තරුණකම තුළ ඇත්තේ උණුසුම් හිතුවක්කාර අදහස්ය. මේ තරුණකම ජවසම්පන්නය. ඒ නිසාම ආවේගවත්ය. අයුක්තිය අසාධාරණය නොඉවසයි. මේ තාරුණ්‍ය කොන්ද කෙළින් තබාගෙන නැගී සිටින්නේ විවිධ සටන් බිම් තුළදීය.වේදිකාවද එක්තරා ආකාරයක සටන් බිමකි.අතීතයේ දී වේදිකාව තම ප්රථිවිරෝධය පෙන්වන තැනක් බවට පත්කරගත් අවස්ථා අපට හමුවෙයි. සම්මාන ප්‍රතික්ෂේප කොට වේදිකාවෙන් බැස ගිය අය ඉතිහාසයේ අපට හමුවෙයි. ඒ අසාධාරණයට එරෙහිවන්නටය. යුක්තිය වෙනුවෙනි.
ආසන්නම සිදුවීම වූයේ පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ 40 වැනි යෞවන සම්මාන උළෙලේ දීය.
එහිදී සම්මානයට පාත්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙකු වූ සුරීන් චාමිකර සහ කසුන් චතුරංග එම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වී සිටි උදය ගම්මන්පිල සහ දුමින්ද දිසානායක යන දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය.
එම රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූයේ කසුන් චතුරංග ය.
මේ නාට්‍යකරුවන් දෙදෙනා දේශපාලඥයින් දෙදෙනා අතින් සිය සම්මානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් එක් අයෙක් ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා අතිනුත් අනෙක් කලාකරුවා සම්මානය වේදිකාවට රැගෙන ආ අය අතිනුත් එය ලබාගත්තේය.
මේ සම්බන්ධයෙන් යොවුන් කලාකරු කසුන් චතුරංග සමාජජාල වෙත පවසා ඇත්තේ සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර තමන් ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි.