"අරගලයට ආලය කරන්න" 'Dear Comrade'
අරගලකාරයෙක් විප්ලවවාදියෙක් පණට පණ පුදනා සහෝදරයෙක් කියනා කාරණය තෙළිඟු සිනමාවට නැඟෙනකොට එතනදී නිරායාසයෙන්ම මතුවෙන්නේ අධිබලැති ජවසම්පන්න බවක්. සාමාන්‍යයෙන් ගුරුත්වාකර්ෂණ රීතීන් සියල්ල උල්ලංඝනය කරනා දැවැන්ත සටන් පෙළහරපෑම් වල තෝතැන්නක් වන තෙළිඟු සිනමාව නිතරම වීරත්වය වෑහෙන මාධ්‍යයක්. ඒ අතරෙදී කලකට කලින් පෑයූ තාරකාවක් විසින් මේ සිනමා ප්රකාශනයට අපූරුවත්වයක් එක් කළා. චිත්‍රපටයේ නමත් තම නාමයත් අමරණීය එකක් බවට පත් කරවන්නට ඒ තාරකාවට හැකි වුණා. අර්ජුන් රෙඩ්ඩි හෙවත් විජේ දෙවරකොණ්ඩා නම් තාරකාව තෙළිඟු සිනමා අඹරේ සුවිශේෂී ආලෝක සටහනක් තැබුවා. එහි දෙවැනි අදියරක් වශයෙන් හඳුන්වන්නට හැකි තවත් අපූරු තෙළිඟු සිනමා නිර්මාණයක් විදිහට Dear Comrade තුළත් දෙවරකොණ්ඩා ගේ අනන්‍යතාවය අඩංගුයි.
බොබී නම් වන ඔහු, අර්ජුන් රෙඩ්ඩි තරමටම හොස්ස ලඟින් මැස්සෙක් ගියත් ලේ රත් කරගන්නා අයෙක් නොවුණත්, අයුක්තියට, අසාධාරණයට එරෙහිව ඕනෑම අවස්ථාවක තැනක් නොතැනක් තරාතිරමක් නොබලා තම දිවි දෙවෙනි කොට සටන් කරන්නට සූදානම් අයෙක්. කැම්පස් බිමේ දඩබ්බරයා විසින් හැමදාමත් ඇති කරනු ලබන අරගල විප්ලව නිසාම ඕනෑම සටනක මුල් පෙළ ඔහුටම හිමියි. කිසිවිටෙකත් කිසි අයෙකුටවත් මෙල්ල කළ නොහැකි ඔහුගේ ජන්ම ගතිය හුරුබුහුටි සුන්දරාවියක් ඉදිරියේවත් දමනය වෙයිද? ඇත්තටම එවැන්නියක් හමුවුවහොත් රළු පැවතුම් ඇති නමුත් කඩවසම් තරුණයාගේ හිත ආදරයකින් වෙළෙයිද? අරගල විප්ලව වලින් මිදුනා වූ සොඳුරු ප්‍රේම පාරාදීසයක ඔහුගේ හදවත නතර වෙයිද? මේ කියනා කාරණාවන් කොහොමින් කොහොම සිදුවෙයිද කියන සැක සාංකාව ඇවිළෙන්නේ "ලිලී" ගේ ආගමනයෙන්.
බොබී හටම පෑහෙන ලිලී ත් එතරම්ම දඟකාරියක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර, හැඩකාර, ක්‍රියාශීලී සහ විශේෂයෙන්ම ක්‍රීඩාශීලී ඇය වැනි චරිතයකට බොබී වැනි දැඩි පිරිමි පහසක් තමයි වඩාත්ම ගැළපෙන්නේ. නමුත් මෙතන තිබෙනා ගැටළුව වෙන්නේ අරගලයට විප්ලවයට නිතරම මුල් තැන දෙන ඔහුගේ දිවිය තුළ ලිලී වැනි ආදරවන්තියක් හට දෙවෙනි තැන ලැබීම අනිවාර්යයෙන්ම සිදු වන්නක් වීමයි. ප්‍රතිවිරුද්ධ කාන්තා පාර්ශ්වයට එය නම් කොහෙත්ම ඉවසුම් ඉහිලුම් නොදෙනා කාරණාවක් නිසා දෙදෙනා අතර පරස්පරයක් ඇතිවීමටත් ඉඩකඩ බොහෝයි. ඒ අතරෙදී දෙදෙනා අතර සිදුවනා බොහෝ ක්‍රියාවලීන් නිසා මේ කතන්දරය නරඹන්නාව විවිධාකාර ඉසව් ඔස්සේ එහා මෙහා අතරමං කරනු ලබනවා.
