හෙළ සිනමාවේ බිහිවූ විශිෂ්ට තිර රචකයෙකු සහ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ශූරීන් 2009 වසරේ අප්‍රේල් 18 වෙනිදා අභාවප්ප්‍රාප්ත වූයේ අද වැනි දිනකය. එවකට ඔහු හැටනම වන වියේ පසුවිය.
සිංහල හා ඉංග්‍රීසි භාෂාව විශිෂ්ට ලෙස හැසිරවීමේ ප්රාඥයෙකු වූ තිස්ස අබේසේකරයන් ලෙස්ටර් ජේම්ස් පිරිස් අධ්‍යක්ෂණය කළ 'නිධානය' (1972) තිරනාටකය රචනාකිරීමෙනි. ජී.බී.සේනානායකන් විසින් රචිත කෙටි කතාවක් වූ 'නිධානය' මිනිත්තු 100ක චිත්‍රපටයක් ලෙස තිස්ස අබේසේකරයන් තිරයට කළ ප්‍රතිරචනය එකල ඉහළම ඇගයීම් ලද්දේය.අනතුරුව ඔහු විසින් ඩී.බී. නිහාල්සිංහ වෙනුවෙන් රචිත 'වැලිකතර' (1971) දෙබස් සහිත තිරනාටකයද එකල එවැනිම වූ ඇගයීමක් ලැබුවේය.
රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් වාර්තා චිත්‍රපට 40ක් අධ්‍යක්ෂණය කර ඇති ඔහු 1999 වසරේ සිට 2001 වසර දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතීත්වයද දැරීය.
ලෙස්ටර්ගේ 'ගම්පෙරළිය' (1963) දෙබස් රචකයා වූ ඔහු 'දෙලොවක් අතර' දෙබස් රචකයා මෙන්මරංගනවේදියෙකු ලෙසද දායක විය.
'බිනරමලී' (1969) , 'අක්කර පහ' (1970), 'වීර පුරන්අප්පු' (1978), 'පොඩි මල්ලි' (1979), 'ගඟ අද්දර' (1980), 'මායා' (1984), 'කුලගෙය' (1982), 'ගුරුගෙදර' (1993), 'ලොකු දුව' (1996),'උප්පලවන්නා' (2007) සහ 'කුසපබා' (2012) ඔහුගේ තිර රචනයන්ය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ 'වීර පුරන්අප්පු' චිත්‍රපටයේ 'කුඩහපොල හාමුදුරුවන්' ලෙස ඔහු කරන ලද මිනිත්තු පහක රංගනය වෙනුවෙන් හොඳම චිත්‍රපට සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානය 1978 වසරේදී තිස්ස අබේසේකරයන් ලද අතර, 'අහසින් පොළවට' (1978), 'ගඟ අද්දර' (1980), 'මහගෙදර' (1982), 'ලොකුදුව' (1996), තිර රචනා වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන්ද ඔහු පුදනු ලැබීය.
'කරුමක්කාරයෝ' (1980), 'මහගෙදර' (1982), විරාගය (1987) ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ත්‍රිත්වයයි.
විරාගය සිංහල සිනමාවේ සිහිවටනාත්මක චිත්‍රපටයක් විය. ඔහුගේ සාහිත්‍යමය තිරනාටක රචනය දුහුනන්ට අත්පොතක්ම විය.
තම විරාගය තිරනාටකය ඇතුළත් ග්‍රන්ථයේ හැඳින්වීමේදී චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳව තිස්ස අබේසේකරයන් මෙසේ සඳහන් කරයි.
