lan englan tam

පුවත්

මොළය තලා නොගෙන නැරඹිය යුතු 'බැක්සයිඩ්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'බැක්සයිඩ්' කිව්ව ගමන් ලංකාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයෝ තරමක් දුරට කුලප්පු වෙන ස්වභාවයක් දකින්න තිබුණා සමාජ මාධ්‍ය තුළ. ඉදිරිපස සහ පසුපස යන්නෙන් භාෂාව තුළ හැඟවුම්කාරකයන් දෙකක් තිබේ. ඉස්සරහ නැතිනම් ඉදිරිපස පසුපස නොහොත් පිටිපස්ස... ඉස්සරහා පැත්ත, පස්ස පැත්ත කියන විට මිනිසුන්ගේ හැඟවුම්කාරකය ලිංගිකය. ඒ නිසාම 'බැක්සයිඩ්' කියද්දීම කුලප්පු වන්නේ ටෙලි නාට්‍යයට වෙන නමක් දාන්න තිබුණේ නැද්ද යනුවෙනි.

බැක්සයිඩ් ලිංගිකත්වය මනසේ ඇති වන වචනයක් ලෙස භාවිතා කරන්නේද මිනිසුන්මය. වචන යනු ගොඩ නගන ලද දෙයකි. ඒවායෙහි අර්ථ සපයා ගනු ලබන්නේද මිනිසුන් විසිනි. භාෂාව අශිෂ්ඨ යැයි කිසිවෙකුට චෝදනා කළ හැක. නමුත්, ඒ චෝදනාව නිවැරදි නොවේ. අශිෂ්ඨ වන්නේ භාෂාව නොව එය හසුරවන සහ එය තේරුම් ගන්නා ආකාරය අනුවය.
අපේ මිනිසුන් බොහෝ විට පරිභවය සඳහා විවිධ වචන භාවිතා කරති. ඒ අනුව ගත් කළ 'බැක්සයිඩ්' ඔවුන් භාවිතා කරන්නේ එහි අර්ථ නිරූපණය කරගන්නේ ඇඳෙහි කරන ගනුදෙනුවක ස්වරූපය සහ පැත්ත වෙනුවෙනි.
ඒ නිසා මේ දිනවල විකාශය වන වැදගත් මානසික කාරණයක් පිළිබඳව කතා කරන 'බැක්සයිඩ්' මෙරට ප්‍රේක්‍ෂකයන් බලන්නේ 'ලීක් වූ' වීඩියෝවේ ශලනිගේ පස්ස මිරිකන ආකාරය රස විඳින්නටය.
එහෙත් ජෝ දිසානායක විසින් අධ්‍යෂණය කරනු ලැබූ ශලනි තාරාකා දුලීකා මාරපන, ප‍්‍රියන්ත සිරිකුමාර, නෙත්මි රොෂෙල්, කසුනි කාවින්දි, පූජන දන්දෙණිය ඇතුළු පිරිස රංගනයෙන් උපරීම සාධාරණය නිර්මාණය ප්‍රේක්‍ෂකයන්ට සන්නිවේදනය කිරීම උදෙසා සමත්ව තිබේ. එමෙන්ම මෙහි සංගීතය, වේෂ නිරූපණය, ඇඳුම් කලා අධ්‍යක්‍ෂණය ආදී සෑම අංශයකින් පැසසිය යුතු මට්ටමේ තම කාර්ය භාරය සිදු කර තිබේ. එමෙන්ම මෙහි කතාව ලියූ තිර රචකයා වූ ලක්‍ෂමන් වත්තුහේවා මෙරට ටෙලි නාට්‍ය රසිකයින්ගේ උසස් රසවින්දනය උදෙසා හරවත් නිර්මාණයක් සහ නිර්මාණාත්මක විෂයක් කතාව වෙනුවෙන් තෝරාගැනීම කාලෝචිත බව මෙන්ම ටෙලි නාට්‍ය අතර ඇත්තාවූ ඒකාකාරී කතා රටාවෙන් ඔබ්බට ගිය කතා වස්තුවක් තෝරා ගැනීමම වටී. එමෙන්ම එහි දෙබස් ගලා යන රිද්මයද ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසා වේ.