ප්‍රථම භාගය සහ දෙවන භාගය යනුවෙන් වෙන් කොට දැක්වුවහොත් සමස්ත කතන්දරය දීර්ඝ චාරිකාවක්. බොබීගේ ජීවන චාරිකාවේ කොටස් කරුවන් වන අපිට ඒ වෙහෙස වඩාත්ම තදින් දැනෙනවා. අරමුණක් සාක්ෂාත් කරගැනීම උදෙස ඔහු අරමුණක් හඹා ගියාද, එසේත් නැතිනම් තම අරමුණ ඔහුගෙන් දුරස් වූ නිසා ඉන් තව තවත් ඈතටම යන්නට ඔහු උත්සාහ කළාද ? දීර්ඝ වෙහෙසකාරී චාරිකාව අවසානයේදී යාන්තමින් ලබන අස්වැසිල්ලක් සමඟිනුයි නරඹන්නාව ඒ ක්ෂණයකින්ම ලිලී ගේ ජීවන චාරිකාවට එක් කරනු ලබන්නේ. එතනින් එහාට දිවෙනා බොහෝමයක් සංවේදී කාරණාවන් ඔස්සේ දෙදෙනාම විඳි අනේක වේදනාවන් ක්‍රමයෙන් සමනය වෙමින්
පවතින අතරේදී වසර කීපයකට පෙරාතුව තම දිවියෙන් අතහැරී ගිය අරගලකාරී විප්ලවවාදී ඉරණමට යළි
පණ පොවන්නට සිදුවන්නේ පිළිකුල් සහගත ලෙස තාඩන පීඩනයට ලක් වන්නා වූ සුවහසක් කාන්තා ප්‍රජාව නිසායි.
ලිලී ඔස්සේ විවර කෙරෙනා නවතම අරගලයට විප්ලවයට මෙතෙක් හමු නොවූ නායකත්වයක් ලැබෙන්නේ බොබී ගේ මාරාවේශය උපරිම තළයට නංවාලමින්. නමුත් ගැටළුවක් පවතියි. අරගලයා කා උදෙසාද? කා වෙනුවෙන් ද? ජීවිතයම
කඳුලු උල්පතක් කරගෙන සටන් වදිනවාද නැතිනම් හිතේ සැනසුම කෙසේ හෝ උත්පාදනය කරගනිමින් සිදු වූ සියලුම අපචාරයන් හදවතේම ගුලි කරගෙන නිහඬව ඉන්නවාද? ඇත්තටම ප්‍රායෝගිකව හිතල බැලුවොත් කොයිකද වඩාත් පහසු? ප්‍රශ්න වලට මුහුණට මුහුණ දී සටන් කරන්නට පිරිමියෙක්ට තරම් ගෑණියෙක්ට හයියක් තියෙනවාද? කාන්තාවක් නිහඬව සැඟවී සිටීමෙන් උහුලනා අසරණභාවය පිරිමියා කෙසේ නම තේරුම් ගනියිද?
බොබී - ලිලී මුහුණ දුන් මේ අනුපමේය ජීවන අත්දැකීම් තුළින් පැවසෙනා කතන්දරය තුළ සැබැවින්ම අසරණ වෙන්නේ නරඹන්නායි. කතන්දරය තුළ පසුකරනා විවිධාකාර අවධීන් හා ගැටෙනා නරඹන්නාට අවසන් භාගයට එනවිට එකම චිත්‍රපටයකින් චිත්‍රපට කීපයක්ම නැරඹූ බවක්ද දැනෙනු ඇති. විජේ දෙවරකොණ්ඩා ට අභියෝගයක් නැති චරිතයට කිසිසේත්ම නොදෙවෙනි ඉදිරිපත් කිරීමක් ලිලී ලෙසින් Rashmika Mandana විසින් අති ආකර්ශනීයව විදහා දැක්වීම නිර්මාණයේ වඩාත්ම සාර්ථකම කොටසයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ රචකයා විදිහට Bharat Kamma විසින් සියල්ල ආකර්ශනීයව තම කෝණයට නතුකර තිබෙනවා. අරගලයට ආලය කරන්න නම් විප්ලවවාදීයාව පූර්ණ වශයෙන් අවබෝධ කරගත යුතුමයි. Dear Comrade සමඟින් විප්ලවයට ජය වේවායි පතමින් අපි අරගලයට ආදරය කරමු.
සටහන : Luckshman Aranwala