1956 වසරේ මැයි මාසයේ දිනක පැරිසියේ සුප්‍රකට Ritz හෝටලයේ බලධාරීන් වෙතින් නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ලේඛක අර්නස්ට් හෙමිංවේ ට ලැබුණු කෙටි පණිවුඩයකි.
"මිට වසර 28 කට පෙර, එනම් 1928 වසරේ ඔබ විසින් අප හෝටල් ගබඩාවේ තැන්පත් කරන්නට යෙදුනු ඔබගේ පෞද්ගලික බඩු භාහිරාදිය හැකි ඉක්මනින් ඉවත් කර ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු." එම පණිවුඩයයි
මේ බඩු භාහිරාධිය අතර වැඩිපුර වුයේ හෙමිංවේ පැරිසියේ ගත කළ මුල් කාලයේදී ලියනා ලද සටහන්ය . කපා වෙන් කර ගත් පුවත් පත් ලිපිය. එමෙන්ම The Sun Also Rises නවකතාවේ මුල් කොටස් ය . ඒ දිනවල හෙමිංවේ සහ ඔහුගේ සිව්වැනි බිරිද Mary Welsh කියුබාවේ San Fransico de Paula නගරයේ ජිවත් වුහ. පැරිසියේ Ritz හෝටලයේ සිට ගෙන්වා ගත් ලියකියවිලි දැකීමෙන් පසුව මහා ලේඛකයාගේ සිතට අලුත් අදහසක් පහළ විය. එනම් ලේඛකයෙකු වීමේ සිහිනය දකිමින් පැරිස් නගරයේ ගත කල කාලය ගැන පොතක් ලියා එය Paris Sketches යනුවෙන් නම් කිරීමයි. කියුබාවේ නිවසේදීත් පසුව ස්පාඤ්ඤයේ දීත් අනතුරුව පැරිසියේදී ත් පොතේ නිම කිරීම් වල නිරත වුණු ඔහු 1959 වසරේ නොවැම්බර මාසයේදී එහි මුල් පිටපත Scribner ප්‍රකාශකයන්ට ලබා දුන්නේය.
මේ සුවිශේෂ පොත 1964 වසරේදී එනම් , හෙමිංවේගේ මරණයෙන් තෙවසරකට පසුව එළි දුටුවේ A Moveable Feast යනුවෙනි. පැරිස් නගරයේ 1921 වසරේ සිට 1926 වසර දක්වා කාලය තුළ ඔහු ගත කළ දිවියේ රසවත් කොටස් වලින් මේ පොත පිරි තිබේ.
පැරිසිය නැමති පෞරාණික නගරයේ අපි යෞවනයෝ වීමු. එහි කිසිවක් සරළ නොවිණ . ධනවතෙකු වීම හෝ දුගියෙකු වීම පමණක් නොව සද එළිය පවා ඒ නගරයේ සංකීර්ණ කරුණුය. ....... හෙමිංවේ ලීවේය.
A Moveable Feast පොතේ රසවත් බව සැබවින්ම උකහා ගැනීමට නම් අඩුම තරමින් ඔබ අර්නස්ට් හෙමිංවේගේ එක පොතක් හෝ කියවා ඔහුගේ සාහිත්‍ය හැසිරීම ගැන සුළු වැටහීමක් ලබා තිබිය යුතුවා මෙන්ම කෙටි සංචාරයක් සදහා වත් පැරිසියට පැමිණි තිබිය යුතු බව ඇමරිකානු ලේඛිකා Paula Mclain කියයි. පසු කාලීනව A Moveablae Feast ඇමරිකානු ලේඛකයන්ගේ අත් පොතක් බවට පත් වෙද්දී සාහිත්‍ය රසිකයන් , විශේෂයෙන් ලේඛකයන් බවට පත් වන්නට සිහින මවන්නෝ හෙමිංවේ අනුගමනය කරමින් පැරිසියට පැමිණ ලොව සුන්දරතම නගරයේ අහස යට ලේඛන කාර්යන්ට අත ගැසූහ . ඔවුන් අතරින් කි දෙනෙක සත්‍ය වශයෙන්ම ලේඛකයන් වුණා දැයි අපි නොදනිමු. එහෙත් මේ පොත කියවා හෙමිංවේ ගේ මග යමින් , පැරිසියට පැමිණ නගරයේ පහස ලබමින් ලේඛිකාවක් වූ අයෙකි Paula Mclain . ඇගේ මුල්ම පොත Paris Wife නම් විය.
