ඩබ්. ජයසිරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් සම්මාන ගැනීම පූර්ව දැනුම්දීමකින් ප්‍රතික්ෂේප කිරීම, දිගුකාලීන ප්‍රතිවිපාක සහිත ක්‍රියාවලියක් නොවන්නේ ජයසිරි මැදිවිය ද ඉක්මවා සිටින හෙයිනි.
“මහනුවර අවන්හලේ සිංහල පුනරීක්ෂණ පන්තිය සවස දෙකට පමණ අවසන් කොට කොළඹ දෙසට පැමිණෙමින් සිටියෙමි. රාත්‍රියේ පැවැත්වෙන ලක්සිරි වික්‍රමගේ මිතුරාගේ උපන් දින සාදයට ඔළුව දමා නැවතත් සෙනසුරාදා පන්ති සඳහා මා නැවත නුවර පැමිණිය යුතු ය. ඉරිදා ගම්පහ ය. සඳුදා නැවත නුගේගොඩ ය. අඟහරුවාදා කුරුණෑගල පන්ති ය. බදාදා උදේ ගම්පහ රිවිශන් ය. සවස නුගේගොඩ තියරි ය. බ්‍රහස්පතින්දා කෝටියක් බරපතල වැඩ සහිත, පන්ති නැති, අනික් හැම මගුලක් ම ඇති, නිවාඩු දවස ය. සිකුරාදා නැවත නුවර ය.
මා පතපොත ලීවේත්, කියෙව්වේත්, මාධ්‍යයට සම්බන්ධ වූයේත්, නෑමිතුරු සම්බන්ධතා නඩත්තු කළේත් මේ සිරගත කාල නිර්ණයන් අතරතුර ය. ටියුෂන් නිසා ජීවිතය මඟ හැරුණා යැයි මම නිරන්තර ව පශ්චාත් දුක් වැළඳීමි. ප්රතිපක්ෂ පසමිතුරන් බෝ කොට ගතිමි. මා පිළිබඳ අහේතුක ද්වේශයන් බොහෝ පමණ, තතු නොදත් සමාජ වෛරස් ය. මා මේ ලියන්නේ, ප්රබුද්ධ වෛරසයක් මා පසුපස එලවමින් මා රෝගී කළ හැටිත් මා ඒ සමාජමය ද්වේශයට මුහුණ දුන් හැටිත් ය.
එදා සිකුරාදා මා කොළඹ දෙසට එද්දී කොළඹ පැත්තෙන් මහනුවර දෙසට එන සෙරීනා වර්ගයේ වෑන් රථයක් පේරාදෙණිය වංගුවේ අලිපේර කඩේ අනෙක් පැත්තෙ දුම් දමමින් නැවතී තිබිණ. රියැදුරු අසුනින් බැසගත් ජැන්ඩියට හැඳ පැලඳගත් උත්තුංග දේහධාරී තට්ටයෙක් හනිකට බොනට්ටුව හැරියේ ය.
හෙතෙමේ සුනිල් එදිරිසිංහ ය.
මා එකම ගීතය සිය වරකට වඩා අසා ඇත්නම් ඒ ගීත ඔහුගේ ය. ආදරය ගැන උද්ධෘත පාඨ ඔහු ගැයූ ගේය පද පේළි ය.
මම මගේ වාහනය පසෙකින් නවතා ඔහු දෙසට පාර පැන්නෙමි. බොනට්ටුව ඇතුළෙන් ගොජ දැමූ හුමාලයෙන් රත් වූ අප ගායකයාගේ මුහුණ කළු දුම් වලාවකින් කුස මුහුණකට වෙස් පෙරළා තිබිණ.
"වාහනේ දහදොළොස් තැනකදි කැඩුණා. අර්ල්ස් රිජන්සි හොටෙල් එකේ වෙඩිං එකක්. හරිම කරදරයක් වුණේ. මේ ළඟ ගරාජ් එකක් නැද්ද මල්ලි?"
මම ඔහුගේ අනවසරෙන් නුවර මිතුරෙකු ඉක්මනින් ජංගමයාට සම්බන්ධ කොට ගතිමි. ඒ මිතුරා නුවර ටෙලිෆික්ස් හිමිකරු වූ නිමල් පීරිස් ය.
