දින කියන්නේ සමරන්න නියමිත දින පමණක් නොවේ. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමා විය.මේ දිනවලින් ඒ ඒ අදාළ දිනයන් හි සමරන්නට නියම කර ඇති කිසියම් මනුස්ස වර්ගයකට සිදුවන කෙහෙල්මලක් වේද? ලංකාවේ සමරන මේ දින ඒ දිනට පමණක් උත්සවාකාරීය. පොරොන්දු කෝටියකි. එහෙත් ළමා දිනය වැඩිහිටි දිනය කාන්තා දිනය ගෑනු ළමයින්ගේ දිනය අම්මා වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය පේ‍්‍රමවන්තයින්ගේ දිනය ආදී වශයෙන් වූ දිනවල සැබෑ අර්ථය ලංකාවේ දූපත් වාසීන්ට සැමරුම් දිනයක් පමණි.
වර්තමානයේ සමාජය තුළ ජීවත්වන බහුතරයක් ප්‍රතිශතයක් ලෙස වැඩි කාන්තාවන්ය. මේ කාන්තාවන් නාගරීක ග්‍රාමීය සහ අර්ධ නාගරිකය. රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා මැද පෙරදිග වැඩකරන කාන්තාවන් මෙන්ම කෘෂි කර්මය ඇතුළු ග්‍රාමීය කර්මාන්තවල නියතු කාන්තාවන් ඇතුළු සමස්ත කාන්තාවන් ම තම ශ්‍රමය තම පවුල සහ ආර්ථිකය සවිබල ගැන්වීම උදෙසා රැකියාවල යෙදෙමින් පවුලේ කටයුතු ද කරමින් දරුවන් රැකබලාගනිමින් කටයුතු කරයි.
රජ මාලිගයේ සිට පහළ දක්වා වූ ගැහැනු බහුතරයක් විවාහක පුරුෂයා විසින් නොසළකා හරිනු ලැබ තිබේ. ස්වාමියා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. පිරිමි බහුතරයක් සිය විවාහක කාන්තාවන් ගෙන් පිට වෙනත් කාන්තාවක හෝ පුරුෂයෙකු සමග ලිංගික සම්බන්ධකමක් මෙන්ම මානසික සම්බන්ධකම් ද පවත්වයි.
ජනාධිපතිගේ සිට ගොවිපලේ වැඩ කරන සාමාන්‍ය මිනිසා දක්වා මේ කාරණය සත්‍යකි. ලංකාවේ පිළිගත් වෘත්තිකයින් ව්‍යාපාරිකයින් ති්රිවිධහමුදා සේවයේ නියතු වූවන් පොලිසි මෙන්ම සකල විධ රැකියා ක්ෂේත්රවල නියුතු පුරුෂයන්ගේ ස්ත්‍රීන් බහුතරයක් නොසළකා හැර රිජෙක්ට් කරන ලද්දන් ය.
මෙය සාමාන්‍ය දෙයක්යැයි බැලූ බැල්මට පෙනිය හැක. මෙය සාමාන්‍ය මානුෂීය මානසික ශාරිරික අවශ්‍යතාවක් වන්නේ ය යන ආකල්පයෙන් බැලිය හැක. පිරිමින් හා විවාහ වන ගැහැනු දරුවන් හදා වඩා ගනිද්දී පවුලේ කටයුතු වලට කැපවෙද්දී පිරිමි තම කුටුම්බයෙන් එළියේ සබඳකම් ගොඩ නගාගන්නේ බොහෝ විට තම විවාහක ස්ත්‍රිය ගේ මානසික සහ ශාරිරික අවශ්‍යතාව නොසළකා මහරිමිනි.
මේ සම්බන්ධව කාන්තාවන් කිහිප දෙනෙක් සමග සාකච්ජා කළේය. ඒ කාන්තාවන් විවිධ වෘත්තීකයින්ය. වෛද්‍යවරියකගේ සැමියා ඇය සමග විවාහයෙන් වසර දෙකක් යනවිට වෙනත් අයෙකු සමග හදාගත් සම්බන්ධකමක් හේතුවෙන් එම වෛද්‍යවරිය සමග වූ ලිංගික සබඳකම් අත් හිටවූ බව ඇය පැවසීය. මේ නිසා ඇය දැඩි මානසික කැළඹීකට පත්ව වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටින බවත් ඇය කුඩා දරියකගේ මවක් වන බැවින් තම කුටුම්බය තුළම රැදී සිටින්නට ඇය තීරණය කර තිබේ.
රජයේ ලිපිකාරිණියක වූ කාන්තාවක් පැවසුවේ ඇගේ සැමියා කාර්යාල දුම්රියේ වෙනත් ගැහැනියක සමග සබඳකම් පවත්වන බවත් මේ වනවිට දෙදෙනා අතර අඩ දබර ඇතිවන බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම මානසිකත්වයට ද ඉන් හානියක් සිදුවේ යැයි යන බියෙන් ඇය සියල්ල ඉවසා දරා සිටින බවයි.
දරුවන්ද තම පියාගේ වෙනත් සම්බන්ධකම් ඇති බව දැන සිටින බවද ඇය පැවසූ අතර නමුත් තමන් දරුවන්ට දරුවන්ගේ පියා සමග තරහක් වෛරයක් ඇති නොවන ආකාරයෙන් පවුල තුළ කටයුතු මෙහෙයවා ගන්නා බවත් පවුලේ මගුලකදී මරණෙකදී පවුලක් හැටියට පෙනී සිටින බවත් ඇය පැවසුවේ සිනාසෙමිනි.
ආරක්ෂක අංශයේ සේවයේ නියතු වගකිවයුතු නිළධාරියෙක්ගේ බිරිඳක් ප්‍රකාශ කළේ සිය සැමියා විවාහයෙන් වසර පහක පමණ කාලයක් තමා සමග සතුටින් සිටි බවත් ඔහුගේ කාර්යාලයේ සිටන තරුණියක සමගත් වෙනත් අයත් සමගත් ආරක්ෂක හමුදා ඇඳුමට මුවාවී බොහෝ සම්බන්ධකම් පවත්වන බවත් සිය දියණියගේ යෙහෙළියකගේ මවක සමග ඇතිකරගත් සම්බන්ධයක් දුර දිග ගිය බවත් එම සැමියා බිරිඳවත් රැගෙන රටින්ද පිටව ගිය බවත්... සැමියා තමා සමග නැවත කිසිදිනක සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළ බවත් ඇයට කැමති තීන්දුවක් ගන්නා ලෙසත් පවසා ඇති අතර ඔහු දිගින් දිගටම වෙනත් සම්බන්ධකම් පවත්වාගෙන යමින් සිටින බව පැවසීය.
මට දරුවො තුන්දෙනයි. මට ගන්න තීරණයක් නැහැ. සැමියාව හැරයාම හැර. නමුත් දික්කසාදයෙන් කෙළවර කරන්න තිබුනා . මම දරුවන් ගැන හිතලා ඒක කළේ නැහැ. අනිත් එක අපි වැඩ කරන ආයතනවල දික්කසාද හෝ සැමියා මැරණ කාන්තාවන් ට අනෙක් අයගෙන් ඇති කරන බලපෑම් තමන් දැක තිබෙන නිසා නිවස තුළ දෙපසට වී දරුවන් සමග ජීවත්වීම වඩා සුදුසු බව තීරණය කළ බවයි ඇය පැවසුවේ. මේ නිරීක්ෂණය සඳහා කතා කළ කාන්තාවන් ට වෙනත් පිරිමි අය සමග සබඳකම් නොවූ අතර ඔවුන් එහිදී පැවසුවේ තවක් පවුලක් අවුල් කිරීමක් සිදුවනවා හැර තමන්ටත් දරුවන්ටත් ඉන් සතුටක් සැනසීමක් නොලැබෙන බවයි. එක් කාන්තාවක් පමණක් සැමියා වෙනත් කාන්තාවක් ඇසුරු කරද්දීම ඇය සමගත් ලිංගික හැසිරෙන බවත් එම කාන්තාව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ යම්කසි රෝගී තත්ත්වයකට ඇය ගොදුරුවීම නිසාය. එය සමාජ රෝගී තත්ත්වයකි. ඇයද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසූ ඇය සැමියාගෙන් පමණක් සතුට අපේක්ෂා කළ නිසා තමන්ට මෙවැනි ආසාදනයකට ගොදුරු වන්නට සිදුවූ බව පැවසුවේ හඩමිනි.
අප නිරීක්ෂණය සඳහා තෝරාගත් කාන්තාවන් සියලු දෙනාම උගත් රූමත් පිළිගත් වෘත්තිකයින් වීම විශේෂත්වයක් වන අතර ආරක්ෂක සේවයට අදාල නිළධාරියාගේ බිරිඳ පැවසූවේ ලංකාවේ සියලුම හමුදා වල නිරත ඉහළ තනතුරු දරණ බොහෝ නිළධාරීන්ගේ බිරින්දෑවරු තමා මුහුන දෙන තත්ත්වයට නියත වශයෙන්ම මුහුන දෙන බවත් ඒ ගැහැනු වචනයක්වත් නොපවසා බොහෝ විට සමාජ හමුවලදී ආදරණීය සැමියන්ගේ බිරින්දැවරු ලෙස හැසිරෙන බවත් බොහෝ කාන්තාවන් තම කුටුම්බිය ආරක්ෂාව වෙනුවෙන් බොහෝ විට තම දරුවන් නිසා ඉවසා සිටිනවා විය යුතු යැයි ඇය පැවසූ අතර ඉන් සමහර කාන්තාවන් වෙනත් සම්බන්ධකම් පවත්වා ගෙන යන බවත් ඒවා සම්බන්ධයෙන් ස්වාමි පුරුෂයන් ප්‍රශ්න නොකරන බවත් පැවසීය.
බොහෝ කාන්තාවන් සම්ප්රදාය නිසා හෝ පවක් යැයි සිතා තමන්ට කැමැති වෙනත් සම්බන්ධකම් වල පටලැවී සිටිනවා නොවේ. ඔවුන් බෙහෝ දෙනෙක් පැවසුවේ කබලෙන් ලිපට වැටෙනවාට වඩා දරුවන් බලා කියා රැකියාව නිසි ලෙස කර ආර්ථික ස්වාධීනත්වය ලබා ජීවත්වම වඩා වටිනා බවයි.
දරුවන් සිටින බොහෝ පවුල් වල කාන්තාවන් මේ ආකාරයෙන් සිතා කටයුතු කළත් බොහෝ දරුවන් තම දෙමව්පියන් අතර වූ අඩ දබර මෙන්ම දෙදෙනා අතර වූ විරසකයන් අවබෝධකොට ගෙන සිටී. මේ දරුවන් පාසල තුළදී මෙන්ම නිවස තුළදී සමහරවිට හුදකලා වන්නවුන් හෝ නිරන්තරයෙන් අවධානය හෝ ආදරය ලබාගැනීම උදෙසා කටයුතු කරන්නන් විය හැකිය. දෙමව්පියන් දරුවන්ගේ මනෝ භාවයන් පිළිබඳ සැලකිළිමත් නොවේ. තම ලිංගික සතුට සහ මානසික සතුට පමණක් ප්රමුඛ කොට සළකයි. තම බිරිඳ දරුවන් ගේ මානසික පීඩා නොසළකා හරියි.
බහුතරයක් කාන්තාවන් මානසික ආතතියෙන් පෙළෙනවා පමණක් නොවේ. ඔවුන් විවිධ රෝගාබාධ වලට ලක්වෙයි. මේ නිසා නිසි ලෙස රාජකාරිය කිරීමේ යම් යම් මානසික පීඩාවන් ශාරිරික පීඩාවන් දක්වා වර්ධනය වෙයි. මෙම පීඩාව නිසා ඇතිවන ආතතිය තුළ හෘද රෝග ,පිලිකා මෙන්ම, දියවැඩියාව වැනි රෝගත් ස්නායු ආබාධ අමතක වීම් ආදී විවිධ බෝනොවන රෝග ඇතිවිය හැකියි.
තම විවාහක කාන්තාවට ලිංගික අවශ්‍යතාවන් ලබාදීම පිරිමි විසින් ප්‍රතික්ෂේප කිරීමට සාපේක්ෂව ගැහැනු විසින් පිරිමි ප්‍රතික්ෂේප කරනු ලබන ප්‍රතිශතය අඩුය. නමුත් පිරිමින්ට ලිංගික ශ්‍රමිකයින්ගේ සහයෝගය මුදලට හෝ ලබාගැනීමට හැකියාව ඇතත් කාන්තාවකට එවන් පහුසුකමක් සැකසී නැත.
එවන් සමාජ වටපිටාවක ආගම,සංස්කාතිය සහ නීතිය තුළ කාන්තාව වෙත පටවා ඇති පීඩාව සුළුපටු නොවේ.
මෙවන් මානසික පීඩාවන් වළින් හෙබි මේ රටේ බහුතරයක් කාන්තාවන් සිටින පවුල් තුළ හැදී වැඩෙන දරුවන්ගේ හෙට දවස කෙබඳු විය හැකිද?
