lan englan tam

පුවත්

නිර්භීත, විශිෂ්ට,කුරිරු කතන්දරකරුවා - ක්වින්ටින් ටැරන්ටීනෝ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අද ලියන්න යන්නේ විශිෂ්ට ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් ගැන.

ඔහුගේ නම තමයි ක්වින්ටින් ටැර්න්ටීනෝ. ඔහු උපත ලබන්නේ 1963 අවුරුද්දේ මාර්තු 23 වෙනිදා, ඇමරිකාවේ ටෙනසී කියන පළාතේ නොක්ස්විල් කියන නගරයේ. ටැරන්ටිනෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරයක්, නිෂ්පාදකයෙක්, තිර රචකයෙක් වගේම නළුවෙක් ද වෙනවා.

ඈමරිකානු සිනමාවේ විතරක් නෙමෙයි ගෝලීය වශයෙන් ගත්තත් මේ වෙලාවේ සිනමාවේ නියැලිලා ඉන්න ප්‍රබලතම සහ බලපෑම් සහගතම සිනමා කරුවෙක් විදිහට ඔහුව හඳුන්වන්න පුළුවන්. ඇතැම් විචාරකයෝ නම් කියන්නේ ඔහුගේ පරම්පරාවේ  බලපෑම් සහගතම අධ්‍යක්ෂකවරයා ඔහු කියලා.
 
ටැරන්ටීනෝගේ ච්ත්‍රපටි ප්‍රධාන සිනමා උළෙලවල් ගණනාවකම ඇගයීමට පාත්‍ර වෙලා තියෙනවා. මේ වන විට ඔහු ඔස්කාර් සම්මාන දෙකක්, (BAFTA - British Academy of Film and Television Arts) සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් ලබා ගෙන තියනවා.එසේම සම්මාන සඳහා නිර්දේශ වූ අවස්ථා බොහෝයි. ඔහුගේ Pulp fiction වගේ චිත්‍රපට වෙනම cult එකක් පවා හදන්න සමත් වුණ චිත්‍රපටි.
ටැරන්ටිනෝගේ චිත්‍රපටි වල අන්තර්ගතය දිහා බැලුවොත්,  ඒවායේ හරියට නිකන් සංගීත රිදමයකට වගේ සිද්දවෙන ප්‍රචණ්ඩ දර්ශන (Stylized violence), දිගු වෙලාවක් තියෙන අසභ්‍ය වචන තියෙන සංවාද වගේ දේවල් වලින් නම් අඩුවක් නැහැ. හැබැයි මේ හැම දේ එක්කම ටැර්න්ටිනෝ තමන්ටම අනන්‍ය වෙච්ච සිනමාවක් ගොඩනගනවා.
 
 images 6
 
 
ටැරන්ටිනෝ එයාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ  crime drama  චිත්‍රපටයක් වන රෙසවියර් ඩෝග්ස් ‘Reservoir dogs’ කියන චිත්‍රපටියෙන් 1992 දි. 1994 දි නිෂ්පාදනය කරපු ඔහුගේ ‘Pulp fiction’ චිත්‍රපටිය විශාල සාර්ථකත්වයක් අත්කර ගත්තා වගේම කාන්ස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටියට ලැබෙන Palme d’Or  සම්මානය, හොඳම මුල් තිර රචනය සඳහා ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන රාශියක් දිනා ගන්න සමත් වුණා.  ඊළඟට ඔහු ෆ්‍රොම් ඩස්ක් ටිල් ඩෝන් (From dusk till dawn-1996) කියන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටය රචනා කරළා ඊට රංගනයෙන්ද දායක වුණා. ටැරන්ටිනෝ තුන් වෙනියට අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය තමයි 1997 නිර්මාණය වුන ජැකී බ්‍රවුන් චිත්‍රපටිය.
 