'සිනමා අධ්‍යක්ෂණය වනාහී බොහෝසෙයින් සිතටත්, කයටත්, මනසටත් එකසේ වද දෙමින් කළයුතු දුෂ්කර ක්‍රියාවකි. එවැනි දුෂ්කර ව්‍යායාමයකට ඔරොත්තුදීමට තරම් දැඩි වූ හිතක් හා කයක් බොහෝ කලාකරුවන්ට නොපිහිටයි. සිනමා අධ්‍යක්ෂණය සඳහා කවියෙකුගේ මෙන් සියුම් වූ සිතකුත්, නිර්ධය පාලකයෙකුගේ මෙන් දරදඬු පැවැත්මකුත්, පතල් කම්කරුවෙකුගේ මෙන් බොහෝ ආපදාවන්ට ඔරොත්තුදිය හැකි දැඩි කයකුත් අවශ්‍යය'
එහිම සිනමා තිරරචනය පිළිබඳව ඔහු මෙසේ සටහන් කරයි. 'සිංහල සිනමාවේ ගුණාත්මක ප්‍රගතියට ඇතිවන මහම බාධකවලින් එකක් වනුයේ වෘත්තීය මට්ටමේ තිර රචකයන් හිඟවීමයි. තිර රචනය පිළිබඳව නිවැරදි ශිල්ප සම්ප්රදායක් අප රට බහු ව්‍යාප්ත නොවූයේ රූපඥානය යනු කැමරා කෝණ හා රූප නිර්මාණය පමණකැයි සිතූ කාර්මික ශිල්පීන් සිංහල සිනමාවේ පරමේශ්වරත්වයට පත්වීමත්, රූප ඥානයෙන් තොර ලේඛකයන් තිර රචනයට ප්රවිශ්ට වීමත් නිසාය.
රූපඥානය යනු තාක්ෂණික දැනුමක් යැයි යන සාවද්යමතය පතළ කොට හරින ලද්දේ සිනමාකරණයේ ද්විතීයීක පක්ෂය වන්නාවූ කාර්මික පක්ෂය ඇසුරින් සාදාගත් ගුරුමුෂ්ටීන්හි අනුභාවයෙන් තම ආධිපත්‍යය රැක ගැනීමට සිතූ කාර්මිකයන් විසිනි. එම මතය කතා කලාව හා නාට්‍ය ශාස්ත්‍රය ඇසුරින් සකස්වූ ප්‍රතිභාවක් ඇත්තවුන් තිර රචනයට පිවිසීම වළක්වන්නක් විය'
වසන්ත ඔබේසේකරයන් විසින් සිංහල සිනමාවට හඳුන්වාදෙන ලද කාර්මික තිරනාටකයට එරෙහිව තම අදහස් දක්වන තිස්ස අබේසේකරයන් මෙසේ ප්‍රශ්න කරයි.
'වම්පස ඇති කැමරා කෝණ පිළිබඳ විස්තරයක් දකුණු පසින් ඇති ඊට අදාළ දෙබස් අතරින් දෑස් මාරුවෙන් මාරුවට යවමින් ඒවා සිතින් ගළපමින් කෙසේ නම් වෘත්තාන්තයක් කියවිය හැකිද? කතා කලාවේ හා නාට්‍ය ශාස්ත්රයේ සියලුම මූලික සිද්ධාන්තයන් නොබිඳ කෙසේනම් එවැනි වාච්යාභ්යාසයක යෙදිය හැකිද?'
(උපුටාගැනීම විරාගය – තිර රචනය ග්‍රන්ථය හැඳින්වීම)
තිස්ස අබේසේකරයන්ගේ සාහිත්‍යමය තිරරචනය හඳුනාගැනීමට විරාගය තිරනාටකයේ කොටසක් මෙසේ දක්වමු.
දර්ශන 94
අරවින්දගේ නිවස – බතීගේ කාමරය – අභ්‍යන්තර – හවස
කුඩා ඇඳක්, බාල මේසයක් හා බිත්තියේ එල්ලන ලද කන්නාඩියක්ද යුත් එම කාමරය අරවින්ද එහි සිටි කලට වඩා දැන් බෙහෙවින් වෙනස්ය. බිත්ති පුරා පිංතූර අලවා ඇත. මේසය පුරා බොළඳ නවකතා හා කවිපොත් විසිරී ඇත. තරුණියකගේ ඇඳුම් පැලඳුම් කිහිපයක් ඇඳ මතත්, බිත්තියේ ගසා ඇති බෝල කූඩුවකත් එල්ලා ඇත. කාමරය තුළට පිවිසෙන අරවින්ද මේසය මත වූ පතපොත පිරික්සා බලයි. පොතක් තුළ තිබී කොළයක් එළියට වැටෙයි. එහි අතිශයින්ම බොළඳ ග්‍රාම්‍ය අරුත් නඟන කවියක් ලියා ඇත. අරවින්ද එය කියවත්ම, තරුණියකගේ කටහඬක් එය හඬපටයේ ගායනා කරයි.