ප්‍රථම ලෝක යුද්ධයේ කටුක අත්දැකීම් සමගින් ජිවත් වුණු තරුණ අර්නස්ට් හෙමිංවේ ට 1920 වසරේ දිනක හැඩ්ලි රිචඩ්සන් නමැති තරුණිය මුණ ගැසෙයි. ආදරයෙන් වෙලී ඉක්මනින් විවාහ වන ඔවුහු පැරිසියට පැමිණෙති. මේ ගමනේ මුල්ම හා එකම අරමුණ හෙමිංවේ ගේ සාහිත්‍ය නිර්මාණ සදහා පසුබිම සකස් කර ගැනීමයි. හෙමිංවේ යුවළ තම ජිවිතවල ඉහළ පහළ යාම් මැදින් වසර පහක් පැරිසියේ ගත කළහ. හැඩ්ලි ගේ චරිතය Paris Wife හි කතා නායිකාව කරන පෝලා මැක්ලෙන් ඇය හෙමිංවේ ඇසුරින් ලැබූ සුන්දර මෙන්ම කටුක අත්දකීම් ද නවකතාවක ට ගොඩනගයි. මේ පොතද Moveable Feast හි තවත් එක කොටසක් වැනිය.
පැරිසියට පැමිණ, ඇමරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වෙත යන්නේ නම් අර්නස්ට් හෙමිංවේ ගේ පැරිස් ජිවිතයේ විවිධ වූ අවස්ථාවන් දැක්වෙන ඡායාරූප ගණනාවක් දැක ගැනීමේ හැකියාව ඔබට ලැබෙයි. තවද එහි බලධාරින් විසින් සංවිධානය කරන Hemnigway in Paris නමැති නගර සංචාරයට එක විමටදී අවස්ථාව ලැබෙයි. සංචාරය සදහා යුරෝ 80 ක (2015 වසරේ මිල ගණන් ) ගාස්තුවක් ගෙවිය යුතුය. එය තරමක් ඉහල ගාස්තුවක් විය හැකිය. එහෙත් එය හෙමිංවේ අදහන කෙනෙකුට වැදගත් විය හැක්කේ පැය හයක් පුරා (දහවල් අහාරයද සමගින් ) හෙමිංවේ පැරිස් පිය සටහන් ඔස්සේ සංචාරක මග පෙන්වීමක් ලැබෙනා බැවිනි.
1920 දශකයේ මුල් කාලය පැරිස් නගරය දෙස බොහෝ විදේශිකයන්ගේ බැලුම් වැටුණ අවධියකි. පළමු ලෝක යුද්ධයෙන් පසුව යුරෝපය අළුත් දියුණුවක මුල් පියවර තබා සිටිනා බව දිස් විය. විශේෂයෙන් ඇමරිකානු ධනපතියන් තම බිමේ යතාර්ථයෙන් පැන යාමේ ගමනාන්තයක් ලෙසින් පැරිසිය තෝරා ගනු ලැබුවේ එහිදී අඩු මුදලකින් වැඩි ජීවන ආශ්වාදයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වන හෙයිනි. ලොව රසවත්ම කෑම පැරිසියේ තිබේ. ලොව ඉස්තරම් වයින් එහි ඇත. එමෙනම් යුද්ධයෙන් පිඩා විද, තවමත් දුගී බවේ ගිලි සිටින රූමත් ප්‍රංශ තරුණියෝ එහි බොහෝය. කෙසේ වුවද හෙමිංවේ සහ බිරිඩ් හැඩ්ලි පැරිසියට පැමිණියේ ධනවතුන් ලෙසින් නොවේ. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වුයේ ඉඩ හිට හෙමිංවේ විසින් ලියන්නට යෙදුණු පුවත් පත් වලින් ලැබුණු ආදායමයි. ඇතැම් විටක ඉතිරි කර ගත් මුදලක් තිබුනේ නම් අස්ස රේස් වලන්නට ගිය ඔවුන් ඔට්ටු දැමුහ. දිනා ගන්නා මුදලින් බිරිද සමග මිලෙන් අධික අවන්හලකට ගොස් රස ආහාර ගත අයුරු A Moveable Feast පොතේ හෙමිංවේ අපුරුවට ලියා තිබේ.