ලක්‍ෂමන් වත්තුහේවා මෙන්ම මේ දිනවල සති අන්තයේ විකාශ්‍ය වන තවත් වෙනස් කතා තේමාවක් තෝරාගෙන ඇති අනුර එක්නායකගේ 'රීකන්ඩිෂන් කෙල්ල'ද බොහෝ රසික අවධානය දිනා ගත් තිර පටපතක් සහ ටෙලි නාට්‍යක් ලෙස සැළකිය හැක.
සරල තේමාවන්ගෙන් යුතු ටෙලි නාට්‍ය මෙන්ම යම්කිසි රසවින්දනයක් සහ විෂය කාරණාවක් පදනම් වූ හරවත් රසයක් වින්දනය කර ගත හැකි කලාවක්ද මේ රටේ ප්‍රේක්‍ෂකාගාරයට තිබිය යුතුය.
'බැක්සයිඩ්' වචන අර්ථය සයනයෙහි කරන කාර්යයක් යැයි සිතා හිනාවෙන, කතා ලියන, කතා හදන, කතා කරන අය අතර 'බැක්සයිඩ්' නරඹන ප්‍රේක්‍ෂකයෝ 'බැක්සයිඩ්' ටෙලි නාට්‍යය රසවිඳිති.
පසුගාමී ආකල්ප තව දුරටත් ඇති සමාජයක වචනාර්ථ වෙනුවෙන් හිනාවෙන, කතාකරන සමාජය වෙනස් කළ නොහැක. ඒ නිසාම බස් රථයකට නැග්ගත් සමහර ත‍්‍රීවිලර් ගමනාන්තයක එක්වන කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන, 'ජැක්' ගහන අය ඕනෑ තරම් සමාජය තුළ සිටිති. මේ කතාවට අනුව පස්ස මිරිකන්නේ එකෙකි. ඉන් පරිභව ලන්නේ තව එකෙකි. කෙසේ වුවත් 'බැක්සයිඩ්' ටෙලිවිෂන් කතාව තුළින් අප ජීවත් වන සමාජය තුළ විවිධකාරී මිනිසුන් සහ ගැහැනුන් ගැන විවිරණයක යෙදේ. අපේ රටේ බහුතරයක් මිනිසුන්ගේ ඉස්සරහා පැත්ත එකකි. 'බැක්සයිඩ්' එක ඒහෙමත් නැතිනම් පසුපස ඇත්තේ වෙනස් ස්වරූපයකි.
ජෝ දිසානායක ටෙලිවිෂන් අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස හමුවන්නේ නැති තරම්ය. ඔහු යූ ටියුබයේ ඔහුගේ නිර්මාණ බොහොමයක් ඉදිරිපත්කොට ඇත. ඒ නිර්මාණ වඩාත් හොඳ මට්ටමකින් රසවිඳීමේ අවස්ථාව යූ ටියුබ් නරඹන ප්‍රේක්ෂකයින්ට ලැබිණි. ජෝගේ ටෙලිවිෂන් ආගමනය පිළිබඳව ප්‍රේක්ෂකයන් සතුටු වනු ඇත. මන්ද යූටියුබ් ප්‍රේක්ෂකාගාරයට වඩා පුළුල් මහජන අවකාශයකට සිය නිර්මාණ කුසලතාව විදහා දැක්වීමට ලැබීම නිසාමය.
