යුද බිය නැති රටක මිනිසුන්ගේ හදවත් තුළ ආදරය සහ කරුණාව සහ සාමය ඇතිකිරීම වැදගත්. පාලකයාට පමණක් නොවේ, කලාකරුවාට ද මෙහිදී වැදගත් කාර්ය භාරයක් පැවරී ඇත. මිනිසා තුළ ආදරය, කරුණාව සහ සාමය උද්දීපනය වන ආකාරයට කලා නිර්මාණ ඉදිරිපත් කිරීම කලාකරුවා සතු වගකීමක් ද වේ.
මේ කරුණු කාරණා මැනවින් අවබෝධ කරගත් ශ්‍රී ලංකාවේ අග්‍ර ගණයේ චිත්රශිල්පී "කලාසූරී" ජයසිරි සේමගේ තමාගේ මීළඟ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය නව මුහුණුවරකින් නව තේමාවන් අනුව පැවැත්වීමට අදහස් කර ඒ සඳහා සිතුවම් නිම කරමින් සිටී.
“මම කිසිම කලෙක වත් ඇණ කොටා ගැනීම්, මිනීමැරුම්, කෝළහල වැනි සිද්ධීන් චිත්‍රයට නඟා නැහැ වෛරය, ක්‍රෝධය වැනි සිද්ධීන් අලලා ද සිතුවම් නිර්මාණය කර නැහැ. චිත්රයකින් මිනිස් සිත තුළට ඇතුළත් කිරීමට සැම විටම උත්සාහ දරන්නේ ආදරය, ආලය, කරුණාව වැනි තේමාවන්ගෙන් නිර්මාණය වූ සුන්දර සිතුවිලිවලට අනුව ඇඳි සිතුවම්,” මේ සේමගේ නම් චිත්‍ර ශිල්පියා පවසන අදහස්ය.
කලාසූරී ආචාර්ය ජයසිරි සේමගේ සිතුවම් කළ මෙම චිත්‍ර ප්‍රදර්ශනය රූසිරි අසිරිය නමින් මෙම 15 දා සිට 17 දා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.
මවක් තම සුරතල් දරුවාට දක්වන ආදරය, තරුණ ළඳක් මුව පොව්වන් වැනි අහිංසක සතුන්ට දක්වන කරුණාව, තරුණ පෙම් යුවළක් එකිනෙකාට දක්වමින් සිටින ආදරය අඹු සැමි යුවළක් තම දරුවන් සම`ග ආදරයෙන් වෙලී සිටින ආකාරය මෙන්ම කෙනෙකු කුරුලු පැටවුනට කවා පොවා දක්වන කරුණාව ආදී මෙවැනි තේමාවන් මෙන්ම ඈත අතීතයේ සාලිය අසෝකමාලාවන් මෙන්ම චිත්‍රා දීඝගාමිණි වැනි පෙම්වතුන්ගේ ඒ ඒ සිද්ධීන් අනුව නිර්මාණය වූ චිත්රවලින් මෙම ප්‍රදර්ශනය අලංකාර වනු ඇත.
“මම මෙතෙක් පැවැත්වූ සෑම ප්රදර්ශනයකම ප්‍රමුඛත්වය දී ඇත්තේ ගම්බද සුන්දර සුකොමල තරුණ ළඳුන්ගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිද්ධීන් මෙන්ම ගැමි ජීවිතය, එමෙන්ම හංස සංදේශය, ගුත්තිල කාව්‍යය ආදි ග්‍රන්ථයන්ගේ එන චිත්‍රයට නැඟීමට සුදුසු යෑයි තෝරාගත් සිද්ධීන්ගෙන් නිර්මාණය වූ සිතුවම් සහිත වූ ප්‍රදර්ශනයයි.”
කලාසූරී ජයසිරි සේමගේ තමා විසින්ම නිර්මාණය කර ගත් ශ්‍රී ලංකාවේ යෑයි නිර්භයවම කිව හැකි ශ්‍රී ලාංකික එමෙන්ම සීගිරි, අප්සරා වැනි ඉපැරණි චිත්රවල ආභාෂය ලබා එම චිත්රයන්ට, සුන්දරත්වය ලාලිත්‍ය අලංකාරය මිශ්‍ර කරමින් සෑම කලා රසිකයෙකුටම රස විඳිය හැකි චිත්‍ර ශෛලියක් ගොඩ නගාගත් අති ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියෙකි. මෙම වකවානුවේ නැගී එන තරුණ චිත්‍ර ශිල්පීන් මෙන්ම සමහර ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් පවා ඉදිරියට තම චිත්‍ර නිර්මාණය කරනුයේ නවීන සම්ප්රදායයන් ගෙන් යුත් නන්නත්තාරවූ මිශ්‍ර ශෛලීන් අනුගමනය කරමිනි. සේමගේ මහතා වැනි ප්රවිණ චිත්‍ර ශිල්පීන්ගෙන් පසු වෙහෙර විහාරයක් හෝ අපේ යෑයි කිවහැකි විදේශ රටක ශ්‍රී ලාංකික මුහුණුවරකින් යුත් කලා නිර්මාණයක් කිරීමට ශිල්පියකුට නැතිවනු නොඅනුමානයි.
අන්තර්ජාතික වශයෙන් ලෝකයේ රටවල් ගණනාවකම තමාගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා එමෙන්ම "එක්ස්පෝ ප්‍රදර්ශන වැනි ඒ ඒ රටවලදී පැවැති ප්‍රදර්ශනයන්හි ශ්‍රී ලාංකික ප්‍රදර්ශන කුටි, ශ්‍රී ලාංකික, සිතුවම් කලාවෙන් අලංකාර කර ජපානය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල නොයෙකුත් අවස්ථාවන්හිදී "මකර තොරණ්" බෞද්ධ මුහුණුවරකින් යුත් තොරණ සිංගප්පූරුවේ "මංගල" නම් ථෙරවාදී විහාරයේ ද නේපාලයේ ලුම්බිණි විහාරයේ ද, බෞද්ධ බිතුසිතුවම් නිර්මණය කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් මෙන්ම කීර්තියක් ගෙන දුන් අග්‍රගනයේ ජාතියට ආඩම්බරවිය යුතු ජාතික වස්තුවක් මෙන් රැක ගතයුතු අද ජීවතුන් අතර සිටින එකම චිත්රශිල්පියා යෑයි නිර්භවයම කිව හැකි චිත්‍ර ශිල්පියෙකි.
දිවයින