 images 5
 
ටැර්න්ටිනෝ රචනා කරලා අධ්‍යක්ෂණය කරපු Kill Bill චිත්‍රපටිය volume 01(2003) හා volume 02 (2004) ලෙස කොටස් දෙකක් ලෙස නිකුත් කළා. මෙම චිත්‍රපටය සටන්කලාව පාදක කරගත් ක්‍රියාදාම චිත්‍රපටි වල නව සලකුණක් තබපු චිත්‍රපටයක් ලෙස සැලකෙනවා. ඊට පස්සේ  ඔහු 2007 වර්ෂයේදී death proof චිත්‍රපටිය නිර්මාණය කළා. 2009 වර්ෂයේ ඔහු නිර්මාණය කරපු ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ්ස් (Inglourious Basterds) චිත්‍රපටය දෙවන ලෝක යුද්ධය හා නාසි පාලනය ගැන අපි දන්න කථාවට වඩා වෙනත් විකල්ප කතාවක් (ප්‍රබන්ධයක්) ගෙන එන චිත්‍රපටයක් වුණා. ඊට පස්සේ ඔහු 2012 දී නිර්මාණය කළ "Django Unchained" චිත්‍රපටය ඔහුට හොඳම මුල් තිර රචනය සඳහා වන දෙවන ඇකඩමි සම්මානය දිනා ගන්නත් හේතු උනා. ටැර්න්ටිනෝගෙ අටවන චිත්‍රපටය වන "The Hateful Eight" (2015) සංශෝධනවාදී බටහිර ත්‍රාසජනක චිත්‍රපටයක්.
ටැරන්ටීනෝ නවවන සහ අන්තිමටම නිර්මාණය කරපු ච්ත්‍රපටිය තමයි ‘Once Upon a Time in Hollywood’කියන්නේ.1960 දශකයේ අගභාගයේ පැරණි හොලිවුඩයේ සිට නව හොලිවුඩය දක්වා පරිවර්තනය වීමේ සංක්‍රාන්තික කාලයට අයත්  සිදුවීම මාලාවක් මේ චිත්‍රපටියේ දැක ගන්න පුළුවන්.ජනප්‍රිය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ තමයි මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ.
 
once upon a time 
 
 ඉතින් ටැරන්ටීනෝ ගැන මේ විදිහට අපිට ගොඩක් තොරතුරු කතා කරන්න පුළුවන්.
පහතින් දක්වලා තියෙන්නේ ක්වින්ටින් ටැර්න්ටීනෝ එක්ක විවිධ අවස්ථා වල පවත්වපු සම්මුඛ සාකච්ඡා වලදී ඔහු  සිනමාව හා ඔහුගේ ජීවිතය ගැන දක්වපු අදහස් කිහිපයක්.
 

 

 
“සමහර පිරිමි ළමයින් ක්‍රීඩාව සඳහායි,  
සමහර පිරිමි ළමයින් කාර් සඳහායි., 
 මම සෑම විටම සිනමාව සඳහා වූවෙමි”
 
ඇත්තටම ඔහු සිනමා පාසලකට ගිහින් විධිමත්ව සිනමාව ඉගෙන ගෙන ක්ෂේත්‍රයට ආපු කෙනෙක් නෙමෙයි. ටැරන්ටීනෝ චිත්‍රපට නරඹන්න පුරුදු වෙලා තියෙන්නේ ඔහු වැඩ කරපු වීඩියෝ සප්පුවකින්,
“මම කැලිෆෝනියාවේ මෑන්හැටන් බීච් වල වීඩියෝ සාප්පුවක වැඩ කළා. එතැනට කිව්වේ වීඩියෝ archives කියලා. අපි විශේෂ වුණේ විදේශීය චිත්‍රපට, සම්භාව්‍ය, රූපවාහිනී වැඩසටන් වගේ ඒවට, ඔයා දන්නවද මේ අමුතු දේවල්, මට රාක්කය ගානේ වගේ තිබුණා, හැම සතියකම මම අලුත් තේමාවකට කැමතියි.මයිකල් පාර්ක්ස්ගේ චිත්‍රපට, ඇන්ද්‍රේ ඩීටොත්ගේ චිත්‍රපට, ඒ ගබඩාව මගේ කලාත්මක ප්‍රකාශනයේ එක මූලාශ්‍රයක්.”
 