මේ දරුවන් තම අනාගතය විවාහය පිළිබඳව දරන ආකල්ප කුමක් විය හැකිද? ඔවුන් බහුතරයක් විවාහය ප්‍රතික්ෂේප කිරීඹට ඉඩ තියෙනවා විය හැකිය.
මෙම නිරීක්ෂණ නියැඳියේ කාන්තාවන් කිහිප දෙනෙකුම තම දරුවන්ගේ මූලික අධ්‍යාපන කටයුතු ලංකාවේ පාසල් වල සිදුකොට උසස් අධ්‍යාපනය සඳහා ලංකාවෙන් බැහැරට යවන බවත් නැවත ලංකාවේ පදිංචිය සඳහා ඔවුන් කිසිවිටක නොපැමිණෙනු ඇති බවත් දරුවන් ට තමන් කැමති විදිහට ජීවත්වීම සඳහා වටපිටාව සකසා අධ්‍යාපනය ලබාදෙන බවත් පැවසීය. ඒ බොහෝ මව්වරුන්ට තිබුනේ පොදු අදහසකි.
මෙය තනි තනි පවුල් ඒකකවල ප්‍රශ්නයක් ලෙස කෙනෙකුට සිතන්නට පුළුවන. නමුත් මෙය සමාජ ප්රශ්නයකි. මෙය සංස්කෘතියක් නැති සමාජ ක්රමයක පැන නැගෙන ප්රශ්නයකි.
වේගවත් සංවර්ධනයක් වෙමින් යන රටවල් වල පැන නගින ප්‍රධාන සමාජ ප්‍රශ්නයක් බවට මේ පවුල් ඒකකයන් කඩා වැටීම නිසා අනාගත සමාජයට සිදුවන බලපැම් සුළුකොට තැකිය නොහැකි බවත් අවධාරණය කළ යුතුය.
සමාජ විද්‍යාඥයින් විසින් මෙවැනි සමාජයට බලපවත්නා වූ කාරණා සම්බන්ධයෙන් සමාජය තුළ ජිවත්වන බොහෝ දෙනාව දැණුවත් කළ යුතුය . අද පවතින මාධ්‍ය තුළ ද කලාව තුළද වෙළඳ අධිපති මතවාදයන් විසින් නිර්මාණකරුවා පොළඹවන්නේ ද මෙහෙයවන්නේ ද මෙවන් අවුල් සහගත සමාජ මානසිකත්ව නිර්මාණය කිරීමටය.
ආගමෙන් ද සංස්කෘතියෙන් ද මෙවන් කාරනාවලට පිළිතුරු සැපයිය නොහැක. වර්තමාන වන විට ආගමික විශ්වාස පිළිබඳ බොහෝ දෙනා අවනත නොවේ. ආගමික සමාජය සහ එය හසුරවන පුද්ගලයන් පිළබඳ බොහෝ දෙනාගේ විශ්වාසය බිංදුවට බැස ඇත. සංස්කෘතිය කිසිවකින් පෝෂණය නොවේ. යල් පැන ගිය නීති රාමු මෙන්ම මිනිසුන්ගේ හර පද්ධතිය උසස් නොකරන සංස්කෘතියක ලක්ෂණ තව දුරටත් මිනිසුන් ට කරපන්නාගෙන යාම වෙහෙසක් බවට පත්ව තිබේ.
මෙවන් වටපිටාවක කාන්තාවන් පෞද්ගලිකව මුහුන පාන මෙවන් ගැටළු සමස්ත සමාජයක් වෙතටම සමස්ත අනාගතයක් වෙතට ද බලපාන්නක් බවට පත්ව තිබීම ඛේදජනක ය.
වේගවත් සංවර්ධනයක් ඇති කිරීම ට සමගාමීව රටක නීති පද්ධතිය සංස්කෘතික සංවර්ධනය නව මානයන් වෙත ප්රවිශ්ටව ඒ සඳහා අවශය සමාජ වටපිටාව සැකිසීම සිදුකළ යුතුය. මානසික සෞඛ්‍ය ලිංගික අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් අධ්‍යාපනයක් සමාජයේ ඉහළ සිට පහළටම ලබාදිය යුතුය.
