ස්වර්ණා මල්ලවආරච්චි යනු නිරතුරුවම ලාංකේය ජනසමාජයේ විවිධ පැතිකඩ තම රංගනය හරහා සමාජය වෙතම මුදාහල චරිතයකි, මෙනිසා ලාංකේය සිනමාව තුළ පනස් වසරක් පුරා සටහන්ව ඇති ස්වර්ණා නාමය පීඩිත ජනසමාජය මොනවට ප්‍රතිනිර්මාණය කළ සිනමාත්මක රූපකාය බවට පත්වීම අහඹුවක් දැයි නොදනිමි. නොයෙක් පිරිපත ඉවසන වියළි කලාපයේ වෙසෙන සියලු ස්ත්‍රී චරිත එවක ඇය අතින් නියෝජනය විය.
ගැහැණිය සමාජයේ දෙවන පෙළ පුරවැසියකු වීම සමාජයක් තුළ විසඳාගත යුතු ප්රශ්නයකි. නමුත් ඒ පිළිබඳව අපට දාර්ශනිකව සිතිය හැකි බව මෙහිදී අප අමතක නොකරන්නෙමු. මේ ආකාරයට ස්වර්ණා විසින් ලංකාවේ සිනමාවට ගෙන ආ ප්‍රධානතම අදහස වන්නේ ලංකාවේ සමාජයට ගැහැණියට ගැහැණියක වීම නිසාම ප්‍රශ්නයක් තිබෙනා බව සමාජය වෙතටම බැරෑරුම්ව ප්‍රකාශ කිරීමයි. අපට ඇය කෙරෙන් ඉස්මතු වන්නේ අධිපතිධාරී නිළිය නොවන අතර ඇයගෙන් අපට දිස් වන්නේ අරගලයට සක්‍රීයව මැදිහත් වන ස්ත්‍රියයි. ඇයගේ රූපය මේ අනුව ද්විතියික ස්ථානයට පත් වේ. ඇයගේ මෝස්තර, විලාසිතා, අදහස්, කථා විලාසය අප සමාජයේ අනුකරණයට පත් වූවක් නොවන අතර එය අපගේ කර්කශ දිවිපෙවෙත නිරූපණය කළ ස්ත්‍රී රූපය බව පැවසිය හැකිය. ඒ අනුව සිනමාවේ සාරය ලබා ගැනීම සඳහා ස්වර්ණා සිනමා නිළිය නම් වූ දෙය කණපිට ගැසීමට තරම් නිර්භීත විය. ඇය රඟපෑ චරිතයන් අතර ප්‍රධාන වශයෙන් ඉස්මතු වන්නේ සමාජයේ දෛනික ජීවිතය තුළ දී අපට හමුවන චරිත වන අතර ඒ මඟින් ඇය අපට එම චරිතයන්ට වඩා අන් දෙයක් ගෙන එනු ලැබීය.
එමෙන් ම ස්වර්ණාවන්ට රඟන්නට ලැබුණු චිත්‍රපට වල ඛේදනීය භූමිකාවන් එවක වෙනත් කිසිදු නිළියකට කරන්නට නොහැකි විය. ඒ බොහොමයක් භූමිකාවල ඇය දූෂණයට හෝ අපහරණයට ලක්වූවා. ස්වර්ණා තරම් සිංහල සිනමාවේ (තමන් රඟපෑ චරිත තුළ) දූෂණයට හෝ අපහරණයට ලක්වුණු චරිතාංග නිළියක් නැති තරම්. ස්වර්ණාට මුවාවී රිදී තිරයේ අවිඥානකව මේ දූෂණයට ලක්වන්නේ නාගරික ස්ත්‍රියයි. පරිකල්පනය කරගත නොහැකි නාගරික ශෘංගාර සිහිනයයි. හැත්තෑව දශකයේ අගභාගයේ සිට අසූව දශකය පුරාමත්, අනූව දශකයේ මුල්භාගය වන තුරුමත් ඉලක්කය වැරදුණු දඩයක්කරුවන්ගේ ‘ගෙදර මුවහම’ වූයේ ස්වර්ණායි. තිරයේ මාලිනීට පෙම් බැඳ සිහිනයෙන් ඈ සමඟ යහන් ගතවන ලාංකික සිනමා ප්‍රේක්ෂකයා, ස්වර්ණාව මනසින් දූෂණය කරනවා. හංස විලක් වෙතින් පසුව අසූව දශකය පුරා ඈ රඟපෑ චිත්‍රපට ගොන්න ප්‍රේක්ෂක මනසේ මේ ෆැන්ටසිය ගොඩනගා ගැනීමට රුකුල් දුන් චිත්‍රපටයි.
