ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14% ක රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන මෙන් අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දී තිබේ.
සිනමා, ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් පිරිසක් සමග අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ යැයි ජනපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව දේශීය අදායම් කොමසාරිස්වරයා විසින් අද දින සියලුම නාලිකා ප්‍රධානින් වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේය.
නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමටත් මුදල් අමත්‍යවරයා සමඟ සාකච්ඡා කර රජයේ නව බදු ප්‍රතිපත්තියට ගැටළුවක් නොවන ලෙස සාධාරණ විසඳුම් ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරන බව ද කලාකරුවන් හමුවූ ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඇතුළු නිලධාරින් සහ සෝමරත්න දිසානායක, ධර්මසිරි බණ්ඩාරනායක, නාලන් මෙන්ඩිස්, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, ඉනෝකා සත්‍යාංගනී ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බදු වැරදියට අරගෙන
නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා පවතින තත්වය නිවැරදි කිරීම පිණිස ජනාධිපතිතුමා මෙම අලුත් තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කරයි.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 84වන වගන්තිය යටතේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලි නාට්‍ය නිෂ්පාදකයින් සහ ග්රන්ථ කතුවරුන්ට රැඳවුම් බද්දක් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මාධ්‍ය හමුවට එක් වූ ඔහු පැවසුවේය.
එසේම 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ ම මෙම බද්ද සම්බන්ධයෙන් වන වගන්තිය බදු ප්‍රමාණය 10%ක් වශයෙන් ඇතුළත් ව තිබූ බවත් නව බදු පනත යටතේ සිදු ව ඇත්තේ 10%ක් ව පැවැති බදු ප්‍රමාණය 14%ක් දක්වා ඉහළ දැමීමක් පමණක් බවත් ඉන් අනතුරුව මෙම බද්ද අයකරගැනීමට කටයුතු කොට ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මෙහිදි පෙන්වාදුනි.
ඒ අනුව පසුගිය අප්‍රේල් 01දා සිට අයකර ගැනීමට කටයුතු කළ මෙම රැඳවුම් බද්ද අඩු කිරීමකින් තොරව නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට තමන් සියලු රූපවාහිනි නාලිකා ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කළ බවත් කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුනි.