නිමිත්ත- අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී නැගණියට අයියාගේ තරවටුව.
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට.....
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා...
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා....
ටිම්රාන් කවියෙකු ලෙස මෙරට කවි රසවිඳින්නන්ට අතිශය සමීපය. ටිම්රාන් කලකට පෙර ලියන ලද කවියක් ඇසුරින් නිර්මාණය කරන ලද පොඩ්ඩියේ ගීතය මේ වනවිට ෆේස්බුක් ගී රසවිඳින්න්න අතර වේගයෙන් සංසරණය වෙමින් ඇති ගීතයකි.
අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී තම සහෝදරියට අයියා කෙනෙකු කරන තරවටුවක් ලෙස ලියැවී ඇත මේ කවි පද නූතන සමාජයේ ගැහැනිය පිළිබඳ සහ සමාජයේ ජීවත්වන අනෙක් මිනිසුන් පිලිබඳ කරන්නාවූ අපූරු සමාජ විග්රහයකි.
රන්බණ්ඩා සෙනෙවිරත්නයන් විසින් කලකට ඉහත ලියන ලද ලඳුනේ ගීතය මෙරට සුවහසක් මිනිසුන්ට තමා ලිංගික සේවයක් ලබාගන්නට යන ගැහැනිය පිළිබඳව හිතන්නට පොළඹවා ලන ලද ගීතයක් බවට පත්විය. පීඩිත පන්තියේ ස්ත්රයක දෙස මානුෂීයව බැලීම සඳහා බලකරන ලද ගීතයක් ලෙස එය අදටත් වලංගුය.
එමෙන්ම ටිම්රාන් විසින් ලියන ලද මෙම කවිය ගීතයක් බවට පත්ව අපේ නූතන පරපුරේ මිනිසුන්ට නැවත නැවත සිතා බලන්නට පොළඹවාලයි.දෙමව්පියන්ගේ සමාජ පන්ති පිලිබඳ අර්බුද හදාගන්නා දරුවන් විසින් දෙමව්පියන් ප්‍රතික්ෂේප කරන මෙවන් සමාජයක ටිම්රාන් සහ සාදර අම්මා පිළිබඳ වෙනස් මානයකින් හිතන්නට අවශ්‍ය සමාජ කතිකාව නිර්මාණය කර තිබේ. සාදර ගේ හඩ සහ සංගිතය මෙම කවිය ඉහළ තැනකින් ඔසවා තබයි. සාදරගේ හඩ මේ දශකයේ ඇසෙන බොහෝ හඩවල් වලට වඩා වෙනස්ම හඩක් බව ඇසේ දැනේ. මේ හඩවල් සොයා යන රියැලටි වේදිකාවලින් මතුනොවන හඩක් වන අතර සාදරගේ හඩේ ඇති අමු ගතිය පොඩ්ඩියේ ගීතය තුලින් රසිවිඳින්නාගේ හදවත රිදවන්නට සමත්වෙයි.
පොඩ්ඩිගේ අම්මාට පමණක් නොව මේ සමාජය තුළ සිය සිරුර තම දරුවන් රැකීම පිණිස යොදවන සමස්ථ කාන්තාවන් පිලිබඳව යළිත් හිතන්නට පොළඹවාලයි. එමෙන්ම අපගේ සමාජයේ සම්ප්‍රදායික ගතානුගතික ආගම කරපින්නාගෙන සිටින සමාජ සත්ත්වයන්ගේ මානසික අවුලද කුහකකමද ටිම්රාන් අපූරුවට කවිය තුලින් අපට දනවයි. එය ගීත රසවිඳීන්නා වෙත ඉතාම මැනවින් සාදර සන්නිවේදනය කරයි.
සාදර ගයන්නට තෝරාගෙන ඇති ගී පද මේ සමාජයේ ජීවත්න පීඩිත පන්තියේ මනුෂ්‍යයන් පිළිබඳවීම විශේෂත්වයක් ගනී .
නාට්ටාමි ගීතය සහ ඒත් අපි එක පන්තයේ ගීත ගීත කලාවට නව මානයක් එකතු කර තිබේ. යුගයේ කාර්යභාරය සමාජ ගත කිරීම වෙනුවෙන් මිර්ර් ආර්ට්ස් සාදර, ටිම්රාන් ඇතුලු කණ්ඩායමට සුබ පතන්නෙමු.