"මචං, මම සන්නස්ගල. මේ පේරාදෙණිය හරියෙ සුනිල් එදිරිසිංහගෙ වෑන් එක කැඩිලා. නුවර වෙඩිං එකකට එන ගමන් ලු. දැන් තුනට ළඟ. වාහනයක් එවලා මෙයාලව හොටෙල් එකට දාන්න. මේ වෑන් එක ගරාජ් එකකට දාමු. හවස් වෙද්දි වාහනේ හදාගන්න බැරි වුණොත් කොළඹ එන්න වාහනයක් ලෑස්ති කරන්න. හෙට මං නුවර ආවාම සල්ලි ඇරේන්ජ් කරන්නම්."
සුනිලුන් මගේ ඇමතුමට ඉතා හොඳින් සවන් දීම නිසාම මා වැඩි යමක් පැහැදිලි කිරීම අනවශ්‍ය විය. ඉතිරි ව තිබුණේ මා හඳුන්වාදීමත්, ඔහු මට ස්තුති කිරීමත් ය. ඉන් පසුව වෑන් රථයේ ඉතා අපහසු ඉරියව්වෙන් සිටි ඔහුගේ බිරිඳ ද ඔහු මට හඳුන්වා දුන්නේ ය. වාහනයෙන් බැස ආ ඒ තැන්පත් කාන්තාව මට නොවක් ස්තුති කළා ය.
කිරිබත්ගොඩ ලර්න් කී ආයතනය හිමි ගිණුම්කරණ ගුරුවරයා ආසිරි සම්පත් මගේ දිගුකාලීන මිතුරෙකි. ලර්න් කී ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දේශනයක් කිරීමට හේ මට ආරාධනා කළේ ය. දෙමාපියන් ඇතුළු දහසකට වැඩි පිරිසක් ශ්‍රවණාගාරයේ සිටියහ. නිදසුන් ගායනා සහිත දේශනයක් සඳහා සුනිලුන් පැමිණ සිටියේ ය. සුනිල් එදිරිසිංහ ආසිරි සම්පත්ගේ ගම්වැසි සංකේතමය ගායකයා ය. සුනිල්ගේ ආගමික වැඩවසම් අදහස් මම එදා ඔහු ඉදිරියේ ම විවේචනය කළෙමි. එය එසේ වෙද්දී ම වේදිකාවේ අපි දෙදෙනා එක් ව සිටියදී ආගිය තොරතුරු කතා කළෙමු. නුවර දී වාහනය කැඩුණු දා මා මුණගැසුණු බව මම සිහිපත් කළෙමි. දෙවනුව කොළඹ කැම්පස් එකේ ඉතා පුරාණ කලා උළෙලක් පිළිබඳ ව ඔහුට සිහිකැඳවීමක් කළෙමි.
ඒ, ජැක්සන් ඇන්තනී, නිල්මිණි සිගේරා, නිර්මාල් රංජිත් දේවසිරි, ශිරාල් ලක්තිලක, දයා පතිරණ, කෞශල්‍යා ප්‍රනාන්දු, ඊ. එම්. ඩී උපාලි, සී. ඒ. චන්ද්‍රප්‍රේම, තිසරණී ගුණසේකර ආදීන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ව සිටි කාලය ය. සුනන්දා රණසිංහ සිසුවිය රෝසි සේනානායකගෙන් සම්මාන ප්‍රතික්ෂේප කළ කාලයට සාපේක්ෂ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන්ගේ මහා කලා උළෙල සංවිධානය කළේ වින්දන කලා කේන්ද්‍රයයි. කලා උළෙල පැවැත්වූයේ NAT හෙවත් නව කලාගාරයේ ය. කලා උළෙලට සමගාමීව කලාකරුවන් තිදෙනෙකුට ගෞරව සම්මාන තුනක් පිරිනැමීමට කටයුතු යොදා තිබුණි. පළමු සම්මානය පිරිනැමුණේ නන්දා මාලිනියට ය. සුදු වත හැඳි කත වේදිකාවට ගොඩ වී ප්‍රේක්ෂකාගාරයට අංජලිකරණීය කොට යන්තම් හිස නමද්දී ම නොනවතින අත්පොළසන් නාදයකින් ඈ සැරසුණා ය. අරගලයේ ගායිකාවට පසුව සම්මාන පිරිනැමුවේ ගුණදාස කපුගේට ය. සම්මානය නම් කරද්දී ම ප්‍රේක්ෂකාගාරය අත්පොළසන් දීම ඇරඹූ අතර උණුසුම් ප්‍රතිචාරය නිවී ගියේ ගායකයා නැවත අසුන්ගත් විට ය. මම පළමු වසරේ සිසුවෙක් වීමි. මගේ වම්පස සිටියේ මගේ පෙම්වතියයි. පිටුපස පේළියේ ජනක ද සුනිල් ද කිංස්ලි ද සිටියා මතක ය. තුන්වන සම්මානය සඳහා සුනිල් එදිරිසිංහට ආරාධනය ලැබ වේදිකාවට පිවිසෙත් ම හූ හඬ ඇරඹිණ. හූව ඇරඹූයේ මට පිටුපස පේළියේ සිටි ජනක ය.