සඳ කැන් රැයේ මල් පිබිදෙන වෙලාවක
ගංගා තොමෝ යයි සිපගෙන ඉවුරුදෙක
කවුළුව ළඟ හිදිමි මම හුදකලාවෙක
නොදැනිද සුදෝ ඔබවත් මේ වියෝ දුක
එය යටපත් කරමින් තරුණියක් කතා කරයි
මට කතාකෙරුවද?
අරවින්ද හැරී බලයි, දැන් දාසය හැවිරිදි පිරිපුන් තරුණියක් වූ බතී කාමරයේ දොරළඟ සිටියි. අරවින්ද ඇය දෙස බලන්නේ කෝපයෙනි. ඇය ඇසිපිය නොහෙළා මුරණ්ඩු ලෙස ඔහු දෙස බලයි. ළමාවියේදී බතීගේ මුහුණේ වූ සුරතල් දඟකාරබව ඇය කෙරෙන් පලාගොස් ඇත.
පිරුණු කොපුල් තල ඇති ඇගේ මුහුණේ දෙඇස ලොකුය. මඳක් විවරවුණු දෙතොල් මහත්ය. ඇගේ කය උතුරන තරම් ජීවයෙන් පිරී බඳුනක් වැන්න. අරවින්ද අතවූ කොළ කැබැල්ල දෙස බලන ඇය නුරුස්නා බැල්මක් අරවින්ද වෙත එල්ල කරයි.
විරාගය චිත්‍රපටයේ අරවින්දගේ චරිතයට ප්රවිශ්ට වීම පිළිබඳව තම මතකය අවදිකරන ප්‍රවීණ රංගනවේදී සනත් ගුණතිලක මෙසේ ප්‍රකාශ කළේය.
'විරාගය තිරනාටකය කියෙව්වට පස්සේ මට හොඳින්ම අවබෝධ වුණා මම නිරූපණය කරන අරවින්දගේ චරිතයේ අවසාන කාලය ඉතාම කෘෂ වූ සිරුරක් සහිත පුද්ගලයෙකු ලෙස නිරූපණය කළයුතු බව. මේ පිළිබඳව අධ්‍යක්ෂක තිස්ස අබේසේකරයන් සමග සාකච්ඡා කළාම අදාළ චරිතයේ යථා ස්වරූපය සාර්ථකව පිළිඹිබු කිරීමට කෙසඟ සිරුරක් බවට මගේ සිරුර පත්කළ යුතු බව මට ඔහු අවධාරණය කළා.
එපමණක් නොවේ ඒ සඳහා ආහාරපාලනය කළයුතු අන්දම දන්නා විශේෂඥ වෛද්‍යවරයෙක් වන මහාචාර්ය නානායක්කාර මහතා වෙතට මා යවන්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහ හරහායි. ඔහුගේ උපදෙස් අනුව මාස පහක් ආහාර ගැනීම ක්රමක්රමිකව අඩුකළා. අරවින්දගේ තරුණ වියේ සිට අවසානය දක්වා ජීවිතයේ සිදුවන වෙනස දර්ශන අනුපිළිවෙළ අනුව කරන ලෙස මම කළ ඉල්ලීමට අනුවයි රූගත කිරීම් කළේ.
