දුෂේනි මියුරංගි ලංකාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
මේ දින වල විකාශය වන "ජහුටා" ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කරන ‘සමාධි' ගේ චරිතයටත් ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වන්නේ ඉහළ ප්‍රතිචාරයක්.
ඉතින් දුෂේනිට ලැබෙන මේ ප්‍රේක්ෂක ආදරය අතරේ දුෂේනිගේ රංගන ජීවිතය සුබ පැතුම් එක් එක් කරලා තිබුණේ ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්.
ඔහු නමින් දේශමාන්‍ය, ආචාර්ය උපුල් ජයසිංහයි.
‘ඉතිං ඊට පස්සේ’, ‘බොඳ මීදුම්’, ‘ආදරණීය චංචලා’, ‘සිහින පියාපත්’.. වැනි මෙගා ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කළ ඔහු, එදා කැසට් ක්ෂේත‍්‍රයේද විප්ලවීය වෙනසක් ඇති කළ චරිතයක්.
මේ සටහනට අනුව දුෂේනි මියුරංගිව මීට වසර 12 කට පමණ පෙර කලා ලෝකයට හඳුන්වා දෙන්න කටයුතු කරලා තිබෙන්නේ උපුල් ජයසිංහයි.
ඒ අපුර්ව අතීත මතකයන් ද සමගින් උපුල් ජයසිංහ එක් කර තිබූ සටහනයි මතු දැක්වෙන්නේ.
(උපුටා ගැනීම)
"දුෂේනි මියුරංගි.
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන " ජහුටා " ටෙලි නාට්‍යය මමත් සන්ධ්‍යාත් නොවරදවාම නරඹන්නෙමු .
ඇත්ත වශයෙන්ම "ජහුටා" යනුවෙන් හැඳින්වෙන අපේ පාරම්පරික ජන නාට්‍ය කලාවක් ගැන මා දැනගත්තේද මේ නාට්‍යය නැරඹීමෙන් පසුවය.
ජහුටා සම්ප්‍රදාය පිලිබඳව මේ නාට්‍යය හරහා රටම දැනුවත්කල එහි රචක හිතවත් සද්ධාමංගල සූරියබංඩාර සොහොයුරාටත්, අධ්‍යක්ෂක හිතවත් සිවගුරුනාදන්ටත් ස්තූතියි ...
ජහුටාහි ප්‍රධාන කාන්තා චරිතයට පන පොවන දුෂේනිගේ අනගි රඟපෑම් දැක ඉමහත් සතුටක් ලබන්නෙමි ...
ජහුටා නරඹන නරඹන වාරයක් පාසා , මට මතක විදියට මීට වසර 12 කට පමන පෙර දුෂේනි කලා ක්ෂේත්‍රයට මුලින්ම හඳුන්වා දුන් ආකාරය මතකයට නැගෙන්නේය ..
හිතවත් සුජීව ප්‍රසන්නආරච්චි සොහොයුරාගේ නවකතාවක් ඇසුරෙන් මා නිෂ්පාදනය කල , සිරස රූපවාහිනියෙන් විකාශනය වූ, " ආදරය ගින්දරක් " ටෙලි නාට්‍යය ඇගේ ප්‍රථමම කලා අත්දැකීම විය.
ඇය කලා ලෝකයට හඳුන්වා දුන්නේ මමයි .
ඉන් අනතුරුව ඇය "Miss Sri Lanka" ලෙසින් අභිෂේක ලැබුවාය .
චිත්‍රපට රාශියකම රඟපෑවාය .
" වසරේ ජනප්‍රියම නිලිය" සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබුවාය .
වාසගම් සහිත දිගු නමකට හිමිකම් කියූ ඇයව "දුෂේනි මියුරංගී " යනුවෙන් රටට හඳුන්වා දෙමු යැයි ඇගේ දෙමව්පියන්ට මම යෝජනා කලෙමි.
ඇයට කලා ලොවේ අති සාර්ථක සම්මානනීය දිගු ගමනකට ආසිරි...
(මේ සමගින් ඇය එදා මුලින්ම මා සමගින් ගිවිසුම් අත්සන් කල චායාරූප කිහිපයක්ද ඇත).
..........................................................................
ජහුටා නරඹද්දී....
කලාලැදි දුප්පත් පිරිස් විසින් අනන්ත කරදර මැද නොනැසී , අන්ත අමාරුවෙන් පවත්වාගෙන එනු ලබන මෙවන්වූ පාරම්පරික කලා අංගයන්ගේ දියුණුව සහ ඒවාට සම්බන්ධ අයගේ ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කල හැකි හා කලයුතුම වූ වැඩ පිලිවෙලක් අනාගතයේදී දියත් කරන්නට අධිෂ්ඨාන කර ගතිමි ...
(උපුටා ගැනීම අවසන්)
මෙම සටහන 'Upul Jayasinghe' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)














