‘විසාරනායි’ පසුගිය දිනවල කතාබහට ලක්වුණු දකුණු ඉන්දියානු සිනමාපටයක්. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් සිනමාපටය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය සඳහාද මේ වසරේ ඉන්දියාව ඉදිරිපත් කර ඇත්තේ මෙම චිත්‍රපටයයි.
එක් රැයක පොලිසියට කුදලාගෙන එනු ලබන තරුණයින් සිව්දෙනෙකු අමානුෂික ලෙස වදහිංසාවට ලක් කරන ආකාරයයි චිත්‍රපටයේ මුල් භාගයෙන් ඉදිරිපත් වන්නේ. ඔවුන් කිසිසේත් සම්බන්ධයක් නැති අපරාධයක් පිලිබද වරද පිලිගන්නා ලෙස බලකරමිනුයි මේ තරුණයින් හිංසනයට ලක් කරන්නේ.
සැබෑ අපරාධකරුවන් කව්දැයි පොලිසියට අල්ලාගත නොහැකි වන අතර එය පොලිස් නිලධාරීන්ගේ පැවැත්ම සහ උසස්වීම් ආදියටද බලපාන ගැටළුවක්.. ඒ නිසා තරුණයින් සිව්දෙනාට පැවරෙන්නේ වරද පිලිගැනීම මගින් නිලධාරීන්ගේ රැකියා සහ උසස්වීම් ආරක්ෂා කර දීමේ ‘වගකීමයි’.
මේ අතරතුර එම ප්‍රාන්තයේ මැතිවරණය සදහාත් කටයුතු සූදානම් වෙමිනුයි තියෙන්නෙ. චිත්‍රපටයේ ඉහත කී පළමු භාගයෙන් පසු ඉදිරිපත් වෙන්නෙ මෙම මැතිවරණයට ඉදිරිපත්වෙන දේශපාලනඥයින් සහ පොලිසිය අතර ඇති වන ගණුදෙනු වාගයක් මැද්දට, කිසිදු හේතුවක් නැතිව පොලිසියට කදලාගෙන ආ මේ අහිංසක තරුණයින් සිව් දෙනාද මැදිවන ආකාරය සහ ඔවුන් සිහිනෙන්වත් නොසිතූ විදියේ බිහිසුණු ඉරණමක් වෙත ගසාගෙන යන ආකාරයයි.
සාමාන්‍ය පිලිගැනීම තුළ පොලිසිය සැලකෙන්නෙ සමාජයේ සහ වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරදෙන ආයතනයක් ලෙස වුවත් ‘විසාරනායි’ මේ දෘශ්‍යමානයෙන් අනික් පැත්තේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයන් වෙත ප්‍රේක්ෂකයා කැදවාගෙන යන නිර්මාණයක්. නමුත් එය ඉදිරිපත් වන්නේ පොලිසිය පිලිබද ප්‍රශ්ණයක් ලෙස පමණක් නොවෙයි. මේ ක්‍රමය තුළ පැවැත්ම තහවුරු කරගැනීම සදහා විවිධ පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නිරත වන්නට සිදුව ඇති ක්‍රියාකාරකම් පිලිබද ඛේදවාචකයක්ද වශයෙනුයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන මුතුවේල් අවසානයේ මුහුණ දෙන තත්ත්වය මෙම ඛේදවාචකය අපූරු ලෙස නිරූපනය කරන්නක්.
සියල්ල නිම වූ පසු පොලිසිය මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් කියන්නට යන කතාව සහ සත්‍ය වශයෙන් සිදු වූ සිදුවීම් දාමය අතර වෙනස තවත් අපූරු මානයක් ප්‍රේක්ෂකයා ඉදිරියේ නිරාවරණය කරන්නේ කිසියම් හාස්‍යයක් මෙන්ම තිගැස්මක්ද ජනිත කරමිනුයි.
බැරැරුම් සමාජ කාරණාවක් නිරූපනය කරන අතරම වේගවත් ක්‍රියාදාම චිත්‍රපටයක් හැටියටත් ඕනෑම මට්ටමක කෙනෙකුට ‘විසාරනායි’ රස විඳින්න පුලූවන්. ඒ මගින් පුලූල් ප්‍රේක්ෂක පිරිසකගේ රස වින්දනය සහ අවබෝධය වඩාත් මුවහත් කරගන්නට ඉඩකඩක් ‘විසාරනායි’ විසින් විවර කරනු ලබීමත් වැදගත් ලක්ෂණයක්.
දෙමළ සිනමාවේ නව පරපුරේ අධ්‍යක්ෂවරයෙකු වන වේට්රිමාරන් අධ්‍යක්ෂණය කළ ‘විසාරනායි’ ට පදනම් වුණේ එම්. චන්ද්‍රකුමාර් නමැති කුලී රථ රියදුරෙක් සිය අත්දැකීමක් ඇසුරෙන් ලියපු නවකතාවක්.
නිහාල් පිරීස්