දස්සා.... ඔන්න දැන් තාත්තා කෙනෙක්...? මොකද හිතෙන්නේ?
අම්මෝ... ඒක ගැන කියන්න මට තේරෙන්නෙම නෑ. ඒක විඳින්නම ඕනේ. මම මුලදී ඒ තරම් හැඟීමක් දැනේවි කියලා හිතුවේ නෑ. තාත්තා කියන වචනය මම දැනගෙන හිටියට ඒක මේ තරම් හැඟීමක් තියෙන වචනයක් කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒ ෆීලින් එක මාරයි. මගේ ඇස්වලට කඳුළු ආවා. මගේම ලේවලින් ඉපදුණු පැටියෙක්ගේ මූණ දිහා බලද්දී දැනෙන හැඟීම හැම තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවා දිහා බලද්දී දැනෙන්න ඇති. ඒ ෆීලින් එක හැම කොල්ලෙක්ම දවසක ගන්නම ඕනේ. ඇත්තටම තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ මෙච්චර දැනෙන එකක් කියලා මම කලින් දැනගෙන හිටියේ නෑ.
හංසිට දුවව ලැබෙන්න අමාරු වුණාද?
නෑ.. එහෙම අමාරුවක් වුණේ නෑ. කොහොමත් ඩොක්ටර්ස්ලා තීරණය කරලා තිබුණේ හංසිව සීසර් කරලා දෝණිව ගන්නයි. ඉතින්.. පොඩ්ඩක් වෙනසක් දැනිලා හංසිව අපි කොළඹ පෞද්ගලික රෝහලක පෙබරවාරි පළවෙනිදා රෑ ඇඩ්මිට් කළා. පෙබරවාරි දෙවැනිදා පාන්දර සීසර් කරලා තමයි බබාව ගත්තේ. හැබැයි ඉතින් පෙබරවාරි 01 වැනිදා රෑ නම් මට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. හරිම බයෙන් තමයි මම හිටියේ. ඒකත් වෙනමම අත්දැකීමක්. හංසි ළඟ වාඩිවෙලා එයාගේ ඔළුව අත ගගා හිටියා. සමහර වෙලාවට මගේ ඇඟ ඇතුළේ මොකද්ද වෙනවා වගේ මට දැනුණා. ඇත්තටම ඒ රැය හරිම වෙනස් රැයක් වුණා.
දස්සා හංසිට දරුවා ලැබෙද්දී ඔයා ළඟ හිටියනේ... ඒක තවත් වෙනස් ඇත්දැකීමක් නේද?
ඔව්නේ..... අම්මෝ හරියට දරුවා ඉපදුණා වගෙයි මට හිතුණේ. ඒ තරමට මගේ හිතත් හරි කළබල වුණා. ඉපදුණු ගමන් මම බැලුවේ දුවගේ අතපය හොඳට තියෙනවද කියලා. ඒ කෙල්ල දකිනකල් චූටි කෙල්ල නිරෝගී, අතපය හොඳට තියෙන දරුවෙක්ද කියලා දන්නේ නැහැනේ. ඉතින් දැක්කට පස්සේ මම මුලින්ම බැලුවේ හොඳ නිරෝගීද කියලා. එළියට එද්දිම කෑගහගෙන තමයි කෙල්ල ආවේ. ඉතින් මට ෆිට්. චූටි කෙල්ල මගේ මූණ දිහා බලද්දී ඒ ඇස් දෙකයි මගේ ඇස් දෙකයි එකට යාවෙද්දී මගේ ලෙයින් ඉපදුණු චූටි කෙල්ල වෙනුවෙන් මේ තාත්තාගේ හිතේ ඇතිවුණ ආදරේ මාරයි. ඒ ඇස් දෙක දැක්කට පස්සේ මගේ ජීවිතේ පිරුණා කියලා මට තේරැණා.
චූටි දුව ඉපදෙන්නත් කලින් දස්සා නමකුත් දාලයි තිබුණේ?
ඔව්නේ කසාදවත් බැඳපු නැති මගෙයි හංසිගෙයි දරු පැටියට වෙලාව බලලා නම් තියන්නේ මොකටද නේද? ඒ නිසාම චූටි කෙල්ල ඉපදෙන්නත් කලින් අපි දෙන්නා එකතු වෙලා එයාට නම තියලයි තිබ්බේ. චූටි දුවගේ නම ෂයියා ලිලී පතිරණ. ඉතින්.... එයා ඉපදෙන්නත් කලින් අපි එයාට කතා කළේ ෂයියා කියලා. ඒ නිසා දුව ඉපදෙන්නත් කලින්ම එයා ඒ නමට හුරු වෙන්නත් ඇති.
ෂයියාව දස්සාගේ අතට දෙද්දී මොකද හිතුණේ?
