“මනුෂ්‍යයෙකු සහ ශ්‍රී ලාංකික පුරවැසියෙකු හැටියට අප සෑම දෙනෙකුටම මේ අවස්ථාවේ විශාල වගකීමක් පැවරි ඇති බව සිහියේ තබා ගනිමු. අප එකිනෙකා සමග කතා කරන දේ, ෂොයා කරන දේ, පළ කරන දේ ගැන දෙවරක් තුන්වරක් නොව දස වාරයක් කල්පනා කිරීමේ වගකීම අප සතුව ඇත.
මේ ප්රහාරයන් සංවිධානය කළවුන් කවුරුන් වේවා ඔවුන්ගේ කුරිරු අපේක්ෂාව කුමක්දැයි හොදින් අවබෝධ කරගැනීමට සිහි කල්පනාව සහ ඥානය කැදවා ගැනීම සහ ඒ අපේක්ෂාව ඉටු කර ගැනීමට අනුබල ලැබෙන ආකාරයේ කිසිදු ක්‍රියාවකට කිසිදු අයුරකින් දායක නොවීමේ මහා වගකීමක් මනුෂයත්වයේ නාමයෙන් මේ මොහොතේ අප මත පැවරී ඇත. ප්‍රහාරය සැලසුම් කළේ කවුරුන් වේවා, ඔවුන්ගේ අරමුණ මිනිස් ජිවිත ගණනාවක් විනාශ කිරීම පමණක් නොවේ. ඒ හරහා රට තුළ මහා ව්‍යාකූලතාවයක් නිර්මාණය කර, ජාතීන් අතර ආතතිය උසි ගන්වා, සමාජය භේද භින්න කර ගිනි ඇවිලවීමයි. එය හොදින් අවබෝධ කර ගනිමු.
අනෙක් ජාතීන් ආගම් කෙරෙහි සතුරුභාවය ජනිත කරවන ආකාරයේ කිසිදු කටකතාවක්, ලියවිල්ලක්, ප්‍රකාශයක්, සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වීම වැළැක්වීමේ වගකීම අපි එකිනෙකා තනි තනිව බාර ගනිමු. එවිට එය මහා ව්‍යාපාරයක් බවට පත්වේවි.
අප මනුෂයයන් වී ඉපදුණෙමු. අනෙක් සහෝදර මනුෂ්‍යයන්ට සහෝදරත්වයද ආදරයද පළකරමු. අමනුෂ්‍යයන්ට ඉඩ නොතබමුයි, අදිටන් කරගනිමු. නොරැවටෙමු. පුරවැසියන් හැටියට අප සිහිබුද්ධියෙන් සහ ඥානයෙන් පරිණත වී ඇති බව ඔප්පු කරමු.
වේදනාවෙන්ද, භිතියෙන්ද පරිපීඩිත අපේ සහෝදර මනුෂයයන්ට ආදරයද සෙනෙහසද, පළ කරමු.....එකිනෙකාව රැකගනිමු.”
-නදී කම්මැල්ලවීර-