සැමියාගෙන් තමාව රිජෙක්ට් වීම මේ සියලු කාන්තාවන්ට තමාට තමා තුළ ලැජ්ජාව කළකිරීම සහ වේදනාවක් මානසික පීඩාවක් ඇතිවීම දක්වා වර්ධනය වී තිබීම ඛේදනීය ත්ත්වයකි. එම කාන්තාවෝ සියල්ල ඉවසා සිටිති. ඒ ඉවසීම පීඩාවක් දක්වා වර්ධනය වී එම පීඩාව විවිධ මානයන් තුළින් පිටාර ගලයි.
සමාජයේ රැකියාවල එහේ මෙහේ දුවන කාන්තාවන් බහුතරයක් මෙවැනි ප්‍රශ්නයකින් පීඩා විඳිමින් සිටන බවත් එම ගැටළුවලට පිළිතුරක් සොයා දෙන්නට හෝ සාකච්ජා කරන්නට කිසිවකු නොමැති බවත් තමන්ට නිසි පිළිගැනීමක් නීතියෙන් හෝ ලබා ගැනීමටහැකියාවක් නැති බැවින් මේ කාන්තාවෝ පීඩනය හිසෙහි දරා ජීවත්වෙමින් පිළිම මෙන් සිටිති.
වෛද්‍යවරිය අවසානයේ පැවසුවේ, අපි ලෝකෙ ඉතිහාසෙ ඉඳන් ගත්තත් මේ ඛේදවාචකයට මුහුන දුන් ගැහැනු ගැන කියවනවා සාහිත්‍ය නිර්මාණ විදිහට රසවිඳිනවා. ලෝකෙ වැඩියෙන්ම විකිනෙන්නේ මේ ගැහැනුන්ගේ ජීවිත පිළබඳ කතන්දර. අපි සමාජ ප්රගමනය ගැන කතා කරනවා. කාන්තා ළමා ප්‍රඥාප්ති හදනවා. නීතිය එක හා සමානයි කියලා ව්‍යවස්ථාවලින් තහවුරු කරලා තියනෙවා. ඒත් මේ කිසිවක් ඇත්ත නෙමේ. අපි අවුරුදු කීයක් තිස්සේ පරම්පරා කීයක් තිස්සේ මුනිවත රැකගෙන එනවද? අපි මේවා කිසිවිටක එළිපිට කතා කරන්නෙ නැහැ. අපිව ආගමික සමාජයෙන් සංස්කෘතියෙන් බැඳලා තියෙන්නේ. අපිට විවාහයෙන් පිට සබඳතා පව්කාරකම් වනචරකම් හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ.
තවත් පිරිමියෙක් තමයි විකල්පය. ඒත් තනියෙන් ජිවත්වෙන්න කෙනෙක් කැමතිනම් ඒ ගැහැනියට තනිව ජීවත්වෙන්න ඕනෙ කරන සමාජ හා සංස්කෘතික වට පිටාවක් නැහැ. අපි පාරවල් හදලා අලුත් ප්‍රවාහන සේවා දියනු කරලා හොස්පිටල් හදලා ඉන්ටර් නැෂනල් ස්කූල් හදලා... ඒත් ඒඩ්ස් හැදුන කාන්තාවන්ට ළමයින්ට සහ පිරිමින්ට මේ සමාජේ ගල් ගහනවා ඉස්කෝලයක් දෙන්න කව්රුත් කැමති නැහැ. බාරගන්න ඉස්පිරිතාලයක් නැහැ
පිරිමින්ට තියෙන ලිංගික නිදහස ගැහැනුන්ට නැහැ. නැමුත් ඒ නිදහස නැති ගැහැනු තමන්ගේ පවුල ඇතළෙ ලිංගිකව ප්‍රතික්ෂේප වෙනවා. එළියෙ තවත් ගැහැනියක් අවශ්‍යතාවයක් වෙද්දි ඒ ගැහැනියට හෝ ගැහැණුන්ට දෝෂාරෝපනය කරලා හෝ ඇගිල්ල දිගු කරලා වැඩක් නැහැ. මේ ස්වභාවික අවශ්‍යතාවන් පිළඳව නීති දාලා වැටවල් බඳින්න බැහැ. ඒක පුද්ගලික විය හැකියි. නමුත් මේ ගැහැණුන් මුහුන දෙන මානසික ඛේදවාචකයට යම් පිළිතුරක් සෙවිය යුතුයි.
ස්ත්‍රී ලිංගික අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කළ යුතු කාලය අපි අබිමුව තිබේ.
මනෝහාරී හේවාවසම්