"ගම් උදාවේ සිංදු කියන හොරා"
"යූ ඇන් පී කාරයා"
"තක්කඩියා" යනුවෙන් ශාලාවේ තැන්තැන්වලින් නැඟුණු හඬ පූර්ව සංවිධානමය ක්‍රියාවලියක ප්රතිඵලයකි. මේ ක්‍රියාවලිය සඳහා දයා පතිරණගේ නොනිල අනුග්‍රහය ද ලැබිණ. සුනිල් එදිරිසිංහ වේදිකාවට නැඟ වෙව්ලන්නට පටන් ගද්දීම පළමු වසරේ අපි හූ කීම ඇරඹුවෙමු. කිසිවක් නෑසෙන තරමට හූව ඝෝෂාවක් බවට පත් විය. මයික්‍රෆෝනය අසලට ගිය සුනිල් එදිරිසිංහ ඉතා අපහසුවෙන් වචන ගලපා ශිෂ්‍ය ප්‍රජාව හමුවේ ප්‍රතිඥාවක් දුන්නේය.
"අද මට කොළඹ විශ්වවිද්‍යාලය කාටත් දුන්නට වැඩිය හොඳ සම්මානයක් දුන්නා. මට ජීවිත පාඩමක් කියලා දුන්නා. මං මේ වෙලාවේ ඔබට පොරොන්දුවක් දෙනවා. මම මගේ මරණය තෙක් කිසිම දවසක දේශපාලන වේදිකාවේ සිංදු කියන්නේ නෑ."
හූවේ අපහාසය සමාචාරයේ ප්‍රතිඵලයක් විය. නොනවතින අත්පොළසන් නාදය නන්දා මාලිනියත් ගුණදාස කපුගේත් ලැබූ ප්‍රතිචාරයටත් වඩා උණුසුම් ය.
මම මේ පැරණි කතාව මා සමඟ ලර්න් කීහි සමසුනේ සිටි සුනිල් එදිරිසිංහට නැවත සිහි කොට එම සිදුවීමේ මගේ භූමිකාව ද කීවෙමි.
ඉනික්බිතිව මේ මොහොත දක්වා සිදු වූ සිදුවීම් කීපයක් සංක්ෂිප්ත ව සටහන් කරමි.
- මගේ ගීත ඇල්බමයක් සඳහා අමරදේව, සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් යන තිදෙනා යොදා ගැනීමට අවැසි විය. තිදෙනාම සිංග් ලංකා ලේබලය යටතේ ගිවිසුම්ගතව සිටි හෙයින් කුලරත්න ආරියවංශ මුණ ගැසී උදව් පැතීමි. තිදෙනාගේ ගීත තුන සඳහා අවැසි සම්පූර්ණ මුදල ගෙවීමි. අමරදේව ගායනා කළ ගීතය ටොරානා ලේබලයෙන් නිකුත් විය. දීපිකා ගැයූ සස්වාමිකයි ස්වාමී ගීතය තරමක් ජනප්‍රිය විය. සුනිල් එදිරිසිංහ ගැයූ ගීතය අස්ථානගත විය.
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අමරසිරි පීරිස් සහ කසුන් කල්හාර ගී ගයන නාලක අංජන කුමාර සංගීතවත් කරන ප්‍රසංගයක් සංවිධානය කළේ ය. ප්‍රසංගය අතරතුර ඇතැම් ගීත පිළිබඳ රසවින්දනාත්මක අදහස් ප්‍රකාශ කරන්න යැයි මහා ශිෂ්‍ය සංගමය මට ආරාධනා කළේ ය. ආරාධනාව ඉතසිතින් භාර ගත් මම එදින හිමිදිරි පාන්දර සිට වැව රවුමේ හෝටල් කාමරයකට වී ප්‍රසංගය සඳහා සූදානම් වීමි. විවිධ පීඨවල සිසු සිසුවියන් ද මහැදුරුවරුන් ද සහභාගි වන ප්‍රසංගයකට මා හෝම් වර්ක් කළ යුතු ය. සවස හයට පමණ මා ප්‍රසංගයට යාමට සැරසෙද්දී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මගේ දුරකතනයට කතා කළේ ය.
"සර් එනවා නම් අමරසිරි පීරිස් එන්න බෑ කියනවා. එයා දැන් වරකාපොළ හරියේ. වාහනය හරවගෙන කොළඹ යන්න හදනවා. සර් එක්ක මොකක් හරි අවුලක්. අපි මොකක්ද කරන්නේ සර්?"
"අවුලක් නම් එයා කෙළින් කියන්න ඕනි. සිංදු කියන්නේ මම නෙවෙයි එයානේ. එයාට ඇවිල්ලා සිංදු කියන්න කියන්න."
"අනේ තැන්ක්යූ සර්. අපි එනවුන්ස් කරලා කියන්නම් අසනීපයක් නිසා සර් ආවේ නෑ කියලා."
"ආන්න... ඒ කැරි වැඩේට මං ආස නෑ පුතා. මං ඇවිල්ලනේ ඉන්නේ. එහෙනං කියන්න සන්නස්ගල එනවා නම් අමරසිරි පීරිස් එන්නේ නෑ කිව්ව කියලා. මං ස්ටේජ් එකේ වැඩේට සම්බන්ධ වෙන්නේ නෑ. හැබැයි මං ෂෝ එකට එනවා."
මම රාත්‍රී 7ට පමණ ප්‍රසංග පරිශ්‍රයට ගියෙමි. වේදිකා පසුබිමට ගොස් කසුන් කල්හාරත් නාලක අංජනත් සමඟ සුහද කතාබහක නියැළුණෙමි. සංවිධායකයෝ උපකුලපතිතුමා සමඟ පෙරපෙළ මුල් අසුනේ මා අසුන්ගත කළහ. අපි ආරාධිතයෝ පහන් දැල්වූමු. ඉනික්බිතිව මියගිය රණවිරුවන් වෙනුවෙන් සියල්ලෝම නැඟී සිට විනාඩියක් නිහඬව උපහාර දැක්වූහ. 'අපි කැම්පස් යන කාලයේ අපි ආචාර කරපුවට දැන් කැම්පස් එවුන් හූ කියනවා. අපි හූ කියපු එවුන්ට මුන් ආචාර කරනවා. කාලේ තාලේ මරු ඕයි' යන්න මම දවසක් පේරාදෙණියේ මහැදුරු ලියනගේ අමරකීර්තිට කීවෙමි.
අමරසිරි පීරිස්ගේ දියණියෝ දෙදෙනාම අපේ සිංහල පන්තියේ පූර්ණ කාලීනව ඉගෙන ගත් ආදිශිෂ්යාවෝ ය. අමරසිරි පීරිස් මගේ ගීත දෙක තුනක් ද ගායනා කළ, ඉඳහිට ප්‍රසංගයක දී හෝ ස්ටුඩියෝවක දී මුණගැසෙන ගරු කටයුතු ජ්‍යේෂ්ඨයෙකි. ඇත්තටම අමරසිරි පීරිස් ශිල්පියා කුප්රකටව මා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?
"සුනිල් එදිරිසිංහ එයාට එක එක ලණු දෙනවා. එයා කඹේ පිටින් ගිලිනවා." තතු දත්තෝ මා ඇති නැති තැන්වල කියති.
- ස්වාධීන රූපවාහිනිය මහරගම යූත්හි වික්ටර් රත්නායකගේ ඒක පුද්ගල ප්‍රසංගයක් සංවිධානය කළේ ය. ඒ සිංහ සමාජයේ ද අනුග්රහයෙනි. නිවේදකයකු ද සම්බන්ධ කර නොගෙන එකී ප්‍රසංගය රසවින්දනාත්මක ව මෙහෙයවීමට මට පැවරිණි. වික්ටර් මගේ සහභාගිත්වය ප්‍රතික්ෂේප කළ අතර එසේ නොවුවහොත් තමා ප්‍රසංගයට සහභාගි නොවන බවත් තරයේ කිව්වේ ය. වික්ටර් ස්වකැමැත්තෙන්ම මගේ ගීත කීපයක් ද ගායනා කොට ඇති නිසා මේ අවුල අලුත් විෂබීජයක් යැයි මම උපකල්පනය කළෙමි. මම වික්ටර්ගේ දෙටු පුත් ජයන්ත රත්නායකගෙන් විමසීමි.
