තිත්ත කහට’’ සහ ‘‘හිරු නැගෙනතුරු’’ ජනකරළිය නවතම නාට්‍ය දෙක නැවත
ජූලි 14 සහ 15 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී.
‘‘තිත්ත කහට’’වේදිකා නාට්‍ය නවීකරණය කළ වගයි - වර්ණ පෝස්ටර තබා කලූ-සුදු පෝස්ටරද නොවුනි. ප්‍රසිද්ධ දැන්වීම්ද නොවුනි.තිබූයේ විද්‍යුත් තැපෑලෙන් කෙරුණු කැඳවීම් සහ පෞද්ගලික ආරාධනා පමණි.එනමුත් නාට්‍යය නැරඹීමට, ශාලාවක උඩු මහළ හා යටි මහළ කිටි කිටියේ තද වෙන්නට නාට්‍ය ලෝලීහු පිරී සිටිහය. ඒ පසුගිය මැයි 10 වන දින බොරැල්ලේ පුංචි තියටරයෙහිය. ‘‘ජනකරළිය’’ බහු වාර්ගික තරුණ නාට්‍ය කණ්ඩායම නිෂ්පාදනයකර වේදිකාගත කළ ඔවුන්ගේ නවතම නාට්‍ය ද්විත්වයෙන් පළමුවැන්න වූ ‘‘තිත්ත කහට’’ එදින වේදිකාගත කෙරුණි.
මෙය කිහිප අතකින් අතිශය වැදගත් සුන්දර නාට්‍යයකි. පළමුව එය පිටපතක් නොලියා ජනකරළිය කණ්ඩායමේ සාකච්ඡා මගින් නිෂ්පාදනය කෙරුවකි. දෙවැන්න, මේ නාට්‍ය ද්විත්වය තේමාගත කෙරුණු ‘‘මතකයෙන් එහා නොතකා හළ යතාර්ථය වෙත’’ අපව කැඳවා ගෙන ගිය නාට්‍යයකි. සුද්දන් අපට නිදහස ලබා දී ගිය පසුවද අවුරුදු 70 ක් අප බලන්නට උනන්දු නොවුනු කටුක යතාර්ථයක් එහි කියැවීම විය. දෙවැන්න, මෙය මා දන්නා තරමින් මේ රටේ නාට්‍ය ඉතිහාසයේ මේ රටේ ජනතාවකගේ ඉතිහාස කතාවක් සැබෑ සිදුවීම් සමගින් වේදිකාවට ගෙනෙනු ලැබූ පළමු අවස්ථාවය විය. එවගේම මෙය වැවිලිකරයේ සූරාකෑමේ ඉතිහාසයවේදිකාවට ගෙනා පළමු නාට්‍යද වන්නේය. ඊටත් අමතරව, මෙය වර්තමානයේ සැබෑ දේශපාලන චරිත සැබෑ ලෙසින්ම වේදිකාවට ගෙනා පළමු අවස්ථාවය.
නාට්‍යයේ නම ‘‘තිත්ත කහට’’ වූවත් මෙය ඇත්තෙන්ම ‘‘ලංකා තේ’’ වලට එහා යන අතිශය අමානුෂික ඉතිහාසයක සැබෑ කතාවකි. එය සුද්දන් දකුණු ඉන්දීය ශ්‍රමය 1827 දී පමණ සිට ලංකාවට රැගෙන ආ දින සිට අද දක්වා අවුරුදු 190 ක පමණ වැවිලිකරයේ ජනතාවගේ කටුක යතාර්ථය පිළිබඳ කතාවය. මේ වනවිට, එය ඔවුන්ගේ පමණක් නොව අපගේද අවම පරම්පරා 10 ක කතාවකි. එබැවින් ඔවුන්ගේ මුතුන් මිත්තන් ලංකාවට ගාල් කෙරුණු ඉතිහාස කතාව වර්තමාන පරම්පරාවන්ට අමතක වූවකි. ‘‘තිත්ත කහට’’ ආරම්භ කෙරෙන්නේ ඒ අමතක වූ කතාව මතක් කරමිනි. විශාල ආදායම් පිළිබඳ සිහින මවා පාමින් දකුණු ඉන්දීය දිළින්දන් තොග පිටින් ගෙන ඒමේදී මහ මුහුදේ ගිලී ගිය බෝට්ටු, දිවි බේරාගෙන පැමිණියවුන් මුහුණ දුන් වද වේදනා, වසංගත රෝග, ආහාර අහේනි, කොන්තරාත්කරුවන්ගේ අඩන් තේට්ටම්, මන්නාරම් වෙරළේ සිට මාතලේ දක්වා වූ දීර්ග අසීරු පා ගමනේදී මුහුණ දුන් වන සතුන්ගේ උවදුරු, පවුල් බිඳ වැටීම්, අනාථවීම් හා මිය යෑම් ඉතා ප්රබලරංගනයන් හා දෙබස් සමග වේදිකාවේ දිග හැරෙන්නේ අතිශය වේදනාකාරී කම්පනයක් පේ්රක්ෂකාගාරයේ දිගින් දිගටම රඳවමිනි.
ඒ වෙනුවෙන් ජනකරළිය කණ්ඩායම ඔවුන් මීට පෙර ඔවුන්ගේ නිෂ්නාදනයක් වූ ‘‘වටෝළුවෝ සහ උලෝළුවෝ’’ නාට්‍යයේදී අත්හදා බැලූ ආකාරයටපසුතල නිර්මාණ වෙනුවට ‘‘අඟුරු චිත්‍ර’’ (ක්‍ය්රජද්ක ාර්අසබටි) වැනි ‘කලූ-සුදු‘ චිත්‍ර යෝධ පසුබිම් තිරයේ විටින් විට විද්‍යුත් රාමු මගින් ප්‍රදර්ශනය කිරීම අලූත් එකතුවක් විය. අවුරුදු 190 ට පමණ පෙර ඉතිහාස සිදුවීම් එළෙස කලූ-සුදු චිත්‍ර ලෙස දැකීම පේ්රක්ෂකයාටද අලූත් අත්දැකීමක් විය.
එතැන් සිට ඉතිහාස කතාව දිග හැරෙන්නේ අප කවුරුත් හිස් තැන් සමග දළ වශයෙන් අසා ඇති වැවිලිකරයේ ශ්‍රම සූරා කෑම පිළිබඳ කතාව ඇත්ත සිදුවීම් ඔස්සේ ඉතා සංවේදී ලෙස වේදිකාව මත ලිහා තැබීමෙනි. අවුරුදු 190 ට පමණ පසු වත්මන් වැවිලිකරයේ ගැටළු හා ප්‍රශ්න ගැන කතා කරනවුන් පවා බොහෝවිට නොදන්නා සිදුවීම් ඔවුහු වේදිකාවට ගෙනෙති. පළමු දසක කිහිපයේ නැවත ඉන්දියාවට පිටත්කර හැරි සහ මෙහි යළි සේවයේ තබා ගත්තවුන් ඉතාම නින්දිත ලෙස තීන්දු කළ අයුරු වේදිකාවේ රඟ දැක්වෙන්නේ අද ඉන්නා වැවිලිකරයේ කම්කරු පරම්පරාව කෙතරම් අමානුෂික යුග පසු කළ පරම්පරාවන්හි දරුවන් දැයි කීමටය. අධ්‍යාපන අවස්ථා ගැන යම් පමණකට කතා වූවත් ඔවුන්ගේ සෞඛ්‍යය ගැන යන්තමින් හෝ කතා නොවන තරම්ය. ඒ සම්බන්ධයෙන් වතු රෝහලේ සිට ගිලන් රථ, වෛද්‍ය හා හෙද සේවය සමග ප්‍රධාන දිස්ති‍්‍රක් රෝහල දක්වා ගමන ඉතා හාස්‍යමය සිද්ධිදාම ඔස්සේ ඉදිරිපත් කිරීම, අතිශය නිර්මාණාත්මක පෙළ ගැස්මක් විය. මෙතෙක් සීගිරියේ මිස වැවිලිකරයේදී අසන්නට නොලැබුණු ‘‘බඹර ප්‍රහාර’’ රෝහල් ගමනට ඈඳාගැනීම, වැවිලිකරයේ ඇත්ත කතාව ඇති සැටියෙන් නොදත් අපට, අලූත් අත්දැකීමක් විය.
වැවිලිකර දේශපාලනයේ කිඳා බැස ඇති භාෂණය ගැන නිතර දෙවේලේ ඇසුණත් එය දකුණේ දේශපාලනයට අදාල නොවන්නක් ලෙස මාධ්‍යකරණයේ පවා අතහැර, අමතක කර දැමෙන්නකි. ‘‘තිත්ත කහට’’ එය කරළියට ගෙනෙන්නේ නැවත අමතක කිරීමට ඉඩ නොතබමින්ය. වැවිලිකරයේ දේශපාලනඥයින් එකම ආකාරයට ජනතාව දෙපිළ බෙදා තබා ගෙන බලයේ ඉන්නට කරන උප්පරවැට්ටි, අඩු වැඩි වශයෙන් දකුණේ දේශපාලනයේද වැඩෙන්නකි. එවගේම දකුණේ ආණ්ඩු හදන්නට හවුල්කර ගන්නේ මේ වැනි දේශපාලන කාක්කන් නොවේදැයි අප අපෙන් ඇසිය යුතු තැනට වැවලිකරයේ දූෂිත දේශපාලනය වේදිකාව මත හෙළි කෙරෙන්නේය.
මේ ඉහවහා ගිය දූෂිත දේශපාලනයේ නායක පොරය ඉතා කදිමට දිග හරින්නට යොදා ගන්නේද කදිම නිමිත්තකි. එය පරම්පරා 10 කින් පසුවද කිසිදු ප්‍රශ්නයක් සඳහා කිසිදු සාධාරණ විසඳුමක් නොලැබුණු, ජීවත්වන්නට තවමත් පොර බදන, ජීවිතය ගැට ගසා ගැනීමට උදේ හවස කඹුරන මහ පොළොවේ වැලි කැටයකට හෝ අයිතිය කිව නොහැකි ජනතාවක්, නමින් හැර වෙන කිසිම විදියකින් නොහඳුණන පරම්පරා 10 ට පෙර ආදි මුතුන් මිත්තන්ගේ උපන් බිම ගැන තබණ බලාපොරොත්තුව ඉන්දීය අගමැති මෝඩි ගේ පැමිණීම සමග ඉතා ප්රබලව වේදිකාවට ගෙනෙන්නකි. ඉන්දීය ආධාර මතින් කෝටි ගණන් මුදල් වැය කර තුට්ටුවක ප්‍රයෝජනයක් නොගන්නා දික්ඔය රෝහල ඉදිකිරීමෙන් පසු බිඳ වැටෙන ඔවුන්ගේ අපේක්ෂාවන්ද ඒ ආකාරයෙන්ම ගෙතුවකි.
තේ වත්තේ මේ ඛේදවාචකය ගැන කිසිදු තැකීමක් නැතිව නාගරික මැද පංතිකයින් තේ රස තොල ගාමින් ජීවිතය රස විඳින සැටි වේදිකාවට දෙවරකට ගෙනෙන අතර, ලාංකීය තේ විදේශයන්හිත් ජනපි‍්‍රය යැයි අප ආඩම්බර වන හැටි සැබෑ වෙළඳ ප්රචාරක දැන්වීම් යෝධ තිරයේ ප්‍රදර්ශනය කිරීමෙන් අප කෙතරම් අමනදැයි අසන්නේය. එවැනි ඛේදවාචක මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ සුන්දර සිහින බවට පත් කරමින් රටේ සංවර්ධනය වෙනුවෙන් තේ කර්මාන්තය යොදා ගැනීමේ සැළසුම් ගැන අගමැති වික්‍රමසිංහගේ කතා පටිගත කෙරුණු විඩියෝවක් මගින් ඉදිරිපත් කිරීමෙන් මේ අසරණවූ ජනතාව යළි යළිත් හෑල්ලූ කෙරෙන අයුරු මතුකර තබන්නේය.
එවැනි දීර්ග ඉතිහාස කතාවක් වේදිකාවට ගෙන ඒම පහසු හා සරළ අභ්‍යාසයක් නොවේ. එවැනි උත්සාහයක අත හැරුණු ඇතැම් කාරණා හසු වන්නේ පේ්රක්ෂකයාට විය යුතුය. ‘‘තිත්ත කහට’’ දිග හැරීමේදී ඔවුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සටන්කාමී ඉතිහාසයඅත හැරුණු වැදගත් ඉතිහාසයකි. හදිස්සියකදී කොත්තමල්ලි ඇටයක් සොයා ගැනීමට නොහැකි වූ වැවිලිකරයට ‘‘වතු රෝහල’’ පැමිණියේත්, ගල් ලෑල්ලක් නොදුටු දරුවනට ප්‍රාථමික වතු පාසල් ලැබුණේත් ඒ සටන්කාමී වෘත්තීය සමිති නිසාවෙනි. ඔවුන්ගේ දූෂිත පිරිහුණු වත්මන් වෘත්තීය සමිති නායකයින්ගේ කෛරාටික ගනුදෙනු නොතකා හාම්පුතුන් සමග දෙවසරකට වරක් සාමුහික ගිවිසුම් අත්සන් කෙරෙන්නේද පැරණි සටන්කාමී වෘත්තීය සමිති නිසාවෙනි.‘‘මූල්ඔය සටන’’ නමින් වෘත්තීය සමිති ඉතිහාසයේ සටහන් වන්නේ එවැනි සටන්කාමී වර්ජනයකි. එහිදී පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය කම්කරු නායකයෙකු වූ ගෝවින්දන් ගේ නම, 1945 දී ඇන්.ඇම් පෙරේරා බෝගම්බර හිරෙන් පැන ඉන්දියාවට ගිය විට භාවිත කළ නම විය.
