සම්භාව්‍ය සංගීතය සිය ආත්මය කරගත් ප්‍රවීණයෝ රැසක් මෙරට ජීවත්ව උන්හ. අතළොස්සක් තවමත් ජීවත් වෙති.
එසේ ජීවත් වූවන් සහ ජීවත් වන්නන් මෙරට සංගීත ක්ෂේත්රයට කළ සේවය සුළු පටු නොවේ. එය මිල කළ නොහැකි සේවයකි.
1998 මාර්තු 26 වැනිදා මෙලොවින් සමුගත් බී. වික්ටර් පෙරේරා නම් වූ ගාන්ධර්වයාද එසේම වූ ගාන්ධර්වයෙකි.
වර්ෂ 2018 මාර්තු 26 වැනිදාට එතුමන් අප අතැර ගොස් වසර 20කි. ඒ වෙනුවෙන් එදින සවස 5.00 ට පැවැත්වෙන ගුණානුස්මරණ උලෙළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන්නේ, එතුමන්ගේ ශිෂ්‍ය පිරිසගේ මූලිකත්වයෙනි.
වර්ෂ 1955 දී භාරතයට ගොස් බොම්බායේ භාරතීය විද්යාභවාන් ආයතනයෙන් සංගීත ඥානය ලබා මෙරටට පැමිණි බී. වික්ටර් පෙරේරා මහතා මුලින්ම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා විය. ඉන්පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ට ගායන හා වාදන දැනුම ලබාදුන්නේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ වයලින් වාදකයකු වූ හෙතෙම ඒ ශ්‍රේණියේ ශාස්ත්‍රීය මෙන්ම සරල ගී ගායකයෙක් ලෙසද සිය ප්‍රතිභාව මැනවින් පෙන්වා දුන්නේය. 'සත්සර රාවය'නම් වූ වැඩසටහන තුළින් ඔහු මෙරට ශාස්ත්‍රීය ගායනයට ඇලුම් කරන අයට 'රාග' පිළිබඳ දැනුම ලබා දුන්නේ සම්භාව්‍ය සංගීතය තුළ ඇති උපරිම රස වින්දනය මැනවින් පෙන්වා දෙමිනි. ඔහු සම්පාදනය කළ 'සිංහල සංගීතයේ රාගධාරි පසුබිම නම් වූ පර්යේෂණ ග්‍රන්ථය ඊට කදිම නිදසුනකි. 1931.02.23 දින කොළොන්නාවේදී මෙලොව එළිය දුටු බී. වික්ටර් පෙරේරා මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ ආනන්ද විද්‍යාලයෙනි. ඉන්පසුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය. බී. වික්ටර් පෙරේරා නම් වූ සංගීත ආචාර්යවරයා තුළ තිබූ සුවිශේෂී ගුණාංගය වූයේ විනයගරුක භාවයයි. ඔහු තම සිසු සිසුවින් තුළින්ද එය බලාපොරොත්තු වූයේ සංගීත දැනුම පමණක් ලබා පරිපූර්ණ ශිල්පියකු නිර්මාණය නොවන බව අදහස් කළ බැවිනි.
දේශීය සංගීත ක්ෂේත්රය එළි කිරීමට වික්ටර් පෙරේරා මහතා නිරුතුරුවම කටයුතු කළේ අවංක සිතිනි. ඔහු කිසි විටෙක තමා දැන උගත් ශිල්පය සඟවා උගන්වන්නට කටයුතු කළේ නැත. ඔහු දත් ශිල්ප මුළුමනින්ම තම සිසු දරුවන්ට ඉගැන්වූ විරල ගණයේ උතුම් ගුරුවරයෙකි. එමෙන්ම හෘදයාංගම මනුස්සයෙකි.
ඔහුගේ වියෝවෙන් 20 වසරක් ගෙවෙන මාර්තු 26 වැනිදාට එනම්, හෙට රට පුරා සිටින සියලුම ගෝල බාලයන් එකට එකතුවී ඔහු ගුණ සමරන්නේ ඒ නිසාවෙනි.
සමන් ප්‍රියංකර නම්මුනිගේ