"අයියා අපිත් එක්ක අවුල් වෙන්න එපා. දන්නවානේ තාත්තාගේ හැටි. දැන් සුනිල් අංකල්නේ ආශ්‍රය කරන්නේ. උදේ හවස ලණු දෙනවා. මෙයා ගිලිනවා."
සුනිල් අංකල් යනු සුනිල් එදිරිසිංහ ය.
- සිරස රේඩියෝවේ මා කළ ආදරෙත් එක්ක තුන් පැයක් වැඩසටහනත්, දෙරණ රේඩියෝවේ කළ හීන ඇහිඳින යාළුවෝ වැඩසටහනත් වඩා ආශාවෙන් ඇසූවෝ දේශජ හිතැති විප්‍රවාසී ලාංකිකයෝ ය. උක්ත වැඩසටහන්වල වැඩිපුරම රසවිඳ ඇත්තේ වික්ටර්, සුනිල්, අමරසිරි ත්‍රිත්වයේ ගීත ය. ඉතාලිය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ මැදපෙරදිග රටවල් කීපයක රේඩියෝ මිතුරෝ සංවිධානය කළ ප්‍රසංග හත අටකට ම මට ආරාධනා කළහ. අප ආදරය කරන ගායක ත්‍රිත්වය මගේ සහභාගිත්වය ප්‍රතික්ෂේප කළහ. සංවිධායකයෝ ඇති තතු ඇති තරම් මා සමඟ පවසා ඇත.
තිස් වසරකට පෙර රැඩිකල් කවි ලියූ, සම්මාන ප්‍රතික්ෂේප කළ සුනන්දා පසුව බහුලව කවි නොලියන පාසල් ගුරුවරියක බවට පත් වූවා ය. එදා අවඥාවට ලක් වූ රෝසි සේනානායක යූ.ඇන්.පීයේ කොළඹ නගරාධිපතිනියයි.
යූ. ඇන්. පී ගම්උදාවේ සිංදු කීවාට එදා හූ කී මම පසු කලෙක කොළඹ දිස්ත්‍රික්කයේ යූ.ඇන්. පීයෙන් ඡන්දේ ඉල්ලූ අපේක්ෂකයෙක් වීමි. මට පිටුපස පේළියේ සිට හූවේ නායකත්වය ගත් කිංස්ලි කොළඹ ආනන්දේ ගුරුවරයෙක් ය. ජනක පරණමාන නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ය. සුනිල් හෙට්ටිආරච්චි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ය. සුනිල් එදිරිසිංහ හූවේ නායකත්වය දුන් ඔවුන් තිදෙනා හඳුනන්නේ නැත. මගේ පාපෝච්චාරණය නිසා සුනිල් එදිරිසිංහ හඳුනන්නේ මගේ අනන්‍යතාවය පමණ ය.
පසුගියදා තරුණයෝ දෙදෙනෙක් උදය ගම්මන්පිලගෙන් සහ දුමින්ද දිසානායකගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන් දෙදෙනාගේ අනන්‍යතාව වෛරසයක් මෙන් ලොවට හෙළි වීම, ඔවුන් පසුපසම භූමරංගයක් මෙන් ජීවිත කාලය පුරාම විත් ප්‍රතිඵල දෙන ක්රියාවලියකැයි සිතමි.
ඩබ්. ජයසිරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් සම්මාන ගැනීම පූර්ව දැනුම්දීමකින් ප්‍රතික්ෂේප කිරීම, දිගුකාලීන ප්‍රතිවිපාක සහිත ක්‍රියාවලියක් නොවන්නේ ජයසිරි මැදිවිය ද ඉක්මවා සිටින හෙයිනි. මගේ මේ ලිවීම ද අනාගත ප්රතිවිපාකයක් බව දැනෙතත් මා මේ ලියන්නේ ද මැදිවිය ඉක්මවූ සිතිනි.”
උපුල් ශාන්ත සන්නස්ගල