ඔස්කාර් උළලේ කප්පාදුව ප්‍රවීන සිනමාවේදීන් හෙලා දකියි
91 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ විකාශන කාලසීමාව කප්පාදු කිරීමට ඇකඩමිය ගත් තීරණය, අල්ෆොන්සෝ කරොන් සහ ගුඑර්මෝ දෙල් ටොරෝ වැනි ප්‍රවීන හොලිවුඩ් සිනමාවේදීන් හෙලා දැක තිබෙනවා.
ඇකඩමියේ තීරණය අනුව සම්මාන රාත්‍රිය විකාශනය කිරීමේ කාල සිමාව පැය 3 කට පමණ සීමා වෙන බව පැවසේ.
හොඳම සංස්කරණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම වේශ නිරූපනය සහ කොන්ඩ සැකසුම් යන අංග සජීවී විකාශනයෙන් ඉවත් කෙරෙන අතර එම සම්මාන සඳහා නිර්දේශ ලැබූ නිර්මාණකරුවන් මේ සම්බන්ධයෙන් සිය බලවත් අප්‍රසාදය සමාජ මාධ්‍ය ඔස්සේ පල කර ඇත.
“හඬ නැති, වර්ණ නැති, කතාවක් නැති, නළුවන් නැති සහ සංගීතය නැති ශ්‍රේෂ්ට කලා කෘති සිනමා ඉතිහාසයේ තිබුණා. නමුත්, කැමරා අධ්‍යක්ෂණයෙන් හෝ සංස්කරණයෙන් තොර එකදු සිනමා නිර්මාණයක් හෝ තිබුණේ නැහැ,” යනුවෙන් අල්ෆොන්සෝ කරොන් සිය ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ පල කර තිබුණි.
තෙවතාවක් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ කැමරා අධ්යක්ෂ එම්මානුවෙල් ලුබෙස්කි පවසන්නේ මෙය “අවාසනාවන්ත තීරණයක්” බවයි.
“ඔස්කාර් විකාශනයේ දී කප්පාදු කළ යුතු අංග මොනවාදැයි යෝජනා කිරීමට මම අදහස් කරන්නේ නැහැ. නමුත් කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය කියන්නේ අපේ කලා කෘතියක හදවතට සමීප අංගයන්,” යනුවෙන් ගුඑර්මෝ දෙල් ටොරෝ පවසා තිබුණි.
මෙවර ඇකඩමි සම්මාන උළෙල එළඹෙන 24 වැනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේ දී පැවැත්වෙනු ඇත.