ක්‍රියාදාම පුරාවෘතයක් බඳු හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් හට ඔස්කාර් ගෞරව සම්මානය (honorary Oscar award) පිරිනැමීමට තීරණය කොට ඇති බව ඔස්කාර් සම්මාන පිරිනැමීම පිළිබඳව මූලිකත්වය දරන (AMPAS) ඇකඩමිය මේ වන විට නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් වන්නේ ඔහුගේ නවතම චිත්‍රපටය වන Mission: Impossible - The Final Reckoning නිකුත් වී මාසයකට පමණ පසුවය වීමත් විශේෂත්වයක්. Mission: Impossible ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ අටවන චිත්‍රපටය වන්නේ එයයි.
ඒ අනුව මෙවර ටොම් කෲස් සමඟ ප්‍රකට ඇමරිකානු නර්තන ශිල්පිනියක් සහ නිළියක වන ඩෙබී ඇලන් සහ නිෂ්පාදන නිර්මාණකරු වින් තෝමස් ද ඇකඩමි ගෞරව සම්මානයෙන් (honorary Oscar award) පිදුම් ලැබීමට නියමිතයි.
එමෙන්ම ප්‍රකට ඇමරිකානු ගායිකාවක හා සංගීතවේදිනියක වන ඩොලී පාර්ටන් හට (ජීන් හර්ෂෝල්ට් මානුෂීය සම්මානය) පිරිනැමීමට ද නියමිතව තිබෙනවා.
වමේ සිට දකුණට - ටොම් කෲස්, ඩොලී පර්ටන්, ඩෙබී ඇලන්, වින් තෝමස්
ඒ අනුව මෙම ඔස්කාර් ගෞරව සම්මාන හතරම, 2025 නොවැම්බර් 16 වන දින ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත 16 වන වාර්ෂික ආණ්ඩුකාර සම්මාන උළෙලේදී (Governors Awards) පිරිනැමීමට නියමිත අතර නිල උත්සවය හොලිවුඩයේ රේ ඩොල්බි බෝල්රූම් හිදී (Ray Dolby Ballroom at Ovation Hollywood) පැවැත්වෙනවා.
සිය දිවියේ සිනමා හා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කල ශිල්පීන් වෙනුවෙන් ඔස්කාර් ගෞරව සම්මානය (honorary Oscar award) පිරිනැමෙන අතර මීට පෙර මෙම සම්මානයෙන් පිදුම් ලැබූවන් අතර චාර්ලි චැපිලින්, වෝල්ට් ඩිස්නි, D.W. ග්‍රිෆිත් වැනි සිනමා හා කලා ක්ෂේත්‍රයේ පුරාවෘතමය චරිත ඇතුළත් වෙනවා.
ඒ අනුව සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස් මෙම සම්මානය ලබා ගැනීමෙන් පසු ඇතුළත් වන්නේ සිනමා හා කලා ක්ෂේත්‍රයේ මෙම විශිෂ්ටයන්ගේ ලැයිස්තුවටයි.