කෙසේවුවද බැක්සයිඩ් නම නිසා දරුවන් සහ වැඩිහිටියන්ට සාලයේ සිට එකට නැරඹිය නොහැකි යැයි විවිධ අදහස්වේ. 'ටේක් කෙයාර්' ටෙලි නාට්‍යය නරඹද්දීද එවැනි කතාබහක් ඇති විය. ටෙලිවිෂන් ප්‍රේක්ෂකාගාරය යනු සිනමාගාරය මෙන් එක එල්ලේ නරඹන කලා මාධ්‍යයක් නොවේ. පොඩි ළමයි යනු ටෙලිවිෂන් නාට්‍ය ප්‍රේක්ෂකාගාරයේ වැඩිහිටියන් සමග අසුන් නොගන්නා පිරිසකි. ඔවුන්ට ටෙලි විෂනයේ රසවිඳීම උදෙසා ඇත්තේ වෙනම ආකාරයේ කාල වේලා සහ නිර්මාණ වේ.
සම්ප‍්‍රදායික ලෙස සිතන විට නිර්මාණ රසවිඳිය නොහැක. අතලොසස්ක වූ එවන් ගතානුගතික අදහස් ඇති පරිණාමීය නොවූ සමාජයක් මෙන්ම බුද්ධියක් ඇති මිනිසුන් සිටිනා සමාජයට බැක්සයිඩ් යනු සාමාන්‍ය ටෙලි නාට්‍යයකි.
අපගේ ළමා කාලයේ 'ඩිනස්ටි' ඇතුළු ලොව වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලා විකාශ්‍ය විණි. එහෙත් අපේ වැඩිහිටියෝ අපිට ඩිනස්ටි නැරඹීම තහනම් කර තිබුනේ නැත. තොල් සිපගැනීම් කැපුවේ හෝ කොටු දැම්මේද නැත. ඒවා ඒ ආකාරයෙන්ම විකාශය විය. අද සිගරට්ටුවට, බීම වීදුරුවට, වතුර පිරවූ මත්පැන් බෝතලයකට පවා කොටු හෝ වෙනත් ඒවා දමා වසන බලධාරීහු සිටිති.
බොහෝ අය පවසන්නේ ගුණාත්මක උසස් රසයෙන් යුතු වූ කලාවක් ටෙලිවිෂනයට නෙගැලපෙන බවය. ලෝකයේ බොහෝ රටවල වැඩි ප්‍රේක්‍ෂක ආකර්ශණයක් යොමුව ඇත්තේ ටෙලිවිෂන් තුළින් ඉදිරිපත්කරන නිර්මාණ පිළිබඳවය. අපේ රටේ නිර්මාණකරුවන්ගේ හිඟයක් නැත. හොඳ උසස් රසයෙන් යුත් නිර්මාණ ප්‍රේක්‍ෂකයන් වෙත ගෙන යාම සඳහා වූ අදාළ මාධ්‍ය ආයතන තුළ මනස දියුණු නිලධාරීන් නොමැති වීමය.
කෙසේවුවද, ස්වාධීන රූපවාහිනිය මෙන්ම අනෙකුත් මාධ්‍ය ආයතන යම් ප‍්‍රමාණයකට මේ වන විට ප්‍රේෂකාගාරය පිළිබඳ විශ්වාසය ඇති කරගනිමින් හරවත් නිර්මාණ වෙනුවෙන් තම ගුවන් කාලය වෙන් කිරීමටත් නිර්මාණ තෝරාගෑනීමේ ක‍්‍රියා පටිපාටිය බුද්ධිමත් ලෙස වෙනස් කරගනිමින් පවතී.
ටෙලි නාට්‍ය කර්මාන්තය තුළ නිෂ්පාදකයාත් මාධ්‍ය ආයතනයත් ආර්ථික වශයෙන් ලාභ ඉපැයිය යුතුය. ලංකාවේ ටෙලිවිෂන් කර්මාන්තය තුළ වූ කලාවට වෙළඳ වටිනාකමක් තිබේ.
ඔබ වාඩිවී සිටින ඔබේ සිරුරේ මාංශමය කොටසට මොළය තලා නොගෙන බැක්සයිඩ් නරඹා රසවිඳ අවබෝධ කරගන්න!

මනෝහාරි හේවාවසම්

Back to top
Go to bottom

Popular News