බෞද්ධ දර්ශනයට නිගරු වන නාට්‍ය හා ප්‍රකාශන පාලනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් යොදන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.
පාලනය කර ගත නොහැකි තරමින් මෑත කාලයේදී බුදුදහමට හානි වන ප්‍රකාශන රැසක් නිකුත් වන බවත් ඒ සියල්ල නිසි අධීක්ෂණයට පත්විය යුතු බවත් අමාත්‍යවරයා කීවේය.
සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අනුරාධපුර සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නායක හිමියන්ගේ පැවිදි දිවියේ පනස්වැනි සංවත්සර දින නිමිතිකරගෙන අස්ගිරිය ගෙඩිගේ විහාරවාසී පූජ්‍ය පල්ලේවෙල රතනපාල හිමියන් විසින් රචිත "ගල්පිළිමය" ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පිළිගැන්වීම නිමිත්තෙන් අස්ගිරි ආදාහන මළුව විහාරයේදී පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ගල් පිළිමය ග්‍රන්ථය පිළිගන්වන ලද්දේ අස්ගිරි පාර්ශ්වයේඅනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක හිමියන් විසිනි.
උත්සව සභාව හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මෙසේ ප්‍රකාශ කළේය.
“අද අප සමාජයේ විශාල වශයෙන් ග්රන්ථ නිකුත් වෙනවා. ඒ අතර පළවන ධර්මය පිළිබඳ නිර්මාණාත්මක ග්රන්ථ ප්‍රමාණයද විශාලයි. බුදු දහම පිළිබඳ ගවේෂණාත්මක ග්රන්ථ, අභිධර්මය පිළිබඳ ගැඹුරු අර්ථවිවරණ සහිත ග්රන්ථ, සාහිත්‍ය මෙන්ම විවිධාකාරයේ නාට්‍ය පවා බිහිවෙන යුගයක තමයි අප ජීවත් වෙන්නේ.
මෙම කාලය තුළ බුදුන් වහන්සේට සහ ශාසනයට නිගරු වන ආකාරයේ ප්රකාශනයන් නිකුත් වෙනවා. එය අපි දකින්නේ ඛේදවාචකයක් ලෙසයි. බෞද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රජයක් වෙත පැවරුණු වගකීමක්.”
කන්ද උඩරට ගිවිසුමේ පස්වැනි වගන්තියේ සිටම අද දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු වෙලා තිබෙන මෙම වගන්තිය ඒ අයුරින්ම ඉටු කරන ලෙස ජනාධිපතිවරයා අප වෙත උපදෙස් දී ඇතැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මහනුවර - නදීක දයා බණ්ඩාර
මව්බිම