අම්මෝ...... ඒකත් මාරයි. ඉපදුණු ගමන් ෂයියාව අතට ගත්තා. අම්මෝ.. එයා හරි චූටියි. මම ඒ වෙද්දී ඉපදුණු අලුතවත්, ඉපදුණු කාලයේදීවත් අලුත් දරුවෙක්ව ජීවිතේට අතට අරගෙන තිබුණේ නෑ. අතට ගන්නවා තියා අලුත ඉපදුණු දරුවෙක් ළඟටවත් ගිහින් නෑ. සමහරු කියනවනේ ළඟට යන්න හොඳ නෑ. විසබීජ යනවා කියලා. හැබැයි ඉතින් මේ මගේමනේ.. ඉතින් මම අතට ගත්තා. ජීවිතේ එහෙම පළවෙනි පාරට ගත්තු වෙලාව මාරයි. හංසිවයි ෂයියාවයි පෙබරවාරි තුන්වැනිදා ගෙදර ගෙනාවා. දැන් වුණත් මම එයාව පපුවට තුරුලු කරගෙන ඉන්නවා. ඒ වෙලාවට දැනෙන හැඟීම මාරයි.
කොහොමද ෂයියා රෑට ඇහැරිලා කෑගහනවද?
ඔව්නේ..... කොහොමටත් මටයි හංසිටයි රෑට නින්දක් නෑ. ෂයියා නැගිටලා අඬද්දී හංසි කිරි දෙනවා. එයාගේ ඇඳුම් මාරු කරනවා. කොහොමටත් මම අලුත් අලුත් අත්දැකීම්වලට කෑදර මනුස්සයෙක්. ඉතින්..... මේ අත්දැකීමටත් මම මාර ආසයි. මම දැන් ඒ අත්දැකීම් එක්ක ජීවත් වෙනවා. ෂයියා ඉපදෙන්න කලින් ඉඳන්ම එයා ජනප්රියයි. ඉපදුණාට පස්සෙත් අද ෂයියා හරි ජනප්රියයි. ඉතින් ෂයියාගේ තාත්තාට ඒ ජනප්රියත්වය ලබාගන්න අවුරුදු ගාණක් ගෙවුණා. ඒ අතින් මගේ ෂයියා හරි වාසනාවන්තයි. මම දන්නේ නෑ ෂයියා ඉදිරියේදී කොයි වගේ වේවිද කියලා. ඒත්.... දැන් මගේ ෂයියා හරි ජනප්රියයි.
ෂයියා වගේම හංසිත් දැන් හරි ජනප්රියයි නේද?
ඔව්.. දැන් මායි හංසියි චූටි කෙල්ලෙක්ගේ අම්මයි තාත්තායි. හංසියි මායි ප්ලෑන් කරලා තමයි දරුවව හැදුවේ. ඒ නිසා හංසි ඉන්නේ මාර සතුටින්. අපි දෙන්නා අතරට අපේම එකෙක් එද්දී ඒක මාරයි. ඇඳේ අපේම එකෙක් නිදාගෙන ඉද්දී අපේ මුළු ජීවිතේම පිරිලා. ඇත්තටම දැන් අපි දෙන්නගේ ජීවිතේ ගැන හිතද්දී පිස්සුවක් වගේ. ලෝකෙම පිරිලා. දැන් අපිට අනිත් හැම දෙයක්ම අමතක වෙනවා. මේ දවස්වල මම ගෙදරින් එළියට බහින්නෙම නෑ. ඉන්නෙම ෂයියා එක්ක තමයි. මම තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ මගේ අම්මියි, තාත්තියි සීයලා, ආච්චිලා වෙනවනේ. ඉතින්... ඒ අයගේ ආදරෙත් ෂයියාට තියෙනවා. ඉතින්.... දුවව නාවන්නෙත් අපිම තමයි. මාත් ළඟට වෙලා බලාගෙන ඉන්නවා. නාවන්න උදවු කරනවා. අපේ යාළුවෝ ෂයියා බලන්න එනවා. ඉතින් යාළුවෝ ආවම මම කියන්නේ ගනින් ගනින් යකෝ. මගේ එකානේ.. කියලා අතටම දෙනවා. සමහර අය බයයි. මම ෂයියා වඩාගෙන ගිහින් අතටම දෙනවා. උන් ඒ වෙලාවට අපේ ගෙදර ෂයියා වඩාගෙන ඉන්නේ උන්ගේ දරුවෙක් වගෙයි. සමහරැ අපේ ගෙදරින් යන්නේ මාත් ඉක්මනට තාත්තා කෙනෙක් වෙන්න ඕනේ.. කියලයි. ඇත්තටම ෂයියා අපේ ලෝකේ පිරෙව්වා.
දේශය