රාජපක්ෂ බලාධිකාරය පැවැති සමයේ ජාතික ජනප්‍රිය සිනමා ධාරාව වූයේ ‘යුධ වින්දන සිනමාව’ ලෙස අප විසින් වර නැගූ චිත්‍රපටි පෙරහැරයි.
එකී ඊනියා සිනමා කෘති බහුතරය ආකෘතිගත කර තිබුණේ පසුගිය දශකය තුළ යළි කතිකාගත කළ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදය විසිනි. එක් පසෙක අතීත සිංහල අත්තනෝමතික රාජාණ්ඩුව උත්කර්ෂණය කිරීමත් අනෙක් පසින් උතුරු නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව දියත් කළ සිංහල බෞද්ධ යුධ මර්ධනය සුජාත කිරීමත් එකම කාසියේ දෙපැත්ත ලෙස නිරූපණය වීම මෙම සිනමා කෘති හරහා සිදුකෙරිණි. සරලව කිවහොත් එම ජනප්‍රිය චිත්‍රපටි මාලාව මගින් සංකල්පීයව තහවුරු කෙරුණේ නව ජාතිකවාදී මධ්‍යගත බලවත් රාජ්‍යයක රූපකාරයයි.
එහෙත් ඒ වනවිට ලාංකේය සිනමා කර්මාන්තය පැවතියේ ජාතික රාජ්‍ය පථයෙන් අපගමනය වූ තත්කාලයකයි. ජාතික ධනවාදී සන්දර්භයක ගොඩනැගුණු ලංකාවේ සිනමාව 1977න් පසු නව ලිබරල් ධනවාදී දේශපාලන ආර්ථීකය තුළ යළි ව්‍යුහගත වීම ඇරඹී දශක තුනක් ගෙවා තිබියදී ඊනියා ජාතික සිනමාව ලෙස පිළිබිඹු කෙරුනේ විකාර රූපයකි. විනෝද මාධ්‍යකරණය හා වෙළඳ පරිභෝජනවාදය අධිනිශ්චය වූ තත්වයක් තුළ සිනමාවේ ජාතික දේශපාලනය හා එහි ආයතනික නියෝජනය රූකඩ මුහුණුවරක් ගෙන තිබිණි. විනෝද මාධ්‍ය හිමිකරුවන්, පාතාල ආර්ථික තන්ත්රයන් හා ඒකාධිකාරී ව්‍යාපාරික බලය විසින් යටත් කළ සිනමා ක්ෂේත්රයක නිල සංස්ථාපිතයට කළ හැකිව ඇත්තේ තැරැව්කාර භූමිකාවක් රඟ දැක්වීමයි. අද දවස යනු එම මැදිහත්වීමේ දිග පළල මැනවින් විශද කෙරෙන දේශපාලන සමාජ කාලයකි. ජාත්‍යාන්තර සිනමා උළෙලවල් පසුපස උමතු හඹායාම, NGO ලිබරල් සිවිල් සමාජය විසින් සිනමා මාර්ගෝපදේශකත්වය පිළිබඳ මූලික කාරකත්වයන් අත්කර ගැනීම, ගෝලීය ප්රාග්ධනයේ විවිධ මැදිහත් නාලිකා විසින් නව නිෂ්පාදන ක්ෂේත්‍ර ඇති කිරීම හා ඩිජිටල්කරණයේ යුටෝපියාව වැනි සාධක රැසක් විසින් දෘශ්‍ය කෙරෙන්නේ මෙම යථාර්තයයි. මීට දශක හතරකට පෙර සිනමාව හා රාජ්‍යය අතර පැවති සම්බන්ධය යළි ව්‍යුහගත වී ඇති ආකාරය පිළිබඳ හැදැරීමකින් තොරව ලාංකේය සිනමාවේ අනාගතය සිතියම් ගත කළ නොහැක. තත්වය ඒ තරම්ම සංකීර්ණය.
මට කියන්නට අවශ්‍ය වූයේ ‘යුධ වින්දන සිනමාව’ නම් වූ යටකී ප්රවනතාවය විසින් සිනමාව හා රාජ්‍යය අතර ගොඩනැගුණු නව සම්බන්ධයේ ස්වරූපයට ප්‍රහසන රූපකයක් සැපයීම ගැනයි. එක් පසෙක පොදු මහජන ක්ෂේත්‍රයත් රාජ්‍යයත් අතර පැවති සුභසාධනවාදී හා සංස්කෘතික සබැඳියාවේ පදනම් බරපතල කඩා වැටීමකට ලක්ව ඇත. රාජ්‍යය ලෙස අපට දෘශ්‍ය කෙරෙමින් ඇත්තේ මිලිටරිමය මර්ධනය ශක්තිමත් කිරීමත් ජාතිකවාදී දෘෂ්ටිවාදයේ සුජාතකරණයත්ය. සැබවින්ම නව ලිබරල් ධනවාදයේ ප්‍රාග්ධන මෙහෙයුම විසින් ලංකා රාජ්‍යය හපකොට යළි වමාරා තිබෙද්දී රාජ්‍යයට පැවරී ඇති භූමිකාව වන්නේ එකී මර්ධනය හා මතවාදය අතර වන සහනුමැතිය නිර්මාණය කිරීමයි. දෙමළ විරෝධී යුධ බලය හා සිංහල බෞද්ධ රාජාණ්ඩුව පිළිබඳ ශී‍්‍ර විභූතිය නිරූපණය කළ රණකතා හා බණකතා බඩවැල විසින් තේමාත්මකව නිදසුන් කර තිබුණේ මෙම දේශපාලන යථාර්තයයි. කෙටියෙන් කිවහොත් ජාතික සිනමාවක පදනම් පුපුරා යාම තීරණාත්මක අවධියකයට පැමිණි දශකයක ”ආඛ්‍යානමය මැදිහත්වීම” වඩ වඩාත් ජාතික හා ආගමික දෘෂ්ටිවාදයකින් නිර්මාණය වීම විසින් සිනමාවේ දේශපාලන අවිඥානය (Political Unconscious) පිළිබිඹු කරනවාය යන්නයි.
පැරණි සිනමාව මුළුමනින්ම නිමාවෙමින් ඇත. එය ඩිජිටල්කරණය, සිනමා නිෂ්පාදන තාක්ෂණය හා බෙදාහැරීම පිළිබඳ ගැටලූවක් ලෙස පිළිබිඹු වනවාට වඩා පුළුල් අවසානයකි. පැරණි සිනමා ප්රතිරූප අද රෙනෝද සිල්වා හෝ දිලිත් ජයවීරගේ ව්‍යාපාරික ආයතනවල වෙළඳ නියෝජිතයන් බවට පත්ව ඇති ආකාරය මෙහි ජනප්‍රිය ප්රකාශමාන වීමකි. නව සිනමාකරුවන් අතර ජාත්‍යන්තර සිනමා උළෙලවල් ගැන පැන නැගී ඇති අපූරු කැසිල්ල මෙම අර්බුදයේ රෝග ලක්ෂණ අතරින් එකකි. රෝගයට ඇත්තේ සමස්ථමය හා ඓතිහාසික අරුතකි. ගාමිණී වේරගමලා මියගොස් ගසුත් පැලවී ඇත.
අනාගත නව සිනමාවක උපත පරිකල්පනය කරන්නන් ඉදිරිපිට ඇත්තේ මෙම නව ගෝලීය අධිරාජ්‍ය සිතියම පැහැදිළිව සංජානනය කර ගැනීමේ මාවත හැර අන් යමක් නොවෙයි. 70 දශකයේ වාම සිනමා කඳවුර විසින් දේශපාලන ආර්ථිකය හා තත්කාලීන මිනිස් සමාජය අතර වූ සම්බන්ධය කියවාගත් පොළොව පෙරළී ඇත. එම වාම ආකෘතිය සිනමාව තුළින් යළිත් වර නැගිය හැක්කේ වත්මන් භූ දේශපාලන යථාර්තය තුළ තබා ලාංකේය සිනමාව අර්ථකතනය කර ගැනීමේ ව්‍යායාමය තුළයි. එය එක් පසෙකින් අනාගත සිනමාකරුවන් අභිමුව ඇති සංකල්පීය හා ආඛ්‍යානමය අභියෝගයක් වන අතරේම අනෙක් පසින් සිනමා විචාරය හා දර්ශනය ඇසුරේ මැදිහත්කාර කියවීම් වල යෙදෙන්නන් වෙත විවර වූ නව සිතිජයක්ද වේ.
ජීවමාන මාක්ස්වාදී දාර්ශනික ෆ්රෙඩ්රික් ජෙම්සන් විසින් සිනමාව පිළිබඳව ලියූ කෘතියක නම වන්නේ “භූ දේශපාලනික සෞන්දර්යය-ලෝක ක්‍රමය තුළ සිනමාව හා අවකාශය” (The Geopolitical Aesthetic- Cinema and Space in the World System) යන්නයි. ලාංකේය සිනමාවට 70 වසරක් සපිරෙන මොහොතක සිනමාව භූ දේශපාලනික සෞන්දර්යයක් ලෙස කියවා නොගන්නේ නම් එක්කෝ අපිට සිදුවන්නේ මළ සිනමා දේහයක් ජීවමාන පැවැත්මක් ලෙස සලකා අභිරුචියෙන් වන්දනා කිරීමටය. නැතහොත් අශුභවාදී කාංසාවක ගිලූණු පැමිණිලි සාගරයක කිමිදීමටය. ඒ වෙනුවට විචාරක පදනමින් ජෙම්සනියානු ප්‍රවේශයක් ගෙන එකී වියමනෙන් සංකල්පගත කර ඇති ‘දේශපාලන අවිඥානය’ හා ‘සංජානන සිතියම්කරණය (Cognitive mapping) වෙත අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත.
විශේෂයෙන්ම සිනමා වියමනක අවිඥානික යථාර්තය හා එය “ඉතිහාසය නම් වූ යථාවට” දක්වන සම්බන්ධය අදාළ සිනමාවේ ආඛ්‍යාන මැදිහත්වීම හා ආකෘතිය තුළින් විශද කිරීම මෙහිදී මූලික ප්රවේශයයි. විශේෂයෙන්ම අද දවසේ වැදගත් සිනමා කියවීම යනු සිය අර්ථකතනයන් ඉතිහාසය තුළ ස්ථානගත කරලීමයි. සිනමාව විනිශ්චය කිරීමේ අර්ථකතන පදනම් විය යුත්තේ මෙම ඉතිහාසය සමස්තයක් ලෙස කියවා ගැනීමයි. එනම් ඉතිහාසය සිනමාව තුළ වියමන් අකෘතියක් ලෙස පෙනී ඉඳමින් අර්ථකතනය සඳහා වන විවෘත පසුතලය නිර්මාණය කරදෙයි. එනම් සිනමාව එහි සැබෑ යථාර්තය තුළ කියවා ගැනීම සඳහා ඉතිහාසය හා අර්ථකතනය අතර ඇති දයලෙක්තිකය ගැඹුරින් කියවා ගැනීමයි. සිනමාවේ දේශපාලන අවිඥානය සොයාගත හැක්කේ මෙවැනි දයලෙක්තික විචාර ක්රමයකටයි.
අනාගත ලාංකේය සිනමාව හඳුනාගත හැක්කේ සමස්ත ඓතිහාසික දැක්මක් තුළ ස්ථානගත කිරීමෙන් හැර අන් කෙලෙසින්ද? සරලව කිවහොත් සිනමාවේ වත්මන් අභියෝග යනු හුදෙකලා අර්බුද ලෙස නොව සමස්ථ ක්රමයක ඇති උපාංග හා කොටස් ලෙස දැකීමයි. පැහැදිළිවම මෙම කියවීම වනාහී මාක්ස්වාදී උරුමය යාවාත්කාලීන කිරීම පිළිබඳ නිවේදනයකි. ලංකාවේ ඊනියා ජාතික සිනමාව කි‍්‍රයාත්මක වන්නේ ගෝලීය ධනවාදී අධිරාජ්‍යයේ අණසක තුළ බව අවබෝධ කරගැනීම යනුම මාක්ස්වාදී අවලෝකනයකි. ලංකාවේ දැන් දැන් බිහිවෙමින් තිබෙන හා අනාගතයේ නිර්මාණය වීමට නියමිත විවිධ සිනමා කෘතිවල වන තේමා, සංකල්ප, ආඛ්‍යාන ව්‍යුහයන් හා ශානරයන් ආකෘතිමය ලෙස කියවා ගැනීම ඔස්සේ මෙම සමස්ත චිත්‍රය ඥානනය කරගත හැක. පුළුල්ව කිවහොත් අලූත් නිර්මාණ චින්තන ලෙස අධිනිශ්චය කෙරෙන බොහෝ චිත්‍රපටිවලින් මෙම සමස්ථයේ ගැටලූවලට පිළිතුරු සපයනවා නොව, සමස්ථ පද්ධතිය විසින් සිය පැවැත්ම තහවුරු කර ඇති ගෝලීය සුවිශේෂතා අනාවරණය කරනු ලබයි.
සිනමාවේ සෞන්දර්යය භූ දේශපාලනික අරුතක් තුළ තේරුම් ගැනීම ඔස්සේ අප ගමන් කරන්නේ සමස්ථ සිතුවම යථාර්තවත් කරගැනීමක් දෙසටයි. විශේෂයෙන්ම ජෙම්සන් විසින් තුන්වන ලෝකයේ නිර්මාණය වන චිත්‍රපටි ආශ්රයෙන් එම සිනමා කලාවේ ඛණ්ඩාංක තීරණය කරන ඓතිහාසික හා සංස්කෘතික යාන්ත්‍රණ කෙරෙහි අපගේ අවධානය යොමු කරලයි. ඒ අනුව අදත් හෙටත් ලංකාව තුළ නිෂ්පාදනය වන චිත්‍රපටිවල මතුපිට අන්තර්ගතය විසින් නියෝජනය කෙරෙන දෘෂ්ටාන්ත ආකෘතිය කෙරෙහි සුපරික්ෂාකාරී විම තුළින් සිනමාවේ යටපත් කළ අන්තර්ගතය ගවේෂණය කළ හැකිවේ. යුධ වින්දන සිනමාව සේම බිහිවීමට නියමිත ඕනෑම සිනමා ප්රවනතාවයක් හෝ සෞන්දර්යය ප්රවර්ගයක් විසින් අපට මුණ ගස්වන්නේ මෙම ගෝලීය සමස්තයේ නියෝජනයකි.
සංජානනීය සිතියම්ගත කිරීම යනු මෙම ගෝලීය සමස්ථයේ දැක්ම ග්‍රහණය කර ගැනීමත් ඒ තුළ පිහිටුම නිශ්චය කරගැනීමත්ය. ඊට අනුව සිනමාව ජාතික දෘෂ්ටාන්තයක වේශයෙන් මූර්තිමත් කෙරෙයි. එහෙත් එහි සමස්තභාවය හඳුනා ගැනීම යනු අධිපති ගෝලීය ආර්ථීක මාදිලීන්ගේ පැවත්ම තුළ තබා මෙම විවිධ දෘෂ්ටාන්ත තේරුම් ගැනීමයි. දෘෂ්ටිවාදය පිළිබඳ ලූවී අල්තුසර්ගේ නිර්වචනය වූයේ “පුද්ගලයෙකුගේ පැවැත්මෙහි යථා ස්වභාවයට මිනිස් විෂය දක්වන පරිකල්පනාත්මක සබඳතාවයෙහි නියෝජනයක්” ය යන්නයි. සිනමාව ගෝලීය ධනවාදී ප්රපංචයක් වූ තතු යටතේ සිනමාවේ දෘෂ්ටිවාදය හා සෞන්දර්යය යනු එකී සැබෑ පැවැත්මට දක්වන වෙනස් නියෝජනයකි. අමුතු නිරූපණයකි.
සාරාංශකොට කියනවානම් තර්කය මෙසේය. පැරණි ජාතික සිනමාව මියගොස් බොහෝ කල්ය. දැන් ජාතික සිනමාව වේශයෙන් තිබෙන්නේ එකී ඉතිහාසයෙන් ඛණ්ඩනය වූ ‘පසු ජාතික ජාතිකත්වයක’ නිරූපණයකි. 70 වසරක ස්වර්ණමය සිනමාව පිළිබඳ යසෝ ගීතය යනු අන් කිසිවක් මෙම නව ජාතිකත්ව නිමේෂය විසින් නිශේධනය කර දැමූ හංස ගීතයමයි. ජාතික සිනමාව යළි ගොඩනැගීම පිළිබඳ අවංක ප්රයත්නයන්ට පවා ඇත්තේ යුගයේ දෘෂ්ටිවාදයේ විපරීත මුහුණුවරකි. ගෝලීය අධිරාජ්‍යයේ පසු ජාතික ප්රාග්ධනය විසින් කැබලි කළ සිනමා යථාර්තයක් කලින් අහෝසිව ගිය ජාතික පැරඩයිමයක ප්රතිසන්ධි කළ නොහැක. ගෝලීය ආර්ථික චිත්රණයකින් තොරව නැවත ජාතික සිනමාව ගොඩනැගීම යන්නට ඇත්තේ දෘෂ්ටාන්තමය අරුතකි. එය එක්තරා අයුරක පශ්චාත් නූතන උපමා කතාවක් වැන්න.
සමකාලීන චිත්‍රපටිවල ආඛ්‍යානයන්, මතු වියමන් තල, සිනමා සංකේතකරණයන් හා ශානරයන් ආකෘතිමය ලෙස කියවීමට ලක් කිරීම විසින් අපව රැගෙන යන්නේ සමස්තය පිළිබඳ ඥානනය වෙතටයි. අද වනවිට භූ ගෝලයේ විවිධ කලාපවල නිෂ්පාදනය වන චිත්‍රපටි ප්රවණතා හා ඒවායේ ආකෘතීන් සංවිධානය වී ඇත්තේ කුමන දැක්මකට (තුන්වන ලෝකය පිළිබඳ බටහිර- ගෝලීය ප්‍රාග්ධන සිවිල් සමාජයේ දැක්ම වැනි) සාපේක්ෂවද යන්න ජෙම්සනියානු ප්‍රවේශය ඇසුරෙන් පැහැදිලි කළ හැක. ඒ අනුව නව ලිබරල් ධනවාදී අධිරාජ්‍යයේ ප්‍රාග්ධන මෙහෙයුම අභිමුව ජාතික රාජ්‍ය සිනමාවේ සංස්ථාපිතයන් බිඳ වැටෙද්දී ඊට අනුයන සිනමා නිෂ්පාදනයන්ගේ ආකෘතිය තුළ එම තත්වාකාරය ප්රකාශමාන කෙරෙයි. වයස 70කට පසු ලංකා සිනමාව පැමිණ ඇත්තේ පෙර නොවූ විරූ අදියරකටය…අවධියකටය.
ශ්‍රී ලංකාවේ නව සිනමාව බිහි වනු ඇත්තේ මෙතෙක් මා කෙටියෙන් පැහැදිලි කළ ගෝලීය සමස්ථයේ නව භූ සෞන්දර්යය හා ලෝක පද්ධතියේ අවකාශමය තත්වයට තීක්ෂණව ආමන්ත්‍රණය කිරීමෙන් පමණි. ශ්‍රී ලංකා රාජ්‍යය හා සිනමාව අතර නව සම්බන්ධයක් පරිකල්පනය කිරීමේදී මෙම දේශපාලන අවබෝධය තීරණාත්මකව අදාල වන යුග මොහොතකය අප මේ වෙසෙන්නේ. සිනමා තාක්ෂණය හා ශිල්ප ඥානයට අවැසි ප්‍රවේශ එන්න එන්නම විවෘත වූ පමණින් නව සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක සංකල්පීය ඥානය පුළුල් වන්නේ නැත. සිනමාවට වඩා ඉතිහාසය දේශපාලනිකය.
-විදර්ශන කන්නන්ගර