1967 වසරේ දී "දැති රෝදෙන් උපන් බුදුන්" කෙටිකතා සංග්‍රහය ලියූ එවකට 27 හැවිරිදි ටෙනිසන් පෙරේරා නම් ලේඛකයාට නවතින්නට වූයේ කොටුව රහස් පොලිසියෙනි.
බෞද්ධ සමිති සම්මේලනය වෙනුවෙන් ලීලානන්ද කල්දේරා ගොනු කළ පැමිණිල්ලකට අනුව බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලද කතුවරයා චීන කොමියුනිස්ට් පිලේ පෙළඹවීම මත එම කෘතිය ලියන ලද බවට පැමිණිලිකරුවන් විසින් අනුමාන කර තිබිණ. "එතැනදි පොලිසියේ අය මගෙන් ප්‍රශ්න කළාට , එයාලට මං කියනදේ වත් මට එයාලා කියනදේ වත් තේරුණේ නෑ. අන්තිමට පොලිසිය පේරාදෙණියේ උපාධියක් තියෙන පොලිස් නිළධාරියෙක්ව කැඳෙව්වා" ඒ ටෙනිසන් පෙරේරා මහතාගේ අඳුරු මතක සටහන් ය. කාර්මික බුදුවරයෙක් පහළ වීම ගැන ලියන්නට ගිය ඔහු කැඳවාගෙන පොත්සැල් කරා ගිය පොලිස් නිළධාරීන් එකතු කරගත් පොත් සියල්ලම මුද්‍රා තැබූ අතර ලේඛකයා සතුව තිබූ ඉතිරි පොත් සියල්ලම රාජසන්තක විය. "මම මගේ පොතේ සඳහන් කළා ශ්‍රී ලංකා තරුණ ලේඛක සංවිධානයේ අනුග්‍රහයෙන් කියලා.ඒක ඒ කාලේ සංවිධානයේ සාමාජිකයෙක් පොතක් කරද්දි අනුගමනය කරන සම්ප්රදායක්. ඒත් ඒ සංවිධානේ එක මනුස්සයෙක්වත් ,!කරුණාසේන ජයලත් පවා මං වෙනුවෙන් කතා කළේ නෑ.. අජිත් තිලකසේන , සිරිල් බී පෙරේරා , සුමන ලොකුබණ්ඩාර වගේ අය තමයි මං වෙනුවෙන් හඬ නැගුවේ." ඒ ලේඛකයාගේ කළකිරීම ය.
2000 වසරේදී "මේරි නම් වූ මරියා" කෘතිය ලියා රහස් පොලිසියේ හතරවෙනි තට්ටුවට යන්නේ 29 හැවිරිදි මංජුල වෙඩිවර්ධන නම් වූ ලේඛකයා ය. ඒ තනිවම නොවේ. පිට කවරය නිර්මාණය කළ ලලිත් සෙනවිරත්නත් ඇතුළත චිත්‍ර ඇඳි කේ.ඩබ්ලිව්. ජනරංජත් පසුපිටෙහි කතුවරයාගේ ඡායාරූපය ගත් අජිත් සෙනවිරත්නත් ප්‍රකාශක සිරිසුමන ගොඩගේ මහතාත් සමගය. කතෝලික සභාව වෙනුවෙන් එහි කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්යක්ෂ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසින් ගොනු කළ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වෙඩිවර්ධනට එරෙහිව දෙවර්ගයක නඩු පැවරූහ. එක් පසෙකින් "මේරි නම් වූ මරියා" වාරණයට ලක් කරන්නැයි ඉල්ලා පැවරූ සිවිල් නඩුවත් අනෙක් පසින් ආගමික සංකේතයන්ට අපහාස කිරීමේ වරද මත පැවරූ අපරාධ නඩුවත් ලෙසිනි. අවසානයේ පොත් සාප්පුවක හැඩ රුව වත් නොදුටු "මේරි නම් වූ මරියා" ඉතිහාසයට එක් විය. ශරීර ඇප ලබා අනිත් අතට ගංගොඩවිල පියසිරි මුද්‍රණාලය වෙත එන වෙඩිවර්ධන දකින්නේ රහස් පොලිසිය තම පොත් තොගය පටවා ගෙන යන ආකාරය ය. " කතෝලික සභාවේ වාම කණ්ඩායම "කිතුසර" සාමාජිකයෝ මං වෙනුවෙන් කතා කරලා තිබ්බා.මං වෙනුවෙන් පෙනී හිටපු අය අතර මහාචාර්ය සුචරිත ගම්ලත්, ටෙනිසන් පෙරේරා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, රනත් කුමාරසිංහ, සිරිල් එඬේරමුල්ල, ජයසිරි ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර, දිනේෂ් විභවි වගේ අය හිටියා. ගම්ලත් දිවයින පත්තරේට "වෙඩිවර්ධනට වෙඩි නොතබනු" කියලා ලිව්වා. කේ. කේ. සමන්කුමාර, උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු ‘සංහිඳ‘ සමග එකතු වෙලා හිටපු සහෘදයෝ පත්‍රිකාවක් ගහලා බෙදා හැරියා. " ඒ වෙඩිවර්ධනගේ මතක දිගහැරුම ය.
2018 අගෝස්තු 04 වෙනිදා කේ.කේ. ශ්‍රීනාත් චතුරංග ගේ " බුදුන්ගේ රස්තියාදුව" එළි දකින්නේ වෙඩිවර්ධන පැවසූ , ඔහු වෙනුවෙන් පෙනී සිටි සංහිඳ පසුබිම තුළ ය. මේ එදා සංහිඳ සහ අද රෝයල් තැප්රොබේනියා හසුරුවන උපුල් ශාන්ත සන්නස්ගල පවසන පරිදි පොත දොරට වඩින්නට පැය කීපයකට පෙර පැමිණි මිරිහාන පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් බුද්ධ චරිතයට නිගා දෙන කෘතියක් එළි දැක්වීමට සූදානම් වන බවට ලද පැමිණිල්ලක් අනුව ලේඛකයා සහ ප්‍රකාශකයා සමග පිටපත් සියල්ල පොලිසිය වෙත රැගෙන යති. බත්තරමුල්ල තලාහේන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නැමති ලිපි ශීර්ෂයකින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට ලියූ ලිපියක ෆැක්ස් පිටපතක් ඉදිරිපත් කරමින් පොලිසියට රැගෙන ගිය පසු මේ කෘතිය කියවා බලා තීරණය කරන්නැයි කේ.කේ ශ්‍රීනාත් යෝජනා කර සිටී. "ඕවා කියවන්න වෙලාව නෑ" යනුවෙන් උස් හඬින් පැවසූ CI ප්‍රියන්ත කෘතියේ නමට කීප වතාවක් ඇඟිල්ලෙන් අනිමින් "මේ තියෙන්නෙ අපහාස කරලා - මේ තියෙන්නෙ අපහාස කරල...." යනුවෙන් සාහිත්‍ය කෘතිය ගැන ඔහුගේ අදහස පවසා සිටියා" ඒ ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගලගේ වදන් ය. මිරිහාන පොලිසිය අභ්‍යන්තරයේ පැයක පමණ කාලයක් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් තමාවත් කේ.කේ. ශ්‍රීනාත් වත් නිදහස් කළ අතර නැවත පැමිණෙන විට රැගෙන ගිය පොත් සියල්ල ආපසු ගෙනැවිත් බාර දී තිබුණු බව ප්‍රකාශකයා පවසා තිබිණ.
එදා හැටේ දසකයේ ආගමට මුවා වූ සංස්කෘතික ත්‍රස්තවාදය හමුවේ ටෙනිසන් පෙරේරා වෙනුවෙන් හඬ නැගුවේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසකි. දෙදහස වසරේ දී ප්‍රහාරයට ලක් වන වෙඩිවර්ධන වෙනුවෙන් ඊට වඩා පිරිසක් ඉදිරිපත් වූ අතර එපිරිස අතර උපුල් ශාන්ත සන්නස්ගල කියා කෙනෙකු ද සිටි බව පැවසුවේ වෙඩිවර්ධනම ය. ඉන් වසර දහ අටකට පසුව ඒ උපුල් සන්නස්ගලම තවත් තරුණ ලේඛකයෙක් සමග එම ගැටළුවටම මුහුණ දෙන විට මිත්රයින්ගේ සහාය ද ඇතිව ජය ලද බව පැවසුවේ සන්නස්ගලම ය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස සම්මානිත උෂාන් පෙරේරා ගේ " මායා බන්ධන" නාට්‍යයේ පැවසෙන්නේ සලෙයි නම් ගම්මානයක කතා පුවත ය. එකින් එක ගම්වැසියන් "භූත සන්නියක්" ඇතැයි චෝදනා නගමින් පල්ලියේද අනුග්‍රහය ඇතිව මරණ දඬුවමට ලක් කරන විට ඊට එරෙහිව නැගී සිටින්නේ ද , සත්‍යය උදෙසා පල්ලියට අභියෝග කරන්නට සමත් වන්නේ ද ජෝන් ප්‍රොක්ටර් සහ රෙබෙකා හෙදිය පමණකි. එල්ලුම් ගස පෙනි පෙනී වුවද ඔවුන් පවසා සිටියේ " භූත සන්නිය" යනු පල්ලියේ ආධාරයෙන් හිතින් මවා ගත් මනෝ විකාරයක් අනෙකාව පාගා දැමීමට භාවිතා කිරීමක් බවයි.
මිත්‍රවරුනි ; ඔබ අප ජීවත්වන්නේ මැසචුසෙට් හි සලෙයි ගම්මානයේ ය. පන්සල් , පල්ලි භේදයකින් තොරව ආගම හිස මුදුනින් තබා ගත් සිල්වතුන් අප හට "භූත සන්නියක්" ඇතැයි ඇඟිලි දිගු කරන අතර එල්ලුම් ගසට මග පෙන්නන්නට සැදී පැහැදී සිටින විනිසුරු මඩුල්ලක් ද තනියට හිඳී.
නමුත් මේ සර්ව දුර්භාග්‍යයන් සහ ව්‍යසනයන් හමුවේ වුවද අපට සතුටුවන්නට එක් හේතුවක් ඉතිරිව ඇත.
ඒ සලෙයි වාසී අප අතර තවමත් ජෝන් ප්රොක්ටර්ලා සහ රෙබෙකා නර්ස් ලා ජීවත් වන බව දක්නට ලැබීමය.
මේ සටහන ඔවුන් වෙනුවෙනි.
- සහන් කසීර වික්‍රමසිංහ -