‘Kill Bill’ චිත්‍රපටය නිර්මාණය කිරීමට ටැර්න්ටිනෝගේ පෞද්ගලික අත්දැකීම් හේතු වූ හැටි ඔහු කියන්නේ මෙහෙමයි,
“මම මගේ පෙම්වතියගෙන් වෙන් වෙනවා,
මම ඇයට පිස්සුවෙන් වගේ ආදරය කරනවා, මගේ හදවත බිඳිලා ගිහින්.
මම වේදිකාවට ගියාම,
මට ඒ අත්දැකීම් මාත් එක්ක ගෙනියන්න වෙනවා
ලේඛකයෙක් විදිහටත් ඒක එහෙමම තමයි
මට දැනෙන ඒ වේදනාවට තමන්ගෙම මාර්ගයක් හොයාගන්න වෙනවා කතාවට ඇතුල් වෙන්න.  එහෙම නැත්නම් මම වෙන මොකද කරන්නේ?
මම අදහස් කළේ "කිල් බිල්" කියන්නේ උමතුවක් වගේ පුද්ගලික දෙයක් කියලා.
ඒක එච්චර පෞද්ගලික දෙයක් වෙන්නේ ඇයි කියලා සහ ඒක මගේ හදවත ඉරා දමන්නේ ඇයි කියලා ඔයාලා දැනගන්නවට මම කැමති නැහැ.
ඒ නිසා, මම ඒක තවත් දේවල් ගොඩක් ඇතුළේ  වළදානවා.
නමුත් තවමත් ඒ හැම දෙයක්ම ඇත්ත, ඒ ඔක්කොම මා තුළින් එන්නේ.”
 
 Untitled 1 ttt
 
 
ච්ත්‍රපට නිර්මාණය කිරීමේ අත්දැකීම ගැන ඔහු දක්වා ඇති අදහස් (ඉහත වීඩියෝව ඇසුරින්),
“මම චිත්‍රපටය හදන්න කලින් මගේ මනසින් චිත්‍රපටය දකිනවා. මම චිත්‍රපටය නරඹා තිබෙනවා.
මට සැබෑ දැක්මක් තියෙනවා.
අන්න එහෙමයි මම ඒක දකින්නේ”
 
“චිත්‍රපට නිර්මාණයක් යනු සාර්ථක හෝ අසාර්ථක දෙයක් නොවේ.
ඔබට දැක්මක් තිබේ.
ඔබට හඬක් තිබේ.
තවද, සෑම නව චිත්‍රපටයක්ම ඔබේ නව සංවාදයයි.”
 
“මෙම කලා ආකෘතියේ ඉහළම කලාකරුවන් සමග වැඩ කිරීමට හැකිවීම අපූර්ව අත්දැකීමක් විදිහටයි දැනෙන්නේ.
අපි සහ අපේ කණ්ඩායම දිගු කලක් තිස්සේ කරන කුඩා මන්ත්‍රයක් තිබෙනවා:
හරි අපි ඒ shot එක හරියට ගත්තා. නමුත් අපි තව එකක් කරන්න යනවා.අපි තව එකක් කරන්න යන්නේ ඇයි?"
ඊට පස්සේ මුළු කණ්ඩායමම කෑ ගහනවා. මොකද අපි චිත්‍රපට හදන්න ආසයි!”
 
 Untitled 1 bgd
 
 
මේ තියෙන්නේ ක්වින්ටින් ටැර්න්ටීනෝ ගෙ චිත්‍රපටි නමය. ඉතින් නිවාඩු වෙලාවක මේ විශිෂ්ට සිනමාකරුවාගේ නිර්මාණ බලන්න අමතක කරන්න එපා.
• Reservoir Dogs (1992)
• Pulp Fiction (1994)
• Jackie Brown (1997) 
• Inglourious Basterds (2009) 
• Kill Bill (2003) 
• Kill Bill: Volume 2 (2004)
• Django Unchained (2012)
• The Hateful Eight (2015)
• Once Upon a Time... in Hollywood (2019)
 
අන්තර්ජාලයේ ක්ව්න්ටන් ටැර්න්ටීනෝගේ සාකච්ඡා සහ ඔහු පිළිබඳ ඇති තොරතුරු ආශ්‍රයෙනි.
සැකසුම- යූමාල් කසුන්
Back to top
Go to bottom