අවසන උන්වහන්සේ ආයු සංස්කාරය අත් හැරීමත් සමගම ඉතා බලවත්ව මහපොළොව කම්පා වූ බවත් එය ලොමුදහගන්වන, බියජනක එකක් බවත්, ඒ සමග ක්ෂණික වැහි පොදක්ද ඇතිවූ බවත් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කළ බවත් ඉතාම මනරම් කාව්‍යම ස්වරූපයකින් චිත්තරූප මැවෙන අයුරින් එතැන්හි කියැවෙයි.

මේ මොහොත මා අනේක වාරයක් සිනමාවක් සේ මනසින් දකිමින් මරණය පිළිබඳ මගේ කල්පනාව පුළුල් කර ගැනීමට යොදා ගත්තකි.

මෙලෙස දැනුවත්ව ආයු සංස්කාරය අත හැරීමට භාග්‍යවතුන් වහන්සේට හිමි වූ භාග්‍යය අප වැනි පෘථග්ජනයින්ට හිමි නොවෙයි. මියෙන මොහොත තීරණය කිරීමට තබා මියෙන මොහොතේදී ළබැඳියන්ගෙන් සමුගැනීමටවත් අපට භාග්‍යයක් නොවෙයි. මාරයා අප සමග සංවාද කරමින් අප මිය යා යුතු බවට කරුණු නොකියයි. අප මිය ගියද, මහ පොළොව තබා ඊ මත ඇති තිරුවාණ ගල් කැටයක් හෝ කම්පා නොවෙයි.

එබැවින් පෘථග්ජන අප විසින් කළ යුත්තේ කුමක්ද?

නුවණක්කාර පෘථග්ජන අප විසින් නිරන්තරයෙන් මරණය පිළිබඳ තමා තුළ මනා අවබෝධයක් ගොඩ නගාගෙන සමාහිත සිත් ඇතිව ජීවත් විය යුතුයි.

මරණය පිළිබඳ සාවධාන වීමට ආගම, සාහිත්‍යය සහ කලාව ඔස්සේ අනේක අවස්ථා අපට උදා වෙයි.

බොහෝ නිර්මාණකරුවන් මරණය කේන්ද්‍ර කොටගෙන ජීවිතය වියමන් කරනු අප දැක ඇත.

 

චත්‍ර වීරමන්ගේ “ආයු” එවැනි වියමනකි. එවැනි වියමන් අතර අග්‍රගන්‍යය සිනමා වියමනකි.

 

 

“ආයු” මට කවියකි. එහි ඇත්තේ කාව්‍යක්කාර සිනමාවයි.

කවියක් ඔබ ලිහා ගන්නේ ඔබේ නැණ පමණින්ය. ඔබේ සංවේදනා මාපකය සසල වන තරමින්ය.

කවියා අකුරු අමුණා ඇත. වදන් පෙළ ගස්වා ඇත. පෙළට පහළින් යටි අරුත් සඟවා ඇත. කවිය සිතුවමක් සේ වර්ණ ගන්වා ඇත. සිතුවමෙහි තියුණු රේඛා සේම බොඳවූ පදාසද ඇත. රේඛා රවුම් කොට, බොඳ පදාස මත අලුතින් වර්ණ ඉලීමට කවියා අපට නිදහස දී ඇත.

චත්‍රගේ සිනමා කාව්‍යය “ආයු”ද එලෙසමය.

 

 

මම එය පාරප්‍රාප්ත සිනමා පටයක් සේ තුරුලු කර ගත්තෙමි. කතාවද, දෙබස්ද, තිර රචනයද, නළු නිළියන්ද, රඟපෑම්ද, කැමරාවද, අධ්‍යක්ෂණයද, නිශ්පාදනයද, සංස්කරණයද, අංගරචනයද, පසුතලද, සංගීතයද, ගායනයද මෙකී නොකී සකලාංගයන්ගෙන්ම නිර්මාණයට උපරිම සාධාරණය සිදු වී ඇති බව නිරික්සුවෙමි.

“ආයු” ඉඳ හිට මුණ ගැසෙන කාව්‍යමය සිනමාවක අග්‍ර ඵලයකි. එනිසාම මග නොහැර නැරඹිය යුතු සිනමා පටයකි.

ආයු

විඳීම පිණිසය.

විඳීමේ අග නිවීම පිණිසය.

නිවුනු තැනැත්තෝ තමා තුළ හටගෙන ඇති අයෝමය සන්නාහකයක් ගලවා විසිකර දමන පරිද්දෙන් ආයු සංස්කාරය අත් හරිති.

ඊළඟ මොහොතේ මරණය විය හැකි යයි සිතා අප්‍රමාදව මේ මොහොතේම එසේ කරති.

සබැඳි ලිපි - "ආයු" ට මල් මිටක් සහ ගල් දෙකක් 

 

461132759 2670900546423530 5770209782117237467 nසටහන - (නීතීඥ) අජානා රණගල 

(මෙම සටහන 'Ajana Ranagala' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom