ලාංකේය සිනමාවට වර්ණය ඒමට පෙර, කලුසුදු චිත්‍රපට වර්ණවත් කෙරූ අවස්ථා බොහෝ විය. "තුෂාරා" ද එවැන්නෙකි. 1973 මාර්තු 9 වෙනි දින තිරගත කිරීම ආරම්භ කළ එය, සුපුරුදු වට්ටෝරුවක් වනු ඇතැයි බොහෝ අය සිතීය. ඇත්තටම එය නිවැරදිය. එය සුපුරුදු වට්ටෝරුවමය.
පෙම්වතා, පෙම්වතිය, පෙම්වතාගේ යහලුවා විකටයා, දුෂ්ඨයා, අවසානයේදී දුෂ්ඨයා පෙම්වතියව පැහැරගෙන යෑම, පෙම්වතිය හැමදාම මතුරන මන්තරය වූ "අත ඇරපන් මාව, අත ඇරපන් මාව" කියමින් කෑ ගැසීම . දුෂ්ඨයා පෙම්වතියව ගල්තලාවකට ගොස් අතවර කරන්නට යෑම, පෙම්වතා හරියටම ඒ ගල්තලාව තිබෙන තැන දැනගැනීම, පෙම්වතියව අතවර කරන්නට මොහොතකට හෝ පෙර පෙම්වතා පැමිණීම, ඉන්පසු "අම්මා මෝ" කියා ගුටි බැට ඇන ගැනීම. දුෂ්ඨයාට තුවාල වීම, පෙම්වතාගේ හිසේ කෙස්වත් අවුල් නොවීම, නොඑසේ නම් අවම තරමේ සන්ග්ලාස් එකවත් නොවැටීම, පෙම්වතා ගෙන් හොදටම ගුටිකා දුෂ්ඨයා සහ ඔහුගේ සගයෝ තැන් තැන් වල වැටී සිටින විට, අවසානයේ පෙම්වතාගේ විකට මිතුරා, පොලිසිය රැගෙන එතැනට පැමිණ වැටී උන් අය පොලිසියට කුදලාගෙන යාම, පෙම්වතිය,පෙම්වතාගේ තුරුලට යාම, විකට මිතුරාටද ඔය කොහෙන් හරි කෑල්ලක් සෙට් වීම වැනි වට්ටෝරු ශෛලය අඩු ලුහුඩුවක් නැතිව, "තුෂාරා" තුලද තිබුනි.
නමුත් මෙම සුපුරුදුවූ වට්ටෝරුව තිබුනද "තුෂාරා"තුල ඊට වඩා වැඩි යමක් තිබුනි. ඒ ආකර්ශනයයි. එවන් ආකර්ශනයක් ඉන්පසුව ලාංකේය සිනමාව තුල තිබුනාදැයි සැක සහිතය. එලෙසම හින්දි තනු අමු අමුවේම කොපි කලද, "තුෂාරා"හී ගීත කීපය දැන් 45 වසරක් ගියද, අද ද එහී සුමධුරත්වය, ඒ අයුරින්ම විදිනු ඇත.
"තුෂාරා" හී ප්‍රධානතම ආකර්ශනය "සම්පත්"ය. ඇත්තටම සම්පත් නොව, සම්පත් ලෙස ජීවමානවු,ශිල්පියාය. හේ එකල නැවුම් තාරුණ්‍යයේ පසුවූ විජය කුමාරණතුංගඔහු තුෂාරා තුලට, ගෙන ආ හැඩතලය, පසුව ලාංකේය සිනමාව තුල "බ්‍රැන්ඩඩ්" විය. කෙළිලොල් බව, විසේකාරත්වය, ආදරණීය බව, කඩවසම් බව, තමන්ටම ආවේනික වූ ගමන, නැටුම, ගීතයකට දෙන හැගීම් චලනය, මේවා මින්පෙර ලාංකේය සිනමාව තුල තිබුනේ නැත.
"කලක් තිස්සේ, සිතක් පතුලේ,
පිපී රන්වන් මලක් තිබුනේ
තුෂාරා පත් වලින් වියැකි
කියා පෑවේ වියෝගයකි."
සම්පත්,තුෂාරා,කීර්ති,සෝනියා,විජේසිංහ වැනි චරිත පහ තුලින් යසපාලිත නානායක්කාර, කෙරු විශ්මයක් නොවීය. එහෙත් ඔහු සුපුරුදු වට්ටෝරුව තුල, එම චරිත වලට, නිදැල්ලේ හැසිරීමට ඉඩ දුනී. ඒ වෘත්තිමය දක්ෂතාවයෙන් හෙඹී නළු නිළියන්ව තෝරා ගෙනය. එකී චරිතවලට පිලිවලින් විජය කුමාරණතුංග ,මාලනී පොන්සේකා, ජෝ අබේවික්‍රම,සෝනියා දිසා,බැප්ටිස්ට් ප්‍රනාන්දු ට බාර දුනි. එලෙසම සංගීතය පී.එල් ඒ සෝමපාලටද, ගායනයට එච්.ආර්.ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක,හා සුජාතා අත්තනායකට භාර දුන් පසු තවත් කුමන කථාද? ඔවුන් යසපාලිතට ඔහේ ඉන්නට ඉඩදී, යසපාලිතගේ අකෘතිය මත, සිනාසුනෝය. හැඩුවෝය. ගී ගැයුවෝය. නැටුවෝය, බැන ගත්තෝය. ගහ ගත්තෝය. පී.එල්.ඒ සෝමපාල එවකට හින්දි චිත්‍රපටවල තිබූ සුන්දරතම ගීත කිපයක් තෝරා, එහි තනු වලට සිංහල පද යොදවා ජෝතිපාල,ඇන්ජලින්,සුජාතා ත්‍රීත්වයට භාරදුනී.
"මී දුම් ගලා කන්දේ
ඉවසන්න බෑ සීතේ
උනුසුම් දැනේ දෑතේ
ලංවී මට දැන් කියන්න ආදරේදෝ
මට ආආආආදරෙදෝ ඕඕඕ
යසපාලිත රසිකරසිකවියන්ව "කොර" කරේ මේ ගීතයෙනි.
සීතල කදුකර පෙදෙසක, සම්පත් හා කීර්ති තම මාමාගෙ නිවසට ජීප් රථයෙන් යන දර්ශනයකින් එය පටන් ගැනේ. විජය කුමාරණතුංග හා ජෝ අබේවික්‍රම පණ පොවන මෙම චරිත දෙක තුල චමත්කාරවන්නේ එක්වරම එය සම්පත්ගේ සිතුවිලි වලට හැරිම නිසාය. ඔහුට එකපාරම එතැනට තුෂාරා සිටියානම් හොද යැයි සිතෙන්නට ඇත. මෙන්න බොලේ තුෂාරා.....
"රන් රුවක් වාගේ,පෙම්බරා මාගේ
මේ නිසංසලේ,සිත් පහන් කලේ
ලා නිල්ලෙ,ඔන්චිල්ලෙ,නැලවිල්ලෙ
මා මත්වේ,මුසපත් වේ ,රසවත් වේ."
එතැන තිබූ සීත කදුකර වූ පරිසරය, එම පරිසරයටම ගැලපුනු ගීතය. ජොතිපාල,ඇන්ජලීන්ගේ ප්රේමණියවූ හඩ, අතරට ආ ලාංකේය සිනමාවේ එතෙක් මෙතෙක් පැමිණී,ආකර්ශනීයම කඩවසම් තාරුණ්‍යය විජය කුමාරණතුංග හා එකල ඔහුටම ගැලපුනු සුන්දරවූ රුවැත්තිය මාලනී ෆොන්සේකා ගේ අගර දගර රැගුමට තවමත් රසික රසිකාවියන් වශී වී ඇත.
එලෙසම "තුෂාරා" හිට් වීම පිටුපස කීර්ති හා සෝනියාද සිටියෝය. සම්පත් සහ කීර්ති, නුවර එළියට පැමිණ නවාතැන් ගත්තේ සම්පත්ගේ මාමාගේ නිවසේය. මාමා ට සිටියේ එකම දරුවෙකි.ඒ සෝනියාය. ඒවා නිකං යසපාලිතලා "සෙට්" කෙරුවා වගේය. දැන් සෝනියා මුලු වෙර වීරියම යොදන්නේ සම්පත්ගේ ඇගේ එල්ලීමටය. සම්පත්ගේ මාමාද ඒකට ෆුල් සපෝට්ය.
"හොයි හොයි හොයි,
රන් තරුසේ, පුන්සදසේ මා බැබලේ සුදෝ"
මේ සෝනියා, සම්පත්ව අල්ලා ගැන්මට දරන උප්පරවැට්ටිය. කොහොම කොහොම හරි ඔය, "හොයි හොයි හොයි" කියන කෑල්ල ටක්කෙටම සෙට් වුනේ කීර්තිටය , නොහොත් ජෝටය. ඉන්පසු සෝනියාව දකින දකින වෙලාවේදී කීර්තිගෙ කටේම තිබුනේ "හොයි හොයි හොයි" යන කෑල්ලය.
යසපාලිත තම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර රදවා ගන්නට පාවිච්චි කල "ජිමික්ස්" අතර ප්‍රධානතම සාධක වූයේ "කොමඩි"කෑලි, හා ගීතය. ජෝ අබේවික්‍රම "කොමඩි"කෑලි ටික නම් විශිෂ්ඨ ලෙස කල අතර, ඒවා මේ දෙකයි පනහේ විහිලු නම් නොව.
චිත්‍රපටයේ එක් තැනක සම්පත් හා කීර්ති ,සෝනියා ගේ ගෙදර කාමරයක නවතියි. ඒ ඔවුන් දෙදෙනා, එහී නවතින මුල්ම දිනයේය. සම්පත් විසින් බඩ සුද්ද කිරීමට ගන්නා පෙති වර්ගයක් කීර්තිගේ අතට අසුවෙයි. කීර්ති ඒවා ගැන විමසූ විට සම්පත් කියන්නේ, ඒ චොක්ලට් වර්ගයක් කියාය. කීර්ති එය චොක්ලට් වර්ගයක් නිසා ඒවා රස කර කර කයි. ඉන් පසුය කීර්තිට ඒ චොක්ලට් වල නියම ප්‍රතිපල ලැබෙනුයේ. කීර්ති වැසිකිලියට දුවන දුවන වාරයක් පාසාම, උඩ පැන පැන සිනාසෙන්නේ සම්පත් පමනක් නොව, මුලු ප්‍රේක්ෂකයාමය.
විශ්ව විද්‍යාලයේ සිසුවියක් ලෙස සම්පත්ට හමුවුනු තුෂාරා නැවත ඔහුට මුණ ගැසෙන්නේ, නුවර එළියේ මාමා ගේ නිවසට ආ ගමනේදීය. යසපාලිත මේ චරිත සම්බන්ධ කරන ආකාරය නම් මාරය. ඒ තුෂාරත්,සෝනියත් යෙහෙළියන් ලෙස පෙන්වමිනි. ගිණිකෙළි සංදර්ශනයේ වස්තුබීජය පටන් ගන්නෙ එතනදීය. සෝනියා සම්පත්ට 'ලව්ය". එය තුෂාරා නොදනී. සම්පත් තුෂාරාට ලව්ය. තුෂාරා සම්පත්ට ලව්ය. මේක "ලව්" ලෝකයක්ය.
"කව්දෝ මෙ ආවෙ කොයිවින්දෝ
මෙ කරුණ අහන්න පුලුවන්දෝ"
"මා හද ඔබෙයි දයාවී, ආදරේ නෙතු කියාවී-ජීවිතේ පෙම් සමීරේ
මකරන්ද රේණු දහරේ
පන හා සමාන ලලනා"
මේ සම්පත්, තුෂාරා, හා සෝනියාව මැදී කර තිදෙනාම ගැයු ගීතයක්ය. අම්මෝ බලන්න එපායෑ, මාලනීගෙයි, සෝනියාගෙයි ලස්සන. පිදුරුතලාගල කන්ද වගේ කොන්ඩ මෝස්තර දාගෙන, උසට උසේ සපත්තු දාගෙන,විජය එක්ක ඇඹරි ඇඹරි නටන රගේ. ඉතිං අප්පා මේ තුන්දෙනාගෙ ඇඹරිල්ලට "තුෂාරා" හිට් නොවී තියෙයිද?
චිත්‍රපටය "හිලේරියස්" වුනේ කීර්ති, සෝනියාට දාන "ට්‍රයි" එකටය. අනිත් පැත්තෙන් මාර 'රොමැන්ටික්ය" ඒ සම්පත්ගෙත් තුෂාරගේත් "ලව්"එක නිසාය.
"ජීවනයේ මීවනයේ (හහ් හා)
පෙම් රස පල ලැබ දේ නිබදේ
ඇසේවී සුරල් ගීතිකා මමයි රූපිකා
රග දෙන ආදර මන්ඩපයේ"
ඒ තුෂාරයි සම්පතුයි "ආතල්" එකට කියන සිංදුය.
ඔය අතරෙ දෙන්න ඔරොප්පුත් වෙයි. ඒ සම්පත් තුෂාරගේ උපන් දින සාදයට ඒමට පරක්කු වූ නිසාය. එහෙම ඔරොප්පු වුනාම, සිංදුවක් කියා ෂේප් කර ගත හැකිය. විජයම සිංදුව කිව්වට ෂේප් වෙන්න බැරිය. ඒක ජෝතිපාලම කිව යුතුය. එතකොට මාලනි විතරක් නොවේ, මුලු ප්‍රේක්ෂකාගාරයම ෂේප් කර ගත හැක.
"එපා වුනොත් හෙට ඕනැ වේවි
නාවත් ඔයාට තරහ හිතේවි
ආඩම්බර වී තැවෙන්නෙ ඇයි
අඩා නොරොක්වී සිටින්නෙ ඇයි
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි, හිතා මතා මේ කියන්නෙ මං
හෝ හෝ තුෂාරා හෝ හෝ තුෂාරා"
ඒ අතරෙ විජේසිංහ ගේ දුෂ්ඨ කම් වලිනුත් ඉවරයක් නැත. විජේසිංහ තුෂාරා ගැන බලාපොරොත්තු තබාගෙන ඇත. ඔහු ක්ලබ් කාරයෙකි. සියලු දූෂිත කම් ඇත්තෙ ඔහු ලගය. ඒ සිංහල චිත්‍රපට වල හැටිය. අනේ ඒකාලේ ඕවට බැප්ටිස්ට්ලම හිටිය නිසා හොදට ගියේය. මොකක් හෝ ආරවුලකදී, තුෂාරාගේ පියා සම්පත්ගෙ හා තුෂාරාගේ සම්බන්ධයට අකමැති වී, ඇයව ක්ලබ් කාරයා වූ විජේසිංහට විවාහ කර දීමට යයි. දැං සම්පත්ටත්, කීර්තිටත් උවමනා විජේසිංහ ස්ත්රිලෝලයෙක් කියා තුෂාරගෙ පියාට ඔප්පු කිරීමටය. එයට කීර්ති ගැහැනු වෙස් ගත්තේය. කොහොමද ජෝ අබේවික්‍රමට කොට ගවුමක් අන්දවල, බොරු කොන්ඩයක් දාලා, ලිප්ස්ටික් ගාලා ගත්තාම. "හොයි හොයි"
යසපාලිත "තුෂාරා" චිත්‍රපටය සිනා සාගරයක් කලේ මේ අයුරිනි. ඉන් පසු හැම චිත්‍රපටයකටම එය "බ්‍රැන්ඩඩ්" වූයේ යසපාලිතගෙ සිනා සාගරය ලෙසය.
කීර්ති ගැහැනු වෙස් ගෙන විජේසිංහව වසගයට ගත්තේය. විජේසිංහ ගැහැනු වෙස් ගත් කීර්තිව,කාමරයකට ගෙන ගොස්, චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලේබලය ගසන්නට ඔන්න මෙන්න තිබියෙදී, සම්පත්ල පැමිණ ඒවා ඡායාරූප ගත කොට තුෂාරාගේ පියාට පෙන්වා විජේසිංහ ස්ත්‍රී ලෝලයෙක් කියා ඔප්පු කර ඒ මගුල කඩා දැම්මේය. එයට මල පැන්න විජේසිංහ, තුෂාරාව කැලෑවකට කුදලාගෙන ගියේය. තුෂාරාද 'අත ඇරපන් මාව, අත ඇරපන් මාව" කියමින්, විජේසිංහ පසුපසම ගියාය. ඉන්පසු සම්පත් පැමිණ වටේ ඉන්න හැටහුටාමාරටම ගසා නොකවුට් කලේය. සියල්ලම ඉවර වුනාට පසු, පොලිසිය කීර්ති සමග පැමින විජේසිංහ ඇතුලු ඔහුගේ සගයන් බල්ලන් බළලුන් මෙන් පොලිස් ජීප් රථයට ඇද දැම්මෝය. සම්පත් වීරයා විය. අන්තිම ජවනිකාවේ සම්පත් හා තුෂාරගෙ විවාහා මංගල්ලයය. ඔවුන් "හනිමුන්" බලා පිටත් විය. සෝනියාද විවාහ මංගල්ලයට පැමිණ සිටියාය. කීර්ති ඇයට ඇසක් ගසා "හොයි හොයි" කීවේය. ඇයද කීර්ති දෙස ආලවන්ත බැල්මක් හෙලුවාය. චිත්‍රපයය නිමීය. ප්රේක්ෂකයෝද ගෙදර ගියෝය. ඒ යන අතර ඔවුන්ගෙන් කව්රු හෝ ඇසුවොත් "තුෂාරා චිත්‍රපටය කොහොමද කියා, ඔවුන් දුන් පිලිතුර වූයේ
"හොයි හොයි"කියාය.
-ශෝන් මැක්ස්මස් දිසානායක-