එවගේම, පසුගිය දසක දෙකකට වැඩි කාලයක පටන් තරුණ තරුණියෝවත්තේ වැඩට ලියාපදිංචි නොවී ප්‍රධාන නගරවල රැකියා සොයා සංක්‍රමණය වෙති.ඇතැමෙක් මැද පෙරදිග ගෘහ සේවයටද යති. එවැනි ප්‍රවණතාවක් නොවුනා නම්, ඇතැම්විට ජනකරළියේ ඉතා දක්ෂ දෙමළ නළු නිළියන් කිහිප දෙන අපට හමුනොවන්නටද ඉඩ තිබිණ.මේ අලූත් තරුණ පරම්පරාව අපට ‘‘තිත්ත කහට’’ රස විඳීමේදී හමු නොවීම අඩුවක් යැයි සිතමි.
අවසන් වශයෙන් තැබිය යුතු සටහනට පෙර කිව යුත්තක් ඇත. මේ දිගු ඉතිහාස කතාව වේදිකාවේ රඟ දැක්වීමේදී ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ සියල්ලන්ට චරිත දෙක තුනක භූමිකා බාරවී තිබිණ. ඒවා එකිනෙකට හාත්පසින් වෙනස් චරිත වූයෙන් වහා චරිත මාරු කරමින් වේදිකාවක රඟපෑම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. ඒ අසීරු අභියෝගය ඔවුහු ඉතා දක්ෂ වෘත්තීය නළු කැලක් සේ ජය ගත්හ.
‘‘තිත්ත කහට’’ අවසන් වූයේ වේදිකා නාට්‍යයට නවීන තාක්ෂණයද එකතු කරගත් සාර්ථක අත්දැකීමක් ලෙස තහවුරු කරමින් පමණක්ම නොවේ. මෙතෙක් නාට්‍ය නිෂ්පාදනයේදී අත ගසා නොතිබූ අපේ දේශපාලන යතාර්ථය, එය හැඩ කළ ඉතිහාසය තුල කියැවීම නාට්‍යයම අත්දැකීම් කරමින්ය. ඒ වෙනුවෙන් පළමු වරට වර්තමාන දේශපාලනඥයින් අගමැති වික්‍රමසිංහ, තොන්ඩමාන්, දිගම්බරම් පමණක් නොව ඉන්දීය අගමැති මෝඩි පවා එළිපිට වේදිකාවට ගෙන ඒමේ අලූත් සම්ප්රදායක් හඳුන්වා දෙමින්ය. නාට්‍යකරුවන් අතින් මෙතැන් සිට දේශපාලනඥයින් විවෘත වේදිකාවේ අර්ථ ගැන්වීමට ඉඩ තබන ජනකරළියේ මේ නව උත්සාහය මට මතක් කෙරෙන්නේ සිනමාගාර වල කෘතිම පසුතල සමගින් නිෂ්පාදනය කෙරුණු සිංහල සිනමාව වෙනුවට ඇත්ත ගමේ ජීවිතය තිරයට ගෙන එන්නට ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1956 දී ‘‘රේඛාව’’ සමගින් තැබූ පෙරළිකාර පියවරය. ජනකරළිය කණ්ඩායමද ‘‘තිත්ත කහට’’ සමගින් දේශපාලන නාට්‍ය සම්ප්රදායක් වෙනුවෙන් එවැනි පෙරළියක් කළේ යැයි මම කියමි.
කුසල් පෙරේරා
2018 මැයි 13 වන දින
ලංකාදීපයේ පළ වූ විචාරයක්