අපි අඩු මුදලකට රස ආහාර අනුභව කළෙමු. අඩු මුදලකට යහමින් මධු විත පානය කළෙමු. උණුසුම් යහනක සැප පහසුවට නිදන්නට වූ අපි එකිනෙකාට ආදරය කළෙමු.......
Moveable Feast ( 46 වන පිටුව)
1921 වසරේ දෙසැම්බර් 22 වැනිදා පැරිසියට පැමිණෙන හෙමිංවේ - හැඩ්ලි යුවලගේ වාසස්ථානය වූයේ පැරිස් 05 ප්‍රදේශයේ Cardinal Lemoine පාරේ ගොඩනැගිල්ලක කුඩා කාමරයකි.සිත කාලයේදී උණුසුම ලබා දෙන විශේෂ පෝරණුවක් හෝ සුදුසු වැසිකිලි පහසුකම් පවා මෙහි නොවිණ. නගරයේ සුන්දරත්වය සැබෑ ලෙසම දකින්නට නම් යහමින් මුදල් වියදම් කළ යුතුය. එහෙත් එවැනි මුදල් අතිරික්තයක් ඔවුනට තිබුනේ නැත. පැරිසියට පැමිණෙන්නට පෙර ඉතිරි කර ගෙන තිබුණු මුදලින් නවාතැනට නොදුරුDescartes පාරේ මිලෙන් අඩු හෝටලයක කාමරයක් කුලියට ගත් හෙමිංවේ සෑම උදෑසනකම එහි ගොස් ලේඛන කාර්යයේ නිරත විය. එහෙත් දිගු කාලයක් එක තැනක සිට ලිවීමේ සංයමයක් ඔහුට වුයේ නැත . ඒ අවධියේ 23 වන වියේ පසු වුනු හෙමිංවේ පැය කීපයක් ලියමින් සිට අනතුරුව පැරිස් විදි බැස ඇවිදීම පුරුද්දක් කර ගෙන සිටියේය. මහා කලාකරුවන්ගේ ස්මාරකයක් වන Pantheon පසු කරමින් ලුක්සුම්බූර්ග් උද්‍යානය හරහා ඔහු ඇවිද ගියේය. අතේ සල්ලි ඇති විටදී විවිධ වර්ගයේ වයින් පානය කරමින් ඒ වයින් වලට ගැලපෙන කෑම වල රස බැලුවේය . මේ කාලයේ හෙමිංවේ පහස වැඩිපුර ලැබුණු තැනකි 06 වන ප්‍රදේශයේ La Closerie des Lilas නම් අවන්හල.
නම ගත් කලාකරුවන් සිය ගණනක් පැමිණ කා බී විනෝද වී දවස ගත කර ඇති මේ අවන් හල ලෝ ප්රකටය. සිත්තරුන් වූ පැබ්ලෝ පිකාසෝ, පෝල් සේසාන් , ලේඛකයන් වූ එමිල් සෝලා , ෂෝන් පෝල් සාත්ර , අන්ද්රේ ජිද් , ඔස්කාර් වයිල්ඩ් , සැමුවෙල් බෙකට් එහි පය තැබූ අයගෙන් කීප දෙනෙකි. හෙමිංවේ මේ අවන් හලට ගොස් වාඩි ගෙන කෝපි කෝප්පයක් හෝ සැර බීමක් බොමින් හැඩ කාරියන්ගේ සිරි බලමින් සාහිත්‍යමය අදහස් වලින් මනස පුරවා ගත්තේය. සුප්‍රකට ඇමරිකානු ගත්කරු F .Scott Fritzgerald තමන්ගේ The Great Gatsby පොතේ මුල් පිටපත හෙමිංවේ හට පෙන්වනු ලැබුවේ මේ අවන් හලේදිය .