ස්වර්ණාගේ සිනමා රංගය තුළ දැකිය හැකි වැදගත්ම ලක්ෂණය වන්නේ ඇය එක කෝණයකට දැමිය නොහැකි වීමයි. ඇය අසංගත රංගවේදිනියකි. විශේෂයෙන් ස්වර්ණා බොහෝ චරිත නිරූපණයේදී චරිතයට අදාළ සංකීර්ණ ඉංගිත සිය ශරීරය හරහා අතාර්කිකව මුදාහැරීම ඉතාමත් ප්‍රශස්තය ලෙස දැකිය හැක.
එහිදී බැලූබැල්මට ඇය මූලිකව නිරූපණය කර ඇති චරිතය වන්නේ ග්‍රාමීය පීඩිත ස්ත්‍රී ආත්මයයි. සුද්දිලාගේ කතාව (1985), සාගර ජලය (1988), අයෝමා (1995), මීහරකා (1993), බව දුක (1997), බව කර්ම (1998) හා අනන්ත රාත්‍රිය (1996) මෙම ලැයිස්තුවට ගත හැක. හන්තානේ කතාව (1967), නිම් වළල්ල (1970), හංස විලක් (1980), දඩයම (1984), චන්න කින්නරී (1998) හා ඇගේ ඇස අග දක්වා විශාල පරාසයක් ඒ අතර වෙයි. මේ සෑම චරිතයකම ඉහත කී සහසම්බන්ධ ඛණ්ඩනය සමඟ ස්වර්ණා මනෝවිශ්ලේෂණ අර්ථයෙන් සිනමා රංගයේ සංකේතීය යුගය (Symbolic) ලෙස අපට නම් කළ හැකිය..
ස්වර්ණා රඟපෑ සෑම භූමිකාවකම චරිතාභ්‍යන්තරය ගැඹුරින් ව්‍යවච්ජේදනය කරගත්තොත් එතැනදී අප දකින්නේ සැබෑ ස්වර්ණාමය. ඇගේ රඟපෑම අපේ සිනමාවට වඩා එහාට ගිය ගැඹුරු සංසිද්ධියක් වෙන්නේ එහෙයිනි. එහෙත් ඇය රඟපෑ කිසිම චරිතයක් අන්තර්ජාතික මට්ටමේ උළෙලකදී සම්මානයක් දිනා නැත. ස්වර්ණා නිරූපණය කළ සියලුම චරිත සම්මානයට රෙකමදාරුවක් ලැබුණද නොලැබුණද ඇය නිර්මාණය කළ භූමිකා සියලුම ආකාරයේ සෑම සම්මානයකටම අභියෝගයක් වීමේ ශක්‍යතාවක් සහිත වූ බව තර්ක කළ හැකිය.
දිගු නිහැඬියාවකට පසු ‘ඇගේ ඇස අග’ සිනමා පටයෙන් නැවත ප්‍රේක්ෂකාගාරය කැළඹූ ඇය, දශක පහක ඇගේ සිනමා දිවියේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය ඉඟි කළ බවක් එයින් හැගුනි. "දඩඉම " ද නුදුරේදීම තිරගත වීම හරහා ස්වර්ණා මල්ලවආරච්චි රංග න්‍යායේ ගැඹුර තවත් මේ හරහා අත්විඳිමට පිළිවන්. මෙරට වැඩිම හොඳම නිළිය සරසවි / OCIC සිග්නීස් / ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබා වාර්තාගත වැඩිම හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය. වසර 19කට පසු නැවතත් ජනාධිපති සම්මාන උළෙලේදී දක්ෂතම නිළිය ලෙස ගෞරවයට පාත්‍ර විය.
ස්වර්ණා මල්ලවආරච්චි (Swarna Mallawarchchi ) සිනමාවේ අභියෝගයක් වූයේ ගැහැනුන්ට නොවේ. මිනිසාගේ අනාගතය වෙනුවෙන් යැයි සිතා අපි පරම්පරා ගණනාවක් හදාවඩා ගත් නිසරු වටිනාකම්වලටය..
ධනංජය නානායක්කාර
උපුටා ගැන්මකි