ඒක පුද්ගල ද්වී පුද්ගල ත්‍රී පුද්ගල චතුර් පුද්ගල ද නොවේ. මෙය පංච පුද්ගල සුවඳ විසිරෙන නැවුම් සංගීතමය අත්දැකීමකි. ඒ සංගීතමය අත්දැකීම විඳගන්න ඔබට වරම් හිමිවන්නේ එළඹෙන ජූනි 9 වැනි සෙනසුරාදා පස්වරු 7 ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී ය.
“මකරන්ද” නම් මේ සංගීතමය චාරිකාවේ මකරන්ද සුවඳ පතුරවන්නෝ ඔවුහුය,
නිශ්ශංක දිද්දෙණිය
මකරන්ද පංච පුද්ගල ගායන මඩුල්ලෙහි ජ්‍යෙෂ්ඨතමයා මොහුයි. සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො නාට්‍යයෙන් රංගනයට එක්වන දිද්දෙණිය සිංහල නාට්‍ය වංශ කතාවෙහි කීර්තිමත් චරිත කිහිපය අතර රැඳී තිබෙන සිංහබාහු නාට්‍යයේ සිංහබාහු චරිතය රඟපෑමට වරම් ලැබුයේය. එසේම සරච්චන්ද්‍රයන්ගේම පසු නිෂ්පාදන වූ මනමේ හි මනමේ කුමරු වැදී රජු, ලෝමහංස නාට්‍යයේ බ්‍රහ්මදත්ත, දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත ඇලපාත මුදලි ආදී වූ විශිෂ්ට වේදිකා රංගන ප්‍රේක්ෂක මතකයෙහි නොනැසෙන මතක බවට පත් කළ රංගනවේදියාය.
රොඩ්නි වර්ණකුල
ප්‍රතිභාන්විත රංගවේදීයෙකි. ගායකයෙකි. වේදිකාව, සිනමාව, රූපවාහිනිය, ගුවන්විදුලිය හා ප්‍රසංග වේදිකාව ජය දද නැංවූ පූර්ව කලාකරුවෙකි.
ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති (චූං චෑං) දයානන්ද ගුණවර්ධනගේ නරි බෑනා (නරියා), මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, බන්ධුල ජයවර්ධනගේ බෙරහඬ, ජයලත් මනෝරත්නගේ ගුරුතරුව, සුදු රෙදි හොරා, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ රොඩ්නිගේ වේදිකා රංගන අතර කැපී පෙනේ.
ඉන්දිකා උපමාලි
ප්‍රේමසිරි කේමදාස සංගීතඥයාගේ සෙවණෙහි සංගීත ඥානය ලද ඈ ඔහුගේ මානස විල,අග්නි, පිරිනිවන් මංගල්ලය ආදි ඔපෙරාවන්හි මෙන්ම ආරියරත්න ඇතුගලගේ මහ සමයම, කේ.බී හේරත්ගේ යශෝදරා, හා දොරමඩලාව වැනි වේදිකා නාට්‍යයන්හී තම රංගන කුසලතා විදහා දක්වයි.
සමන් ලෙනින්
තුන්වන පරම්පරාවට අයත් දීප්තිමත් ගායන හා රංගන ශිල්පියෙකි. 2012 වසරේ සිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. ජපන් සංස්කෘතික හා මිත්‍රත්ව අරමුදල වෙතින් පිරිනැමෙන බුන්කා සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා තිබේ. ඒ සංගීතය වෙනුවෙන් කළ සුවිශේෂී කාර්යභාරය උදෙසා ය.
නිලක්ෂි හැලපිටිය
නව පරපුරේ තරුණ ගායන හා රංගන ශිල්පිනියකි. ගලහිටියාව මධ්‍ය විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලයෙන් ශිල්ප හැදෑරූ නිලක්ෂි එක්සත් රාජධානියේ කින්ග්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විෂය පිළිබඳව ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කරමින් සිටින්නීය.
නවරත්න ගමගේ
දශක කිහිපයක සිට මෙරට සංගීත ක්ෂෙත්රයෙහි සංගීත අධ්‍යාපන විශය, වේදිකා, චිත්‍රපට, රූපවාහිනී නාට්‍ය, සංගීත, ගීත හා තනු නිර්මාණයෙහි පරිණත දැනුමක් හා පළපුරුද්දක් සතු විශිෂ්ටයෙකි.