පැරිස් නගරයේ ජිවත් වන විට කුස ගින්න දෙගුණ තෙගුණ වී දැනෙන්නට පටන් ගනියි. මාර්ග දෙපස ඇති අවන්හල් වලින් හමනා මසවුලු සුවද දරා ගත නොහැකිය. එහෙත් ලුක්සුම්බුර්ග් උද්‍යානයට මේ කිසිදු සුවදක් දැනෙන්නේ නැත. අතේ මුදල් නොමැති නම් කල යුත්තේ එහි යාමයි. එහි කෞතුගාරයේ ඇති සුප්‍රකට සිත්තරුන් ගේ නිර්මාණ දෙස බලා සිටීම කුසගින්න නිවා දැමීමට සමත් වෙයි. මම එහිදී පෝල් සේසාන් ගේ නිර්මාන් මැනවින් වටහා ගතිමි. ඇතැම් විට සේසාන් මේ චිත්‍ර අදින්නට ඇත්තේ කුස ගින්න මැද විය හැකිය. එහෙත් කුසගින්න ඔහුව වෙලා ගෙන තිබුනේ අතේ සල්ලි නැති නිසා නොව අහාර මුවට දමා ගන්නට වෙලාවක් නොතිබුණු නිසා විය හැකිය.
(66 පිටුව)
පසු කලෙක Afarewell to arms, The old man and the sea, For whom the bell tolls වැනි අගනා පොත් ලියන්නට හෙමිංවේ පන්නරය ලැබුවේ පැරිස් නගරයේ විදි දිගේ ඇවිද යමින් ජනී ජනයා නිරීක්ෂණය කිරීමෙන් බව පැහැදිලිය. සාහිත්‍යකරණය ඔහුව ධනවතෙක් බවට පත් කල බව සැබෑය . ඔහු මුදල් ඉතිරි කර ගත් මිනිසෙකු නොවේ. අතට ලැබෙන සෑම සතයක්ම ඔහු වියදම් කලේ අළුත් අත්දැකීමක් ලබන්නටයි. ඔහු අනතුරු සොයා ගිය අයෙක් බදුය. බොක්සිං, හිම ක්‍රීඩා, ගොං පොර වැනි ක්‍රීඩාවන්ට ප්‍රිය කල හෙතෙම මාළු බෑම , කදු නැගීම විනෝදාංශ කර ගත්තේය. ඔහු ලොව වටා කරක් ගැසුවේය. සිව් වරක් විවාහ විය. පුලිට්සර් සම්මානයද , නොබෙල් තෑගයද දිනා ගත්තේය. අන්තිමේදී 1961 වසරේදී සිය දිවි නසා ගත්තේය.
අර්නස්ට් හෙමිංවේ පැරිස් නගරයට ආදරය කල මිනිසෙකි පැරිස් නගරයේ සුන්දරත්වය ඉහලින් වනු මිනිසෙකි. ඔහුගේ මරණයෙන් වසර 33 ක් ගිය තැන 1994 වසරේදී ඔහුගේ නමින් පැරිසියේ මාර්ගයක් නම් කෙරුණි. මුල් කාලයේ පැරිසියේ ඔහු සහ බිරිද ජිවත් වුනු Cardinal Lemoine පාරේ අංක 74 දරන ගොඩනැගිල්ලේ ඇතුළු වන දොර ඉහලින් ලියවුණු පලකයකි. මහා ලේඛක අර්නස්ට් හෙමිංග්වේ මේ ලිපිනයේ ජිවත් වූ බව එහි ලියා තිබේ .
This is Hemingway's apartment in France. There is a plaque that says so, and not much more.
මංජුල සේනාරත්න
පැරිසිය.