තිස්ස අබේසේකරයන්ගේ අධ්‍යක්ෂණය ක්‍රියාත්මක වීමට පෙර ඔහු හැමදෙනාටම තම චරිතය අවබෝධ කරලා දෙනවා. රූගත කිරීමේ පසුතලයට අපි යන්න ඕන අපේ චරිතය පිළිබඳව පැහැදිලි අවබෝධයකින්. ඔහු චරිතවලට රංගවේදියා ආවේශ කිරීමේදී එම චරිතයේ මානසික තත්ත්වය එම රූගත කිරීමේ දින හෝ ඊට ආසන්න දිනක සිදුවූ පෞද්ගලික හෝ පොදු සිදුවීමක් සමග බද්ධකොට රංගන ශිල්පියා සමග කතාබහේදී චිත්‍රපට‘යේ අදාළ සිද්ධියට අනුගත වන ලෙස නැවත සකස් කරනවා.
අධ්‍යක්ෂණය පිළිබඳව ඒක වෙනම අභ්‍යාසයක්.
විරාගය රූගත කිරීමේ කාලය දින 65යි. අවසාන රූගත කිරීමේ දිනවල කෘෂවූ අරවින්ද චරිතය වෙනුවෙන් මම පානය කළේ දෙහියුෂ පමණයි. ඉතාම විඩාබර බවක් මෙන්ම අන් අය නොරුස්සනා ගුණයකුත් මා වෙතින් ස්වභාවයෙන්ම දිස්වුණා.
වතාවක් ශරීරයේ දුර්වල බව නිසාම දැඩි ආලෝක ප්‍රභව මැද නිද්රාජනකව සිටි මගේ සිරුරේ සීතල තිස්ස අබේසේකරයන්ගේ අතට දැනී රූගත කිරීම සඳහා කළ ආහාර පාලනයෙන් මට මිදෙන ලෙසත් ඔහු බල කළා. ඒ දේ මම කොහොම හරි දරාගෙන ඉතිරි රංගනයත් කළා. අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරවත් ඉහළ ඇගයීමක් විරාගයේ අරවින්දට ලැබුණා.
මට ඒ පිළිබඳව හරිම සතුටුයි. හරියට රිචර්ඩ් ඇටෙන්බරෝගේ 'ගාන්ධි' චිත්‍රපටයේ මහත්මාගාන්ධිගේ චරිතය නිරූපණය කරන්න බෙන් කිංස්ලි කළ කැපවීම වගේ කැපවීමක් මමත් කළා නේද කියන ආඩම්බරයකුත් මගේ හිතට ආවා.
හැබැයි පවුලේ වෛද්‍යවරයාගෙන් නම් මම හොඳටම බැණුම් ඇහුවා. රංගනය වෙනුවෙන් තමන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි මෙවැනි කටයුතු කිරීමෙන් වළකින ලෙසත් ඔහු මට අවවාද කළා. ඔහුගේ උපදෙස් මත මගේ සිරුර පෙර පැවති තත්ත්වයට ගන්න තවත් මාස හයක් වෛද්‍ය ප්‍රතිකාර ගන්න සිද්ධ වුණා''
තිස්ස අබේසේකරයන් 2000 වසරේ රචිත සිනමා සිතුවිලි ග්‍රන්ථයේ නවකතාවක් සිනමාවට නැගීම සම්බන්ධව මෙසේ සටහන් කරයි.
'නවකතාවක් හෝ නාට්‍යයක් ඇසුරින් තිරනාටකයක් රචනය කරද්දී මුල් කෘතියේ නැති ජවනිකා මවන්න තිරනාටක රචකයාට සිදුවෙනවා. නවකතාවේ කතාකරුවා චරිතවල අභ්‍යන්තර හැඟීම් බොහෝවිට ඉදිරිපත් කරන්නේ ජවනිකා හෝ අවස්ථා මගින් නොවේ. කතාකරුවා ඉදිරියට විත් අසවලාට මේ විදියේ හැඟීම් පහළ වී යැයි විස්තර කරනවා. එය තිරයේ පෙන්වීමට නම් ඒ විස්තර ඇසුරින් අර හැඟීම් සිතුවම් කරන ජවනිකා මවන්න ඕන. තිරනාටකයකට ඇතුළු කළ හැක්කේ දෘශ්‍ය හා ශ්‍රව්‍ය දේ විතරයි'
සටහන පද්මකුමාපී. මෙත්තසේන